රුසියානු හා යුක්‍රේනියානු කම්කරු පන්තියේ එකමුතුව සඳහා!

බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකුගෙන් විප්ලවීය සුබ පැතුම්

[මෙය For the unity of the Russian and Ukrainian working class! යන මැයෙන් 2023 ‌මැයි 01 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සත්කාරකත්වය දරන ලදුව, අප්‍රේල් 30 දින පවත්වනු ලැබූ, 2023 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ (වයිජීබීඑල්) නියෝජිතයින් දෙදෙනෙකු විසින් මෙම සුබ පැතුම් පිරිනමන ලදී. වයිජීබීඑල් යනු පැරනි සෝවියට් දේශයට අයත් කලාපයේ ට්‍රොට්ස්කිවාදී තරුන සංවිධානයකි. එය ජාත්‍යන්තර කමිටුව සමග සිය දේශපාලන සහයෝගීතාවය ප්‍රකාශ කර ඇති සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය සමග එක් වූ සංවිධානයකි. ස්ටෙපාන් ගෙලර් යුක්‍රේනයේ වයිජීබීඑල් හි නියෝජිතයෙකු ලෙස රැලිය ඇමතූ අතර රුසියාවේ වයිජීබීඑල් වෙනුවෙන් අන්ද්‍රේ රිට්ස්කි සිය සුබපැතුම් එක් කලේය.

යුක්‍රේනයේ වයිජීබීඑල් හි ස්ටෙපාන් ගෙලර් විසින් කරන ලද කථාව

මගේ නම ස්ටෙපාන් ගෙලර්. හිතවත් ශ්‍රාවකයනි, මම ඔබට කතා කරන්නේ යුද්ධයෙන් විනාශ වූ යුක්‍රේනයේ සිටයි. මෙම යුද්ධය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, නැටෝව සහ පුටින් පාලනය විසින් මුදා හරින ලද්දකි. එය රුසියාවේ, යුක්‍රේනයේ සහ ඇමරිකාවේ නිර්ධන පංතියේ අවශ්‍යතා සඳහා නොව, මෙම රටවල ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් දියත් කරන ලද අධිරාජ්‍යවාදී යුද්ධයකි. මෙම යුද්ධය, මාරාන්තික රෝගයකින් පෙලෙන පද්ධතියක් වන ධනවාදයේ ප්‍රතිඵලයකි. එහි ඉදිරි මරනය අපේක්ෂා කරමින් සහ ජන සංහාරක අවි කඳුගසා ගනිමින් සිටින සිටින ධනවාදය, තමන් වැලලෙන්නට පෙර සියලු ජීවීන් මිහිදන් කරනුවස් මිනීවලවල් කනිමින් සිටී.

යුක්‍රේනයේ සියලුම ජනතාව මෙම යුද්ධයට සහාය දෙන බව ඇත්තක් ද? මගේ පිලිතුර: නැත! සියලුම යුක්‍රේනියානුවන් මෙම යුද්ධයට සහාය දෙන බවට ප්‍රකාශ කිරීම අමූලික බොරුවකි. මෙම යුද්ධය සඳහා ප්‍රධාන මුක්කුව වන්නේ නිර්ධන පංතිය හෝ අතිශය බිහිසුනු තත්වයකට පත්ව සිටින යුක්‍රේන ජනතාව නොවේ. මෙම යුද්ධය සඳහා ප්‍රධාන මුක්කුව වන්නේ යුක්‍රේන ධනේශ්වර ජාතිකවාදීන් සහ ඔවුන් සේවය කරන අයයි.

බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ සාධර්මික ට්‍රොට්ස්කිවාදීන් වන අපි, මෙම යුද්ධයේදී යුක්‍රේනයට හෝ රුසියාවට හෝ සහාය නොදක්වමු.

බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානය විසින් එහි 5 වන සංවත්සරයට බුහුමන් දැක්වීම සඳහා නිර්මානය කරන ලද ග්‍රැෆික් චිත්‍රයක්. [ඡායාරූපය: ලෝසවෙඅ]

බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානය විසින් එහි 5 වන සංවත්සරයට බුහුමන් දැක්වීම සඳහා නිර්මානය කරන ලද ග්‍රැෆික් චිත්‍රයක්. [ඡායාරූපය: ලෝසවෙඅ]

ඔව්, ඇමරිකානු අධිරාජ්‍යවාදයට මේ යුද්ධය නැවැත්විය හැකි බවට අවංකවම විශ්වාස කරන අය ද යුක්‍රේනයේ සිටිති. 2014 කුමන්ත‍්‍රනයෙන් පිහිටුවන ලද තන්ත‍්‍රයට සැපයූ ආයුධ වලින්, දැන් සෙලෙන්ස්කි නියෝජනය කරන යුක්‍රේනය ජයග්‍රහනය කරා ගෙන යමින් මෙම යුද්ධය අවසන් කල හැකි බව ඔවුහු විශ්වාස කරති.

නමුත් ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මෙම යුද්ධයට ඉන්ධන සපයමින් අධිරාජ්‍යවාදී තුන්වන ලෝක යුද්ධයක් අවුලුවයි. මෙම තුන්වන අධිරාජ්‍යවාදී යුද්ධය අවුලුවාලීමට ඇමරිකාව, නැටෝ රටවල් සහ සෙලෙන්ස්කි නියෝජනය කරන කියෙව් තන්ත‍්‍රය පමනක් නොව, මෙම තන්ත‍්‍රවලට සේවය කරන ධනේශ්වර යුක්‍රේන ජාතිකවාදීන් ද සම්බන්ධ වේ. මෙම බලවේග, යුක්‍රේන ජාතිකවාදීන්ගේ ෆැසිස්ට් සංවිධානයේ (ඕයූඑන්) සහ යුක්‍රේන කැරලිකාර හමුදාවේ (යූපීඒ) ආධාරකරුවන් සහ දෘෂ්ටිවාදී අනුගාමිකයින් ලෙස තමන් හඳුන්වාගනිති. ඔවුන් සමස්ත යුක්‍රේන ජනතාවට එරෙහිව භීෂනය ද, බටහිර යුක්‍රේන භූමිය තුල දේශපාලන ජන සංහාරයක් ද මුදා හැර ඇත. ඔවුන් යුක්‍රේන භූමිය මත මරනය, බිය, ශෝකය සහ කඳුලු වපුරා ඇත. ඔවුන් ගොවීන්ගේ පැල්පත්වලට ලේ වත් කර, ලිං මිනීවලින් පුරවා ඇත.

1943 මාර්තු 23 වන දින, ලිප්නිකි හි යුක්‍රේන කැරලිකාර හමුදාවේ (යූපීඒ) සමූලඝාතනයට ලක්වූ පෝලන්ත සිවිල් වැසියන්. [විකිමීඩියා වෙතින් ලබාගත් ඡායාරූපයකි.]

මෙම කුරිරුකම් ගැන පැහැදිලි කරමින් ලෝසවෙඅ ට මෑතක දී මා ලියන ලද ලිපිය, මෙම යුද්ධයට සහාය දෙන ධනේශ්වර යුක්‍රේන ජාතිකවාදීන් සහ ව්‍යාජ-වාමාංශිකයන් විසින් හඳුන්වනු ලැබුවේ ප‍්‍රබන්ධයක් ලෙස සහ ඇත්ත වශයෙන්ම කිසිදා සිදු නොවූ දෙයක් ලෙසිනි. තවත් සමහරු එය යටතේ ඇති ආලෝචනයන් (comments) වලින් විමසා ඇත්තේ “අවුරුදු 60 කට පෙර මිය ගිය බන්ඩෙරා සහ අතලොස්සක් පමනක් ඉතිරිව සිටින බන්ඩෙරාවාදීන් ගැන ඔබ කරදර වන්නේ ඇයි?” යනුවෙනි.

එකී මහත්වරුන්ගෙන් ඒ හා සමාන ප්‍රශ්නයක් ඇසිමට යමෙකු කැමති විය හැක : ඔබ වසර 100 කට පමන පෙර මියගිය ලෙනින්ගේ ස්මාරක විනාශ කරන්නේ ඇයි? ජර්මානු ෆැසිස්ට් ආක්‍රමනිකයන්ට එරෙහි ජයග්‍රහනය වෙනුවෙන් සේම යුක්‍රේන ජනතාවට ද කැප වූ, එම සිදුවීම්වලින් වසර 80 කට ආසන්න කාලයක් ගත ව තිබියදී, එම යුද්ධයෙන් පසුවත් බැන්ඩෙරාවාදීන්ගේ අපරාධ සිදුව තිබියදී, ඔබ සෝවියට් ජනතාවගේ ස්මාරක විනාශ කරන්නේ ඇයි? එදා එසේ කලේ ඒ සිදුවීම් පිලිබඳ ජනතාවගේ මතකය නැති කිරීමට, ඒ අයගේ මතකය මකා දැමීමට නොවේද?

යුක්‍රේන ජාතිකවාදීන් විසින් විනාශ කර කඩා දැමූ ලිවිව් හි ලෙනින් පිලිරුව. [ඡායාරූප: Andrijko Z. / CC BY-SA 4.0] [Photo by Andrijko Z. / CC BY-SA 4.0]

වසර ගනනාවකට පසු අප යුක්‍රේන ධනේශ්වර ජාතිකවාදීන් සහ ඔවුන්ගේ අපරාධ ගැන නැවත නැවතත් කතා කරන විට, අප මෙය පවසන්නේ යුක්‍රේනයේ සහ මුලු ලෝකයේම කම්කරු පන්තියට මතක් කිරීම සඳහා ය. ඔවුන්ට එරෙහිව අපරාධ කලේ කවුද, ඔවුන්ගේ සහ ඔවුන්ගේ දරු මුනුපුරන්ගේ ලේ වැගිරුවේ කවුද යන්න ඔවුන් දැන සිටිය යුතුය. ජර්මානු, බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයට සේවය කල සහ සේවය කරන අයත්, කම්කරුවන්ගේ ගෙල මිරිකා මරා දමමින් සිටින අයත් ඔවුන් දැන සිටිය යුතුය.

ඕනෑම රටක, ඕනෑම ජාතියක කම්කරු පන්තිය මතක තබා ගත යුත්තේ තමන්, තම දරුවන් සහ මුනුබුරන් දරිද්‍රතාවයෙන්, පීඩනයෙන් හා අසාධාරනයෙන් මුදවා ගැනීමටත්, නිදහස් කර ගැනීමටත් හැක්කේ ධනේශ්වර ජාතිකවාදයට නොව, නිර්ධන පංති විප්ලවවාදී ජාත්‍යන්තරවාදයට බව ය. ධනපතියන් සඳහා සේවයට සහ සහයෝගයට ධනේශ්වර ජාතිකවාදීහු සිටිති. විප්ලවවාදී ජාත්‍යන්තරවාදීන් සේවය කරන්නේ නිර්ධන පංතියේ සහ විප්ලවයේ අවශ්‍යතා සඳහා මිස කිසියම් රටක ධනේශ්වරයේ අධිරාජ්‍යවාදී හෝ ජාතික අවශ්‍යතා සඳහා නොවේ.

කම්කරු පන්තියට හා විප්ලවවාදී තරුනයින්ට එලඹෙන අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්විය හැක්කේ ඔවුන්ගේ ජාත්‍යන්තරවාදයෙන් හා එකමුතුවෙන් පමනි. දරිද්‍රතාවය, මානව පීඩනය සහ අසාධාරනය අවසන් කල හැක්කේ ජාත්‍යන්තරවාදයට මිස ධනේශ්වර හා සුලු ධනේශ්වර ජාතිකවාදයට නොවේ.

2023 මැයි දිනයේ අප සියල්ලන්ම මෙම නව ලෝකයට වඩාත් සමීප කරවමු, ඒ සඳහා පෘථිවියේ සැබෑ ස්වාමිවරුන් සහ නව ලෝකය ගොඩනඟන්නන් සටන් කර ඇති අතර සටන් කරනු ඇත: ඒ වනාහි, සියලුම රටවල සහ මහාද්වීපවල කම්කරුවන් ය.

------------------------------------------

රුසියාවේ වයිජීබීඑල් හි අන්ද්‍රේ රිට්ස්කිගේ කථාව

අද, මෙම වැදගත් වාර්ෂික රැලියේදී, බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානය වෙනුවෙන්, අන්ද්‍රේ රිට්ස්කි වන මම සුබ පැතුම් එවමි.

අද, රුසියානු සමාජය සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු, පෙර නොවූ විරූ ආකාරයේ සමාජ ආර්ථික අර්බුදයකට මුහුන දී සිටී. යුක්‍රේනයේ දැන් ඇවිලෙමින් පවතින යුද්ධය මෙහි පැහැදිලි ප්‍රකාශනයකි.

මීට වසර 30 කට පෙර, රුසියාව සහ එක්සත් ජනපදය තවත් න්‍යෂ්ටික නිරායුධකරන ගිවිසුමක් අත්සන් කරමින් සිටියහ. නමුත් දැන් අපි සිටින්නේ ලෝකයේ න්‍යෂ්ටික අවි ගබඩාවෙන් සියයට 90 ක් පමන ඇති රාජ්‍යයන් අතර වන න්‍යෂ්ටික ව්‍යසනයක අද්දර ය. ජාත්‍යන්තර සබඳතාවල මෙම පිරිහීම තේරුම් ගැනීමට නම්, වැඩි ඈතක නොවන අතීතයට පිවිසීම අවශ්‍ය වේ.

1987 දෙසැම්බර් 8 වැනි දින ධවල මන්දිරයේ නැගෙනහිර කාමරයේදී, සෝවියට් සංගමයේ ප්‍රධාන ලේකම් මිහායිල් ගොර්බචෙව් සහ එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන් අතරමැදි-පරාස න්‍යෂ්ටික බලකා ගිවිසුමට අත්සන් තබමින්. [අනුග්‍රහය: ධවල මන්දිරය]

සෝවියට් සංගමය බිඳවැටීමත් සමග, එක්සත් ජනපදය 'ඒක ධ්‍රැව' ලෝකයක් ප්‍රකාශයට පත් කලේය, එහි දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඕනෑම රටකට එහි කොන්දේසි නියම කරනු ඇත. ඒ සමගම, ධනවාදයේ පුනස්ථාපනයෙන් පසුව පිහිටුවන ලද රුසියානු සමූහාන්ඩුව අධිරාජ්‍යවාදී පරිසරය සමග 'සමාන සහයෝගීතාවයේ' ගමන් මග ආරම්භ කලේය.

මුලදී, රුසියාව විශාල කොටසක් වන මුලු යුරේසියාව දෙසට වඩා මැද පෙරදිග දෙසට තම බැල්ම යොමු කිරීම වඩා අවශ්‍ය යැයි සලකන තාක්, එක්සත් ජනපදයට සමාන හවුල්කරුවන්ගේ ක්‍රීඩාව කල හැකි විය. පුටින් පාලනය විසින් යෙල්ට්සින් පාලන තන්ත‍්‍රය අනුගමනය කරන ලදුව, බටහිර සමග එක්සත් වීමේ මග දිගේ ඉදිරියට ගියේය. රුසියාවට පවා නැටෝවට සම්බන්ධ විය යුතු බව හැඟී ගියේය.

කෙසේ වෙතත්, නැටෝවේ නැඟෙනහිර දෙසට ව්‍යාප්තිය සහ යුක්‍රේනයේ 2014 කුමන්ත්‍රනය සඳහා සෘජු සහයෝගය පෙන්නුම් කලේ, බහු ධ්‍රැවීය සහයෝගීතාව ගැන සිහින දකිමින් සිටි පුටින් තන්ත්‍රයේ අවශ්‍යතා, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවලට මුලුමනින්ම විරුද්ධ බවයි. යුක්‍රේනය තුල වත්මන් යුද්ධයේ දේශීය පූර්වගාමියා වන ඩොන්බාස්හි ගැටුම තුල, අනෙකුත් දේ අතර මෙය ද පිලිබිඹු විය.

1949 සිට නැගෙනහිර දෙසට නැටෝවේ ප්‍රසාරනය වීම පෙන්නුම් කරන සිතියමක් (ඡායාරූපය පැට්‍රික්නීල් විසිනි/සීසී බීවයි-එන්සී-එස්ඒ 4.0) [Photo by Patrickneil / CC BY-NC-SA 4.0]

එක්සත් ජනපදයේ දේශීය අර්බුදයක් වර්ධනය වීම අධිරාජ්‍යවාදයට බංකොලොත් බවට පත් කිරීමට බල කලේය. රුසියාවේ සම්පත් සෘජුව පාලනය කිරීම, එක්සත් ජනපදයට එහි අර්බුදය විසඳීමට සහ අනෙකුත් අධිරාජ්‍යවාදී සහ සංවර්ධනය වෙමින් පවතින බලවතුන් සමඟ වැඩිදුර එදිරිවාදිකම් සඳහා සහාය වනුවස් ඉතා වැදගත් විය හැක.

ධනේශ්වර කතිපයාධිකාරය විසින් කොල්ලකනු ලැබූ එහි පොහොසත් උරුමයන් සහිත සෝවියට් සමාජයේ නටබුන් මතින් නූතන රුසියානු තන්ත‍්‍රය මතු විය. ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහනයන් පිලිබඳ ස්ටැලින්වාදී නිලධරය විසින් කරන ලද අවසාන හා ආපසු හැරවිය නොහැකි පාවාදීම, සූරාකෑමට හා පීඩනයට එරෙහිව කම්කරු පන්තියේ ලේ වැකි අරගලයේදී දිනාගත් මහා උරුමය විකුනා දැමීමක් ලෙස හැඳින්විය හැකි දෙයකට තුඩු දුන්නේය.

ස්ටැලින්වාදයේ ප්‍රධාන උරුමක්කාරයා වන රුසියානු කතිපයාධිකාරය, අධිරාජ්‍යවාදයට පවරා දීමෙන් තම වරප්‍රසාදිත තත්වය අහිමි කර ගැනීමට කැමති නොවේ. එබැවින් එය දත් විලිස්සන අතර නැටෝව සමඟ මිලිටරි ගැටුමකට පවා සූදානම් ය.

2022 පෙබරවාරි 24 වැනි දින යුක්‍රේනය ආක්‍රමනය කිරීමේ අතිධාවනකාරී පියවර තුල මෙම ආස්ථානය මනාව ප්‍රකාශ වේ. දුර්වල ලෙස සූදානම් කෙරුනු සහ අධිරාජ්‍යවාදය සමග ගනුදෙනුවක් පිලිබඳ විශ්වාසයකින් සහාය ලද මෙම පියවර, එහි ප්‍රතිගාමී සහ සීමිත ස්වභාවය වඩ වඩාත් පෙන්නුම් කරයි.

ක්‍රෙම්ලිනය විසින් ගෙනහැර දක්වන ලද ඉලක්ක, ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයකට තුඩු දී ඇත. යක්ෂයා සමඟ ගිවිසුමක් වෙනුවට රුසියාව ඔහු සමඟ න්‍යෂ්ටික යුද්ධයක අද්දර සිටී. “බහු ධ්‍රැවීය ලෝකයක්” පිලිබඳ විශ්වාසය සහ ධනේශ්වර ස්වෝත්තමවාදයේ වේදිකාව, අධිරාජ්‍යවාදයට එරෙහි වීමට මුලුමනින් ම අසමත් ය.

ක්‍රෙම්ලිනය වොෂින්ටනය සමග කෙතරම් ගැටුනද, ඔවුන්ගේ පාලන තන්ත‍්‍ර නැගී සිටින්නේ නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික අයිතියේ පොදු පදනම මතය. ඔවුන් දෙකොටසම කම්කරු පන්තියේ විප්ලවවාදී අභිලාෂයන්ට එරෙහිව ධනේශ්වරයේ අවශ්‍යතා ආරක්ෂා කරති.

යුක්‍රේනය තුල වත්මන් යුද්ධය වනාහි ලෝක ධනවාදයේ වර්ධනය වන අර්බුදයේ ප්‍රතිවිපාකයකි. ඒ නිසා මේ යුද්ධය නිරාකරනය කල හැක්කේ එම අර්බුදය විසඳීමෙන් පමනි. මෙම අර්බුදය විසඳීමට අධිරාජ්‍යවාදයට හැකි බව කීමෙන් අදහස් වන්නේ, න්‍යෂ්ටික යුද්ධයෙන් සහ පාරිසරික ව්‍යසනයෙන් අවසන් වූ දශක ගනනාවක ව්‍යසනයන් වෙත ලෝකය හෙලීමයි. පුටින් වැනි ධනේශ්වර ක්ෂමාලාපකයන්ට සාමය ගෙන ඒමට හැකි බව පැවසීම යනු, වල්පැලෑටියක් එහි මුල්වලට අත නොතබා ගලවා දැමිය හැකි යැයි විශ්වාස කිරීමකි.

අධිරාජ්‍යවාදී ආක්‍රමනය හේතුවෙන් බිඳවැටීමේ තර්ජනයට මුහුන දී සිටින ක්‍රෙම්ලිනය පවතින්නේ උග්‍ර දේශපාලන අර්බුදයක ය. එය පිලිබිඹු වන්නේ රුසියානු පාලක පන්තියේ ඉහලින්ම පවතින නිරන්තර ආරවුල් සහ එහි කලබලකාරී අක්වක් චලනයන් මගිනි; මර්දන යාන්ත‍්‍රනය ප‍්‍රසාරනය කිරීමේදී, නීති දැඩි කිරීමේදී සහ පාසල් හා විශ්ව විද්‍යාල තුල එහි මිලිටරිවාදී ප‍්‍රචාරනයන්හිදී ය.

පුටින්, එක් අතකින් යටත් විජිතවාදයට එරෙහි අරගලයේ උරුමක්කාරයා ලෙස ප්‍රකාශ කිරීමට සූදානම් වන අතර අනෙක් පැත්තෙන් ඔහු රුසියාවේ බොල්ෂෙවික් අතීතයට මඩ ගසයි. ඔහු යටත් විජිතවාදයට එරෙහි සැබෑ සටන්කරුවන් වන ලෙනින් සහ ට්‍රොට්ස්කිට පහර දෙයි.

රුසියානු සමාජයේ පන්ති තුවාලය වේදනා ගෙන දෙමින් තිබේ. කම්කරු පන්තිය වැඩි වැඩියෙන් යුක්‍රේන යුද්ධය ඉක්මන් අවසානයක් අපේක්ෂා කරන අතර, යුක්‍රේන කම්කරුවන්ගේ තත්වය කෙරෙහි සානුකම්පිකව සිය යුද විරෝධී ආස්ථානය ප්‍රකාශ කරයි. යුද්ධය පුපුරා යාම නොතකා කම්කරු පන්තියට පසුගිය වසරේ සිය සටන්කාමීත්වය පවත්වා ගැනීමට හැකි වූ අතර, මේ වසරේ එය පුලුල් කිරීමට හැකි වනු ඇතැයි මට විශ්වාස ය.

ක්‍රෙම්ලිනයේ යුද්ධය, තමාගේ සහ අනෙකුත් රටවල කම්කරු පන්තියේ වියදමින් ගෙනයන්නක් බව රුසියානු කම්කරුවන් තේරුම් ගෙන සිටිති. එලෙසම යුක්‍රේන, යුරෝපීය හා ඇමරිකානු කම්කරු පන්ති දැන් සෙලෙන්ස්කි තන්ත‍්‍රයේ නය ගෙවමින් සිටිති.

වැටුප් කප්පාදුවලට සහ වැටුප් නොගෙවීම් වලට පවා කම්කරුවන් වැඩි වැඩියෙන් මුහුන දී සිටිති. වැටුප් නොගෙවීම පසුගිය වසරේ කම්කරුවන්ගේ අරගල වැඩිවීමට ප්‍රධාන හේතුව වීම අහම්බයක් නොවේ.

රුසියානු කම්කරුවන්, අනෙකුත් කම්කරුවන් මෙන් ම සටන්කාමී ය. මෙය ඔවුන්ගේ සංයුක්ත අරගල තුල නැවත නැවතත් ප්‍රකාශ වී ඇත. වයිල්ඩ්බෙරි සමාගමේ බෙදාහැරීමේ සේවකයින්ගේ වැඩ වර්ජනය මෑතකාලීන උදාහරනයකි.

එහෙත් ලොව පුරා සිටින රුසියානු කම්කරුවන්ගේ සහෝදරයන් ද දැනගත යුතු වන්නේ, රුසියාවේ කම්කරු පන්තියේ දේශපාලන නායකත්වය පිලිබඳ ප‍්‍රශ්නය ලෝකයේ වෙනත් ඕනෑම තැනකට වඩා තියුනුභාවයෙන් අඩු නොවන බවයි. වත්මන් දේශපාලන බලවේග තමන්ව “වාමාංශිකයන්” ලෙස හඳුන්වනු ලබන්නේ, අර්බුදයට එකදු ප්‍රගතිශීලී විසඳුමක් ඉදිරිපත් නොකරමිනි.

සියල්ලටමත් වඩා, මෙම ව්‍යාජ-වාම දේශපාලන බලවේග ජාතිකවාදී දෘෂ්ටිකෝනයක් මත නැගී සිටියි. 'නීතිමය' බලවේග ක්‍රෙම්ලිනයේ විවෘත ස්වෝත්තමවාදී ආස්ථානය මත නැගී සිටින අතර පුටින්ගේ යුක්‍රේනය ආක්‍රමනය ආරක්ෂා කරයි. 'නීති විරෝධී' බලවේග බොහෝ දුරට අධිරාජ්‍ය ගැති හෝ ජාතික ප්‍රතිසංස්කරනවාදී න්‍යායපත්‍ර ප්‍රවර්ධනය කරයි.

යුද්ධය ජාතික අර්බුදයක නොව, ජාත්‍යන්තර අර්බුදයක ප්‍රකාශනයක් බව ඔවුන්ට නොපෙනේ. එබැවින් මෙම අර්බුදය විසඳීම කල හැක්කේ ධනේශ්වර රාජ්‍යයන්ගේ ජාතික දේශසීමා නොතකා, ගෝලීය නිෂ්පාදනයේ හුයපට වලින් සම්බන්ධ වූ කම්කරු පන්තියේ ප්‍රධාන විප්ලවවාදී විෂය වන ලෝක වේදිකාවක් මත පමනි.

ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කල හැකි ජාතික පක්ෂ ගොඩනැගීමේ ආරම්භක ලක්ෂ්‍යය ලෙස කම්කරු පන්තියේ ලෝක පක්ෂයක් සඳහා වන අරගලයට ඔවුහු විරුද්ධ වෙති.

නායකත්වයේ අර්බුදය විසඳීමට සමත් එකම විප්ලවවාදී සංවිධානය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලොව පුරා එහි ශාඛා බව පවසමින් මම අවසන් කිරීමට කැමැත්තෙමි. අපගේ ව්‍යාපාරය, නිර්ධන පංතියේ ශතවර්ෂයක ඓතිහාසික අරගලය තුල ස්ථාපිත වූ විප්ලවවාදී මූලධර්ම මත පදනම් වේ. එය, මහා ජයග්‍රහන සහ කටුක පරාජයන් ඇති අරගලයක් ය යනු හිස් වචන කිහිපයක් නොව, අපගේ ජීවිතයේ ද, ම්ලේච්ඡත්වය, සූරාකෑම සහ මිනිසුන් අතර අසමානතාවයට එරෙහි අරගලයේ ද කොටසකි.

ස්ටැලින්ගේ බලයට නැඟීමේදී පුද්ගලාරෝපනය වූ, බොල්ෂෙවික් පක්ෂයේ සහ සෝවියට් රාජ්‍යයේ නිලධරිවාදී හා ජාතිකවාදී පරිහානියට එරෙහිව, ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ වාම විපාර්ෂවය පිහිටුවීමේ ශත සංවත්සරය මෙම වසරේ සනිටුහන් කරයි.

වික්ටර් එල්ට්සින් (ඉහල දකුනේ) සහ ඊගෝර් පොස්නාන්ස්කි (මැද වමේ) ඇතුලු 1928 දී සෝවියට් වාම විපක්ෂයේ පිටුවහල් කල නායකයින් [Photo: MS Russ 13 (T 1086), Houghton Library, Harvard University, Cambridge, Massachusetts] [Photo: MS Russ 13 (T 1086), Houghton Library, Harvard University, Cambridge, Massachusetts]

ඔක්තෝබර් විප්ලවයේ ස්ටැලින්වාදී පාවාදීමට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ගෙන ගිය අරගලය ඉතිහාසය විසින් සනාථ කර ඇත. බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානය, ජාත්‍යන්තර කමිටුවේ ධජය යටතේ, රුසියාව තුල සහ පැරනි සෝවියට් සංගමය පුරා ට්‍රොට්ස්කිවාදයේ පුනර්ජීවනය නිදර්ශනය කරයි.

Loading