ශ්‍රී ලංකාවේ පාලක පක්ෂය පසුගිය වසරේ මහජන නැගිටීම ගර්හාවට ලක් කරයි

[මෙය Sri Lankan ruling party demonises last year’s mass uprising යන මැයෙන් 2023 මැයි 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මැයි 9 දා, ශ්‍රී ලංකා කැබිනට් ප්‍රකාශක බන්දුල ගුනවර්ධන කොලඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, කැබිනට් මන්ඩලය “[මීට] වසරකට පෙර පැවති ප්‍රචන්ඩත්වය ගැන” සාකච්ඡා කල බවත්, අනාගත ප්‍රචන්ඩකාරී නොසන්සුන්තාවක් වැලැක්වීම සඳහා පූර්න බලතල සහිත ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටි බවත් ය. ඔහු වික්‍රමසිංහගේ ප්‍රතිචාරය පිලිබඳ විස්තර කිසිවක් සපයා නැත.

බන්දුල ගුනවර්ධන, 2023 මැයි 16 [ඡායාරූපය: බන්දුල ගුනවර්ධන ෆේස්බුක්] [Photo: Bandula Gunawardena Facebook]

ගුනවර්ධන කතා කලේ, 2022 මැයි 9 වැනිදා ගාලුමුවදොර පිටියේදී ආන්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට, හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ නිල නිවසට රැස්ව සිටි ආන්ඩු හිතවාදී මැරයන් විසින් එල්ල කරන ලද දරුනු ශාරීරික ප්‍රහාරය ගැන නොවේ.

ඔහු සඳහන් කලේ, විරෝධතාකරුවන්ට එල්ල වූ මැර ප්‍රහාරවලට විරෝධය පල කරමින් ශ්‍රී ලංකාව පුරා පැතිර ගිය ප්‍රති-ප්‍රචන්ඩත්වය ගැන ය. මෙය එක් මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දුසිම් ගනනකගේ සහ ආන්ඩුවේ ආධාරකරුවන් සිය ගනනකගේ නිවාසවලට ගිනි තැබීමටත් හේතු විය.

මන්ත්‍රීවරුන්ට සහ ආන්ඩුවේ ආධාරකරුවන්ට එරෙහිව ගිය වසරේ පලිගැනීමේ ක්‍රියා නැවත සිදු නොවන බවටත්, ඔවුන්ගේ 'මානව හිමිකම්' ආරක්ෂා කරන බවටත් වික්‍රමසිංහ ලවා, සහතික කිරීම කැබිනට් ඇමතිවරුන්ට අවශ්‍ය වූ බව ගුනවර්ධන මාධ්‍ය වෙත පැවසීය.

වික්‍රමසිංහ එවැනි කොමිසමක් පිහිටුවුවහොත්, එය නිසැකව ම දැඩි ප්‍රති-ත්‍රස්ත නීති සකස් කර, ආන්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට, කම්කරුවන්ට සහ තරුනයින්ට එරෙහිව භාවිතා කල යුතු යැයි නිර්දේශ කරනු ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි එහි ප‍්‍රහාර වලට පුලුල්ව පැතිරුනු විරුද්ධත්වයට මුහුන දී සිටින ආන්ඩුවට, පසුගිය මාසයේ එහි නව ප්‍රති-ත‍්‍රස්ත පනත් කෙටුම්පත පිලිබඳ පාර්ලිමේන්තු සාකච්ඡාව කල් දැමීමට බල කෙරුනි. කෙසේ වෙතත්, නව කුරිරු නීති එහි න්‍යාය පත්‍රය තුල තවම පවතී.

මෙම කැබිනට් සාකච්ඡා, පසුගිය වසරේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බවට සහ ඔහුගේ ආන්ඩුව මහජනතාවට එල්ල කරන නොඉවසිය හැකි සමාජ ප්‍රහාරයන් අවසන් කරන ලෙසට බල කල රටපුරා නැගිටීම, එනම් අරගලයට නිග්‍රහ කර අපකීර්තියට පත් කිරීමේ තීව්‍රවන දේශපාලන ව්‍යාපාරයක කොටසකි.

මෙම මහජන ව්‍යාපාරයට මුහුන දුන් රාජපක්ෂ රටින් පලා ගොස් පසුව ඉල්ලා අස්විය. ඔහුගේ පාලන තන්ත්‍රය බිඳ වැටුනු අතර දේශපාලන වශයෙන් අපකීර්තිමත් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජනාධිපති ලෙස පත් කරන ලදී. මෙම දේශපාලන උපාමාරුව දැමීමට හැකි වූයේ, ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ අනෙකුත් දේශපාලන පෙලගැසීම් වල පිටුබලය ලද වෘත්තීය සමිති, ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනයට එල්ල වන ඕනෑම සෘජු අභියෝගයක් අවහිර කරමින් කම්කරු පන්තික මහජන ව්‍යාපාරය පාර්ලිමේන්තු රාමුවට ගැට ගැසූ බැවිනි.

දැනටමත් මිලියන ගනනක් දරිද්‍රතාවයට, විරැකියාවට හා කුසගින්න අද්දරට ඇද දමා ඇති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද ම්ලෙඡ්ච කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව නැගී එමින් පවතින කම්කරුවන්ගේ සහ දුගීන්ගේ විරෝධය පිලිබඳව වික්‍රමසිංහ තන්ත‍්‍රය දැඩි ලෙස කැලඹීමට පත්ව ඇත.

පසුගිය සතියේ, ආන්ඩු විරෝධී විරෝධතාකරුවන්ට පහර දීමේ පලමු සංවත්සරය සැමරීම සඳහා, ගාලු මුවදොර පිටියේ, ජනාධිපති නිල නිවස හෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂන වලක්වාලමින් පොලිසිය කොලඹ මහේස්ත්‍රාත්වරයෙකුගෙන් තහනම් නියෝග ලබා ගත්තේ ය.

එපමනක් නොව, සිකුරාදා රාත්‍රියේ සිට දින තුනක් පුරා ආන්ඩුව සම්පුර්නයෙන්ම සන්නද්ධ පොලිස් නිලධාරීන් සහ සොල්දාදුවන් දහස් ගනනක් කොලඹ දැවැන්ත ආරක්ෂක මෙහෙයුමක් සඳහා යෙදවීය. පෙසප විසින් මෙහෙයවනු ලබන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) සැලසුම් සහගත විරෝධතාවක් සම්බන්ධයෙන් තමන්ට තොරතුරු ලැබුනු බව පොලිස් සහ හමුදා බුද්ධි අංශ නිලධාරීහු කියා සිටියහ.

ගිය අවුරුද්දේ මහජන නැගිටීම අවමානයට ලක් කරන මඩ ව්‍යාපාරයක් දැන් දියත් කර ඇත. පසුගිය වසරේ රාජපක්ෂ බලයෙන් පහ කල මහජන ව්‍යාපාරය පිටුපස “විදේශ හස්තයක්” පැවති බවට පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) සාමාජිකයන් චෝදනාවක් ප්‍රචාරය කරයි.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ පුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පසුගිය සතියේ මාධ්‍යයට පැවසුවේ, “‘අරගලය’ පිටුපස සිදු වූ විදේශ මෙහෙයුම පිලිබඳ තොරතුරු ලඟදීම හෙලි වනු ඇති” බවයි.

මෙය, ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් මෑතකදී රචිත, නමය: සැඟවුනු කතාව නම් වූ කෘතිය ගැන සඳහනක් විය. 'නවය' යනු 2022 මැයි 9 සිට ජූලි 9 දක්වා රාජපක්ෂගේ වැටීමට තුඩු දුන් කාලයයි. වීරවංශ පසුගිය වසරේ මාර්තු මාසයේදී ඉල්ලා අස්වන තෙක් රාජපක්ෂගේ ආන්ඩුවේ කර්මාන්ත ඇමතිවරයා විය.

විමල් වීරවංශ 2023 අප්‍රේල් මස අගදී ඔහුගේ නමය: සැඟවුනු කතාව නම් වූ කෘතිය ප්‍රවර්ධනය කරමින්. [ඡායාරූපය: විමල් වීරවංශ ෆේස්බුක්] [Photo: Wimal Weerawansa Facebook]

විෂඝෝර සිංහල ස්වෝත්තමවාදියෙකු වන වීරවංශ වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) හිටපු නායකයෙකු වූ අතර, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි වර්ගවාදී යුද්ධයේ වියරු වැටුනු ආධාරකරුවෙකු විය.

පසුගිය වසරේ ආන්ඩු විරෝධී නැගිටීමට දැඩි ලෙස විරුද්ධ වූ වීරවංශ කියා සිටින්නේ, මෙම ව්‍යාපාරය කොලඹ එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග්ගේ දේශපාලන කූටෝපායන්වල නිෂ්පාදනයක් බවයි.

වීරවංශගේ චෝදනා, වෛරයට පාත්‍ර වූ රාජපක්ෂ පාලනය බිඳ දැමූ ඓතිහාසික වශයෙන් පෙර නොවූ විරූ දීප ව්‍යාප්ත මහජන ව්‍යාපාරයට එරෙහි දේශපාලන මඩගැසීමකි.

සමාජවාදී සමානතා පක්ෂය පුලුල් ලෙස ලේඛනගත කර ඇති පරිදි, 2015 දී චීනය සමග ඔහුගේ සමීප දේශපාලන හා ආර්ථික සබඳතා මත ජනාධිපති මහින්ද රාජපක්ෂව නෙරපා හැරීමේ තිරය පිටුපස පියවර වල දී එක්සත් ජනපදය සෘජුවම සම්බන්ධ විය. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට ඔසවා තැබූ පාලන තන්ත‍්‍ර මාරු මෙහෙයුමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, වික‍්‍රමසිංහ සහ පාලක ප‍්‍රභූවේ අනෙකුත් කොටස් සහ ඉහල මධ්‍යම පන්තියේ ස්ථරයන් විසින් පිටුබලය දෙන ලදී.

ඊට ප්‍රතිවිරුද්ධ ලෙස, පසුගිය වසරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට එරෙහිව පුපුරා ගිය මහජන ව්‍යාපාරය, අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල බලගතු එක්දින මහා වැඩවර්ජන, විරෝධතා, උද්ඝෝෂන සමගින් වාර්ගික රේඛා කපාගෙන මිලියන ගනනක් කම්කරුවන් සහ ග්‍රාමීය ජනතාව එක්සත් කලේය.

මෙය ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ සියලුම කොටස් සහ ඔවුන්ගේ අධිරාජ්‍යවාදී ස්වාමිවරුන් භීතියට පත් කලේය. එවක එක්සත් ජනපද තානාපතිනිය කොලඹ දේශපාලන සංස්ථාපිතය සමග නිසැකව ම සාකච්ඡා වල නිරත වූ මුත්, ඇය හෝ ඇය කතා කල අය මෙම මහජන ව්‍යාපාරය පාලනය කිරීමට සමත් වූයේ නැත.

විරෝධතාකරුවන්, 2022 ජූලි 9 සෙනසුරාදා, ශ්‍රී ලංකාවේ කොලඹ පිහිටි ජනාධිපති නිල නිවස දෙසට දිවෙන වීදියක රැස් ව සිටිති. (AP Photo/Amitha Thennakoon) [AP Photo/Amitha Thennakoon]

මුලුමනින්ම අපකීර්තිමත් ආන්ඩුවේ මැති ඇමතිවරු, ඊටත් වඩා විශාල පරිමානයෙන් තවත් නැගිටීමක් පුපුරා යනු ඇතැයි බියෙන් සිටින අතර, දැන් පසුගිය වසරේ මහජන විරෝධතාවලට එරෙහිව මඩ ගැසීම් සහ බොරු ව්‍යාපාරයන් වේගවත් කරති.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රනතුංග පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේ උද්ඝෝෂකයින් “පාදඩයින්” බවයි. ඔහු නරුම ලෙස කියා සිටියේ, “[පසුගිය වසරේ] කූඩාරම් ඇතුලේ සිටි විරෝධතාකරුවන් උපත් පාලනය [භාවිතා කරන්නේ] කරන්නේ කෙසේදැයි පවා දැන නොසිටි අතර ප්‍රසූත කල ලදරුවන් දැන් වීදිවල සහ දුම්රියවල අතහැර දමා යන” බවයි.

ශ්‍රීලංපොපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධන කිසිදු සාක්ෂියකින් තොරව චෝදනා කලේ, 'යමෙක් බැංකුවක් කැඩුවොත් ඒ උද්ඝෝෂනයේ ක්‍රියාකාරිකයෙක්, ස්ත්‍රී දූෂනයක් සිදු වුවහොත් උද්ඝෝෂනයේ ක්‍රියාකාරිකයෙක්, මිනීමැරුමක් සිදු වුවහොත් උද්ඝෝෂනයේ ක්‍රියාකාරිකයෙක්ගේ සම්බන්ධයක්' ඇති බවයි.

මෙම විෂකුරු දේශපාලන වටපිටාව මධ්‍යයේ, පසුගිය වසරේ විරෝධතාවල ප්‍රමුඛයෙකු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ පියත් නිකේෂලට ආන්ඩුවේ පිටුබලය ලත් මැරයන් විසින් මෑතකදී පහර දෙන ලදී. ප්‍රහාරයෙන් පසු ඔහු රෝහල් ගත කර ඇත. කඩුවෙල හිටපු ශ්‍රීලංපොපෙ නියෝජ්‍ය නගරාධිපති චන්දික අභයරත්න සහ ප්‍රහාරයට සම්බන්ධ අනෙකුත් මැරයන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිදු විය.

පාලක ප්‍රභූවේ සමහර කොටස්, මෙම අපවාද හා ප්‍රචන්ඩත්වයේ ව්‍යාපාරය, ආපසු කැරකී දේශපාලන විරුද්ධත්වයේ තවත් පිපිරීමක් අවුලුවාලනු ඇතැයි කලබල වී සිටිති.

දි අයිලන්ඩ් හි මැයි 12 කතුවැකියක මෙසේ සඳහන් විය: 'අරගලය රාක්ෂකරනය කිරීම එහි මූල හේතු සමඟ කටයුතු කිරීමට වඩා පහසු විය හැකිය, නමුත් එවැනි ක්‍රියාමාර්ග අනාගතයේදී මහජන නැගිටීම් වැලැක්වීමට උපකාරී නොවේ.' 'නව ආන්ඩුවක් පත් කර ගැනීමට ජනතාවට ඉඩ සලසමින්' සහ 'ඔවුන්ගේ කෝපය පිට කිරීමට ඉඩ සලසමින්' ඉවත්ව යායුතු බවට, එය ආන්ඩුවට උපදෙස් දුන්නේය.

පසුගිය වසරේ මහජන ව්‍යාපාරයට එරෙහිව පාලක පක්ෂයේ මඩ ගැසීම් යනු, වික්‍රමසිංහගේ ජාමූඅ විසින් නියම කරන ලද සමාජ ප්‍රහාරයන්ට එරෙහිව නොවැලැක්විය හැකි ලෙස සිදුවන සමාජ පිපිරීම තලා දැමීමට වන සූදානම් වීමක් බවට සසප කම්කරු පන්තියට අනතුරු අඟවයි.

සමගි ජන බලවේගය, ජවිපෙ සහ දෙමල ජාතික සන්ධානය ඇතුලුව සියලු විරුද්ධ පක්ෂ විසින් වික‍්‍රමසිංහ තන්ත‍්‍රය හෙලාදැකීම මහජන කෝපය දේශපාලනිකව ගසාකෑමේ වංචනික උත්සාහයකි. මෙම පක්ෂ සියල්ලම ජාමූඅ මැදිහත්වීමට සහ එහි කප්පාදු ඉල්ලීම් වලට සහයෝගය දක්වයි.

පසුගිය වසරේදී වෘත්තීය සමිති නිලධරයන්, ව්‍යාජ වාම පක්ෂ සහ—දැන් වික‍්‍රමසිංහ තන්ත‍්‍රයට එරෙහිව සටන් කරන බව කියන—විවිධ මධ්‍යම පන්තික කන්ඩායම්, කම්කරු පන්තිය මෙම ධනේශ්වර විරුද්ධ පක්ෂවලට ආයාචනා කිරීමේ දේශපාලන ආවෘත අන්තය වෙත හැරවූහ.

වැඩ වර්ජන හා පෙලපාලි කැඳවීමට බලකෙරුනු වෘත්තීය සමිති මේවා සීමා කිරීමට සහ දේශපාලනිකව පාලනය කිරීමට වග බලා ගත්හ. “විරෝධතාව ‘නිර්-දේශපාලනික’” බව ප්‍රකාශ කරමින් ඔවුහු ස්වාධීන කම්කරු පන්තික මූලෝපායක් සහ සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා සසප අරගලය අවහිර කිරීමට උත්සාහ කලහ.

“නිර්-දේශපාලනික” මුහුනුවර පිටුපසින් වෘත්තීය සමිති, අන්තර්වාර ධනේශ්වර ආන්ඩුවක් සඳහා සජබ සහ ජවිපෙ ඉදිරිදර්ශනය ප්‍රවර්ධනය කලහ. එසේ කිරීමෙන්, ඔවුන් වික්‍රමසිංහට බලයට පැමින විරෝධතාකරුවන්ට එරෙහිව රාජ්‍යය මුදා හැරීමට පාර කැපූහ.

රාජපක්ෂ ඉවත් කරන ලෙස ඉල්ලා සිටීම ප්‍රමානවත් නොවන බව පැහැදිලි කරමින් සසප මහජන නැගිටීමට මැදිහත් විය. ඔහු දූෂිත හා ප්‍රතිගාමී විධායක ජනාධිපති ක්‍රමයක සහ ධනේශ්වර ක්‍රමයේ විරූපී මුහුනුවර පමනි. සසප, කම්කරු පන්තිය වෘත්තීය සමිතිවල යකඩ සැට්ටයෙන් මුදා ගැනීමට සටන් කල අතර ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා දැඩි ලෙස උද්ඝෝෂනය කලේය.

ස්වාධීන ක්‍රියාකාරී කමිටු නියෝජිතයින් මත පදනම්ව කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප කැඳවීමේ හදිසි භාවය පසුගිය වසරේ දේශපාලන අත්දැකීම් සනාථ කරයි. මෙම සම්මේලනය කම්කරු පන්තියට තම බලවේග තහවුරු කර ගැනීමටත්, ග්‍රාමීය ජනතාවගේ ක්‍රියාකාරී සහයෝගය දිනා ගැනීමටත්, සමාජවාදී මාවත් ඔස්සේ සමාජය ප්‍රතිව්‍යුහගත කිරීමට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් හරහා තමන්ගේම පාලනයක් පිහිටුවීමට අත්තිවාරම් දැමීමටත් දේශපාලන හා සංවිධානාත්මක රාමුව සපයනු ඇත.

Loading