ඉදිරිදර්ශන

හජාජාක 2023 ඔන්ලයින් මැයි දින රැලිය: යුද්ධයට එරෙහි ව, ගෝලීය කම්කරු පන්තික ව්‍යාපාරයක් ගොඩනැගීමේ සැතපුම් කනුවක්

[මෙය The ICFI’s May Day 2023 online rally: A milestone in the building of a global, working class movement against war මැයෙන් 2023 මැයි 2දා ලෝසවෙඅ හි පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.]

එකිනෙකට අන්තර්-සම්බන්ධිත ක්‍රියා දාමයන් දෙකක් මත කේන්ද්‍රගත වෙමින්, අප්‍රේල් 30දා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) එහි දසවැනි ඔන්ලයින් මැයි දින රැලිය පැවැත්වී ය: එම ක්‍රියා දාමයන් දෙක වන්නේ, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව තීව්‍ර කරන එක්සත් ජනපද-නැටෝ යුද්ධය සහ ජාත්‍යන්තර පන්ති අරගලයේ වේගවත් වර්ධනය යි. අධිරාජ්‍යවාදී යුද්ධය, සමාජ අසමානතාව, කෝවිඩ්-19 වසංගතය, දේශගුන වෙනස සහ අර්බුද-ග්‍රස්ත ධනවාදයක සියලු අනිටු විපාකයන්ට එරෙහි ව, කම්කරු පන්තිය තුල වර්ධනය වන විරුද්ධත්වයට දේශපාලනික දිශානතියක් රැලිය මගින් සම්පාදනය කලේ ය.

ජාත්‍යන්තර මැයි දින රැලිය, 2023

මහාද්වීප පහේ කථිකයන් 19 දෙනෙක්, භාෂා 10ක උපසිරැසි සහිත ව, වෙනස් භාෂා නවයකින් කථා කරමින්, දේශපාලන විශ්ලේෂනයේ පැය තුනක් පුරා, ඒකාබද්ධ, ඓතිහාසික පදනම් සහිත ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කල හ. ලෝකයේ ප්‍රධාන සංගතවලට හා ආන්ඩුවලට එරෙහි ව, ජාත්‍යන්තර කම්කරු පන්තිය එකමුතු කිරීමේ හා එහි යෝධ සමාජීය බලය බලමුලු ගැන්වීමට සමත් දේශපාලන ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කිරීමට කථිකයෝ එක්ව ක්‍රියා කල හ.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉදිරි දර්ශනයෙන් අනුප්‍රානය ලැබ, සමාජවාදී අනාගතයක් සඳහා සටන් කිරීමට අධිෂ්ටානවත්, ලෝසවෙඅ විසින් දේශපාලනික ව අධ්‍යාපනගත කරන ලද, ලොව පුරා තරුන කම්කරුවන් හා ශිෂ්‍යයන් ඉදිරිපත් කරන ලද අදහස් රැලියෙහි හැඳින්වීම ලෙස විකාශය කරනු ලැබී ය.

එක්සත් ජනපද නායකත්වයෙන් යුත් මිලිටරි මැදිහත්වීම් සහ නැටෝව නැගෙනහිර දිගට සැතපුම් 800ක් ප්‍රසාරනය කිරීමේ වසර 30කට පසුව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ “අප්‍රකෝපිත යුද්ධය” පිලිබඳ ආඛ්‍යානය දූරිභූත කරමින්, යුක්‍රේනය තුල යුද්ධයට එක්සත් ජනපදය හා නැටෝව ධාවනය කරන ගැඹුරු සමාජ-ආර්ථික හා දේශපාලනික අර්බුදයන්ගේ සාරාංශයක් ඉදිරිපත් කිරීමට, ආරම්භක ප්‍රතිපදානය කල ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් කටයුතු කලේ ය.

“එක්සත් ජනපදයෙහි ගෝලීය ආර්ථික තත්ත්වයේ දිග්ගැස්සුනු ඛාදනය,” “ආර්ථික කම්පන මාලාවක්”, “ඇමරිකානු දේශපාලන පද්ධතියෙහි බිඳවැටීම” සහ “වසංගතයෙහි සහ නව උද්ධමනීය සර්පිලයක බලපෑමෙන් තීව්‍ර කෙරුනු දැවැන්ත අසමානතාව හේතුවෙන් ඔද්දල් වූ සමාජයක වැඩි වර්ධනය වන දේශීය අස්ථාවරත්වය”, මෙම අර්බුදයන් අතර පවතින බව නෝර්ත් පැහැදිලි කලේ ය.

“එක්සත් ජනපදයට පීඩා කරන එම දේශපාලන හා ආර්ථික රෝගාබාධයන්ගෙන් ම, ඒවා සමග ගනුදෙනු කිරීමේ ලා වඩා අඩු මූල්‍ය සම්පත් සතු” ඇමරිකාවේ යුරෝපීය සගයන් ද “පීඩා විඳින” බව, ඔහු විස්තර කලේ ය.

පලමුවන ලෝක යුද්ධයෙහි අත්දැකීම් මත පදනම් ව, ව්ලැදිමීර් ලෙනින් හා ලියොන් ට්‍රොට්ස්කි යන රුසියානු විප්ලවවාදීන් දෙදෙනා විශ්ලේෂනය කල ආකාරයෙන්, “මෙම බහු-ආංශික අර්බුදය, ලෝකයේ ධනය හා සම්පත් බෙදී පවත්නා අයුරු වෙනස් කිරීම සඳහා වන ප්‍රචන්ඩ ප්‍රයත්නයන්ට, අධිරාජ්‍යවාදී බලයන් තල්ලු කරමින් සිටී.

“සෝවියට් සංගමය තුල පැවති ජනසතු දේපොල බිඳ විසිරවීම හා සොරාගැනීම මත පදනම් වන ධනය සහිත, කතිපයාධිකාරී පන්තියක ආර්ථික අවශ්‍යතා විසින් නීර්නිත වන අයුරින් ‘ජාතික ආරක්ෂාව’ අර්ථ දක්වන” පුටින්ගේ ආන්ඩුවෙන් යුද්ධයට ප්‍රගතිශීලී පිලිතුරක් සොයාගත නො හැක.

“යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලීමේ දී, අපි සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්මය මත පිහිටා සිටිනවා. කම්කරු පන්තියට රටක් නැහැ. යුක්‍රේනියානු හෝ රුසියානු කම්කරු පන්තියට මෙම යුද්ධයෙන් ජයග්‍රහනය කිරීමට කිසිවක් නැහැ. වසර අසූවකට පෙර, සෝවියට් සංගමයෙන් නාසි ආක්‍රමනිකයන් පලවාහැරීම සඳහා යුක්‍රේනයේ හා රුසියාවේ කම්කරුවෝ එකාවන් ව සටන් කලා. දැන්, ධනවාදය පුනස්ථාපනය කිරීමේ විපාකයක් ලෙස, ෆැසිස්ට්වාදයට එරෙහිවත්, ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහන ආරක්ෂා කිරීමටත්, ඔවුන් සටන් වැදුනු භූමියේ ම, එකිනෙකා මරා ගනිමින් සිටිනවා” යි නෝර්ත් සඳහන් කලේ ය.

යුදෙව්වන් දසදහස් ගනනක් මරා දැමීමට වගකිව යුතු අන්ත-දක්ෂිනාංශික යුක්‍රේන ජාතිකවාදීන්ගෙන්, රතු හමුදාව විසින් 20වන ශතවර්ෂයේ දී දෙවරක් විමුක්ත කරගත් බැක්මුත් නමැති යුක්‍රේනය තුල යුද්ධයෙහි වර්තමාන ලේවැකි නාභීය ලක්ෂ්‍යයෙහි ඉතිහාසය තුල, ජාතිකවාදයෙහි විනාශකාරී විපාක සහ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ හැකියාවන් යන දෙක ම සංලක්ෂිත වී පවතී. 1919 දී, පැරනි රුසියානු අධිරාජ්‍යයේ බහුජාතික කම්කරු පන්තියේ හා ගොවි ජනතාවගේ සෝවියට් සංගමය ඒකාබද්ධ කිරීමේ කොටසක් බවට, මෙම නගරය විමුක්ත කරගැනීම පත් ව තිබිනි.

නැටෝවේ අධිරාජ්‍යවාදී යුද්ධය හෙලාදකින අතර ම, ඔවුන්ගේ ම ආන්ඩුවල ප්‍රතිගාමී පිලිවෙත්වලට විරුද්ධ වුනු, රුසියාවේ හා යුක්‍රේනයේ සහෝදරවරුන් දෙදෙන සුවිශේෂී ව ඉදිරිපත් කරමින්, රැලියේ දී මෙම ඉතිහාසයට ජීවය ලබා දුනි. ස්ටැලින්වාදී නිලධරයෙහි උරුමකරුවන් වන, රුසියාවේ හා යුක්‍රේනයේ ධනපති කතිපයාධිකාරීන් විසින් කරගෙන යන සමාජ ප්‍රතිවිප්ලවයටත්, ඔවුන් වමාරා ඇති ජාතික ස්වෝත්තමවාදී හා ෆැසිස්ට්වාදී සම්ප්‍රදායන්ටත් එරෙහි ව, සෝවියට් සංගමය ආරක්ෂා කිරීමේ ප්‍රගතිශීලී ඉතිහාසය ගෙනහැර පෑමට, යුක්‍රේනයේ සිට කතා කල ස්ටෙපාන් ගෙලර් හා රුසියාවේ සිට කතා කල අන්ද්‍රෙයි රිට්ස්කි ක්‍රියා කල හ.

සිය සැඳහුම්වල දී, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය හා පුටින් ආන්ඩුව යන දෙකට ම විරුද්ධ වුනු රිට්ස්කි, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි ඓතිහාසික සම්ප්‍රදායන් බලගතු ලෙස ඉදිරිපත් කලේ ය: “බලය කරා ස්ටැලින්ගේ ආරෝහනය තුල පුද්ගලාරෝපනය වුනු, බොල්ශෙවික් පක්ෂයේ හා සෝවියට් රාජ්‍යයේ නිලධාරිවාදී හා ජාතිකවාදී පිරිහීමට විරුද්ධ ව, ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ වාමාංශික විරුද්ධ පාර්ශවය ආරම්භ කිරීමේ සිට වසර සියයක් ගතවීම මේ වසර විසින් සලකුනු කරනවා” යි ඔහු කීවේ ය.

“ඔක්තෝබර් විප්ලවයේ ස්ටැලින්වාදී පාවාදීමට එරෙහි ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දියත් කල අරගලය ඉතිහාසය විසින් සනාථ කර තිබෙනවා” යැයි ඔහු තව දුරටත් කීවේ ය. “රුසියාව සහ පැරනි සෝවියට් සංගමය පුරා, ජාත්‍යන්තර කමිටුවෙහි ධජය යටතේ, බොල්ෂෙවික් ලෙනින්වාදී තරුන රැකවල ට්‍රොට්ස්කිවාදයේ පුනර්ජීවනය ආදර්ශනය කරනවා.”.

ශ්‍රී ලංකාවේ ධනේශ්වරය විසින් අවුලුවන ලද වාර්ගික ගැටුම හා සිවිල් යුද්ධයට එරෙහි ව, එම රටෙහි හජාජාක ශාඛාව දශක ගනනක් තිස්සේ ගෙන ගිය අරගලය සලකුනු කරමින්, එම ජීව ගුනයෙන්ම, දීපාල් ජයසේකර හා ඩිලක්ෂන් මහලිංගම් සිංහලෙන් හා දෙමල භාෂාවලින් ඉදිරිපත් කල කතාවන්ට හජාජාක සවන් දුන්නේ ය.

ඉතා යෝග්‍ය පරිදි ලෙනින් විසින් “අති විකාරය” ලෙස හඳුන්වන ලද, ජර්මානු සංශෝධනවාදී කාල් කෞට්ස්කිගේ ශතවර්ෂයක් පැරනි “අති-අධිරාජ්‍යවාදය” යන න්‍යායය ප්‍රතිරාවය කරමින්, “ගෝලීය සම්පත්වල සාමකාමී බෙදීමක්, සාමූහික ව හා සුසංවාදී ව අධීක්ෂනය කරන ...ධනපති රාජ්‍යවල සන්ධානයක්” සහිත “බහු-ධ්‍රැවීය ලෝකයක” ප්‍රාප්තිය පිලිබඳ අදහස, නෝර්ත් හා අනෙකුත් කථිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබී ය.

හජාජාක නායකයන් විසින් අභිවර්ධනය කරනු ලබන එයට ප්‍රති-විරුද්ධ ක්‍රියා මාර්ගය පදනම් කරන ලද්දේ, අධිරාජ්‍යවාදී යුද්ධයට, ජීවන තත්ත්වයන්ගේ කඩා වැටීමට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරයන්ට එරෙහි අරගලයක එකම ශක්‍ය සමාජ පදනම වන්නේ, සමාජවාදී නායකත්වයක් විසින් සංවිධිත ජාත්‍යන්තර කම්කරු පන්තියය යන අවබෝධය මත යි.

ප්‍රන්සයේ ඇලෙක්ස් ලැන්ටියර්, එක්සත් රාජධානියේ ටොම් ස්ක්‍රිප්ස් හා ජර්මනියේ ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රයර්ගේ ප්‍රතිපදාන, යුරෝපයේ වේගවත් යලිමිලිටරීකරනය හා පොලිස් රාජ්‍ය රූපාකාරයන් කරා හැරීම විස්තර කලේ ය. සමාජවාදී සමානතා පක්ෂ විසින් වෘත්තීය සමිති නිලධරයන් පටවන සීමාවන්ගෙන් මුදාගෙන, සමාජවාදී හා යුද-විරෝධී විඥානයකින් සන්නද්ධ කිරීමට උත්සාහ දරා ඇති, කම්කරු අරගලවල විභවීය විප්ලවවාදී රැල්ලක ඉස්මතු වීම, ඔවුහු සටහන් කල හ.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ (ක්‍රිකජාස) හා කම්කරු-පන්තික අරගලයේ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන රූප බිහිකිරීමට හජාජාක සෑම රටක් තුල ම ගෙන යන සටනේ නියෝජිතයා ලෙස, විල් ලෙහ්මන් මේ සම්බන්ධයෙන් කතා කලේ ය.

දැනට මත් න්‍යෂ්ටික යුද්ධයක් බවට වැඩීමට තර්ජනය කරමින් තිබෙන රුසියාව සමග යුද්ධය, වොෂින්ටනයේ ප්‍රධාන භූ-මූලෝපායික ප්‍රතිමල්ලවයා වන චීනය සමග යුද්ධයේ උපායක් ලෙස, ඕස්ට්‍රේලියාවේ චෙරිල් ක්‍රිස්ප් හා නවසීලන්තයේ ටොම් පීටර්ස් විස්තර කල හ.

කෝවිඩ්-19 වසංගතය පිලිබඳ ව එවාන් බ්ලේක් ඉදිරිපත් කල වාර්තාවෙන් සහ තුර්කියේ නැගෙනහිරදිගට හා සිරියාවට මේ වසරේ පහර දුන් භූ-චලනය පිලිබඳ ව තුර්කියේ සිට කතා කල උලාස් අටේසිගේ කතාවෙන් කොටසකින්, තුන්වන ලෝක යුද්ධය ගැන මෙනෙහි කරන පාලක පන්තිය මානව ජීවිත කෙරෙහි දක්වන උදාසීනත්වය ඉස්මතු කෙරුනු අතර, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා විද්‍යාත්මක අභිවර්ධනයන් ධනපති පන්තිය අතින් ගිලිහී යන ආකාරය අවධාරනය කෙරුනි.

ජාතික ධනේශ්වරය සහ එහි කිසිදු කොටසක්, ලෝක අධිරාජ්‍යවාදයෙන් හෝ එහි යුද්ධයන්ගෙන් ද ජාත්‍යන්තර කම්කරු පන්තියට එම යුද්ධ විසින් කැඳවාගෙන එන ජීවන තත්ත්වයන් මත ප්‍රහාරයන්ගෙන් ද නිදහස තහවුරු කිරීමට අසමත් බව, අටේසි සහ බ්‍රසීලයෙ එදුවාර්දෝ පරාටි පැහැදිලි කල හ. රුසියානු-විරෝධී ප්‍රහාරයේ ප්‍රධාන දෘෂ්ටිවාදාත්මක කඳවුරක් වන කැනඩාවේ භූමිකාව සහ වසංගතයේ අත්දැකීම “කරුනාවන්ත, මෘදු මොලොක් ධනවාදයක්” පිලිබඳ කිසිදු හැකියාවක මිථ්‍යාව පුපුරුවා හැර ඇති බව කීත් ජෝන්ස් විශ්ලේෂනය කලේ ය.

යුද්ධයට එරෙහි ව ගෝලීය ප්‍රසිද්ධ රැස්වීම් මාලාවක් සංවිධානය කරමින් සිටින, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ නියෝජිතයන් වන ග්‍රෙගර් ලින්ක් සහ ඔස්කාර් ග්‍රෙන්ෆෙල් තරුන ජනයා මුහුන දෙන දරිද්‍රතාවේ, යුද්ධයේ හා පාරිසරික විනාශයේ අනාගතය පිලිබඳ ව කල ප්‍රතිපදාන, රැලියේ ප්‍රධාන අංගයක් විය.

රැලිය සම්පින්ඩනය කරමින්, එක්සත් ජනපදය පිලිබඳ ව ජෝසෆ් කිෂෝර් කල ප්‍රතිපදානය, ලෝක අධිරාජ්‍යවාදයෙහි හදවතේ ස්ථානගත ව සිටින ඇමරිකානු කම්කරු පන්තියේ ගෝලීය වැදගත්කමට ද සමාජවාදය කෙරෙහි එහි වැඩෙන උනන්දුවෙහි අර්ථභාරයට ද යොමු කෙරුනි. ඡන්ද දායකයන් මර්දනය කරනු ලැබීම මධ්‍යයේ, එක්සත් මෝටර් කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) සභාපති ධූරයට ක්‍රිකජාස නියෝජනය කරමින් තරඟ වැදුනු අපේක්ෂක විල් ලෙහ්මන්ට කම්කරුවන් 5,000ට අධික පිරිසක් ඡන්දය දීම විසින් මෙය ආදර්ශනය කෙරුනි.

එහි ලෝක ඓතිහාසික සන්දර්භයෙන් බලන විට, 2023 මැයි දිනය ආදර්ශනය කලේ, ලෝක ධනවාදයෙහි සර්පිලාකාර අර්බුදයක කොන්දේසි යටතේ, ට්‍රොට්ස්කිවාදයේ දේශපාලන ක්‍රියා මාර්ගය කම්කරු පන්තියේ අරගල සමග අන්තර්-ඡේදනය වීම යි.

එහි ආකෘතිය හා අන්තර්ගතය යන දෙකෙන් ම, රැලිය මුලුමනින් ම සුවිශේෂී විය. සියලු ප්‍රතිපදානයන්ගේ ඉහල දේශපාලනික මට්ටම, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි ක්‍රියා මාර්ගය හා සම්ප්‍රදායන් මත පදනම් කෙරුනි. මාධ්‍ය හා පාලක පන්තියේ පක්ෂවල බොරු හා ප්‍රචාරනය එය තුල හෙලිදරවු කෙරුනි. රුසියාවට එරෙහි යුද්ධය තීව්‍ර කිරීම සඳහා කරන ඉල්ලීම්වල පෙරමුනෙහි පසුවන විවිධාකාර පැබ්ලෝවාදී හා ව්‍යාජ-වාම සංවිධානවල යුද-ගැති හා අධිරාජ්‍ය-ගැති දේශපාලනයට එය එකහෙලා ප්‍රතිකූල ව පිහිටියේ ය.

20වන ශතවර්ෂය මුල දී කම්කරු පන්තිය තුල ගැඹුරු මුල් සොයාගත්, සියල්ලට ඉහලින් පලමුවන ලෝක යුද්ධය අවසානයකට ගෙන ආ රුසියානු විප්ලවය ඇතුලු විප්ලවවාදී අරගල රැල්ලට යටින් පිහිටා තිබූ, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ දේශපාලන සංස්කෘතිය යලි ගොඩනැගීමට, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව නායකත්වය දෙමින් සිටී.

සමාජවාදී හා විප්ලවවාදී ඉදිරි දර්ශනයක පදනම මත, කම්කරුවන් හා තරුන ජනයා යුද්ධයට විරුද්ධ ව සංවිධානය කිරීමට, ලෝක පරිමාන ව ගෙන යන උද්ඝෝෂනයක පලමු අවධියෙහි කුලුගැන්වීම වූයේ මැයි දින රැලිය යි. සසජාතශි සංවිධානය ලොව පුරා පවත්වන රැස්වීම් මෙයට ඇතුලත් ය.

මෙම වැඩකටයුතු ගෙන යාමේ දී, හජාජාකට මග පෙන්වන්නේ දෙවන ලෝක යුද්ධය අද්දර ට්‍රොට්ස්කි ඉදිරිපත් කල, තම කතාවේ දී නෝර්ත් විසින් උපුටා දැක්වූ වචන මගිනි:

සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය එහි පිලිවෙත් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ, “ධනපති ආන්ඩුවල මාධ්‍යය හරහා නො වේ ...ඒ වෙනුවට මුලුමනින් ම උද්ඝෝෂනය හරහා මහජනයා අධ්‍යාපනගත කිරීමත්, ඔවුන් ආරක්ෂා කල යුත්තේ කුමක්ද හා පෙරලා දැමිය යුත්තේ කවරක්දැයි කම්කරුවන්ට විස්තර කිරීමත් හරහා ය.”

එවන් ප්‍රවිෂ්ටයකට “ක්ෂනික ආශ්චර්යමත් ප්‍රතිඵල ලබා දිය නො හැක. එහෙත් අපි ආශ්චර්යයන් නිර්මානය කරන්නන් බවට ව්‍යාජ ලෙස නො අඟවමු. වත්මන් කොන්දේසිවලට අනුව, අපි විප්ලවවාදී සුලුතරයක් වෙමු. අපට ආනුභාවය පවතින කම්කරුවන්ට සිද්ධීන් නිවැරදි ව තක්සේරු කිරීමටත්, ඔවුන් පූර්ව දැනුවත් භාවයකින් තොරව සිද්ධීන්ට මුහුන පෑම වලකාගැනීමටත්, අප මුහුන දෙන කර්තව්‍යයන් විප්ලවවාදී ලෙස විසඳීම සඳහා ඔවුන්ගේ ම පන්තියේ පොදු මනෝගතිය සූදානම් කිරීමටත්, හැකි වන පරිදි අපේ කර්තව්‍යයන් යොමු කල යුතු ය.”

රැලියේ සියලු කතාවල පඨිතයන් එලඹෙන සතියේ පලකරනු ලබයි. ඒවා පරිස්සමින් අධ්‍යයනය කරන ලෙසත්, ඒවා හැකිතාක් පලල් ව බෙදාහරින ලෙසත්, ඔබගේ සහෝදර කම්කරුවන් සමග ඒවා සාකච්ඡා කරන ලෙසත්, සමාජවාදය සඳහා අරගලයට බැඳෙමින් රැලිය තුල මූර්තිමත් වූ මූලධර්ම සඳහා සටන සියතට ගන්නා ලෙසත්, අපි අපේ සියලු පාඨකයන්ට කැඳවුම් කරමු.

Loading