ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසල විරෝධතාවක යෙදුනු ලාංකික කම්කරුවන් 22 ක් පොලිස් අත්අඩංගුවට

මැයි 22 දා, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂනයක යෙදී සිටි ශ්‍රී ලාංකික කාන්තා කම්කරුවන් විසි දෙදෙනෙකු, ඕමාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනින. තමන් වහාම ලංකාවට යැවීමට කටයුතු කරන ලෙස ලංකාවේ ආන්ඩුවෙන් ඉල්ලා උද්ඝෝෂනයේ යෙදුනු මෙම කම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පූර්න අනුදැනීම මතය.

කාන්තා කම්කරුවන් පිරිසක් ඉවසිය නොහැකි සේවා කොන්දේසි වලට එරෙහිව නැවත ලංකාවට යවන ලෙස ඉල්ලමින් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන අයුරු -2023 මැයි (ඡායා රූපය: විරෝධතාවයේ යෙදුන ශ්‍රී ලාංකික කාන්තා කම්කරුවන්ගෙනි)

තමන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෙකු දුරකථනයෙන් ඇමතූ එක් කම්කරුවෙක් සිද්ධිය ගැන මෙසේ දැනුම් දුන්නාය: 'අපි විරෝධතාවයේ යෙදිල ඉන්නකොට ඕමාන පොලීසියෙන් අත්අඩංගුවට ගත්ත. තව ටිකකින් අපිව ජේල් කරයි........අදාල ස්ථාන වලට දැනුම් දීල අපි බේර ගන්න කලහැකි දෙයක් කරන්න......මගේ ෆෝන් එක පොලීසියෙන් ගනියි දැන්.....ඊට පස්සෙ කිසිම සම්බන්ධතාවක් නැතිවෙයි.'

ඕමානයේ දී අත්තඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික කම්කරු කාන්තාව ලෝසවෙඅ වෙත ලබා දුන් හඬ පටය

මෙම කම්කරුවන්, මැයි 08 වැනිදා සිට, ප්‍රදේශයේ පවතින සෙන්ටිග්‍රේඩ් අංශක 50 ක් පමන වන අධික උෂ්නත්වය, ධූවිල්ල සහ අනෙකුත් පීඩාවන්ටද මුහුන දෙමින් දිවා-රාත්‍රි නොබලා තානාපති කාර්යාලය අසල අල් බෂෙයාර් වීදියේ උද්ඝෝෂනයේ නිරතව සිට ඇත.

ලංකා රජයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව, සංචාරක වීසා මගින් රැකියාවලට පැමින ඇතැයි යන කාරනාව ඉදිරිපත් කරමින්, තානාපති කාර්යාලය කම්කරුවන්ගේ ඉල්ලීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කල තතු තුල ඔවුන් විරෝධතාව ආරම්භ කර තිබේ. ආපසු යාමට අවශ්‍යනම් ඒජන්සිකරුවාට සහ සේවායෝජකයාට ලක්ෂ 15- 18ත් අතර මුදලක් ගෙවිය යුතු බව තානාපති කාර්යාලයේ නිලධාරීන් ඔවුන්ට පවසා ඇත.

අන්ත දුගී පවුල්වලින් පැමින සිටින මෙම සංක්‍රමනික කම්කරුවන්ට එවැනි මුදලක් ගෙවීමට වත්කමක් නැත. තම දරු පවුල් නඩත්තු කිරීමට මාවතක් නොමැති නිසා විදේශ රැකියාවක් සොයා පැමිනි බවත්, ලියාපදිංචි වීම සඳහා අයකරන අධික ගාස්තු ගෙවීමට තමන්ට වත්කමක් නොතිබූ නිසා සංචාරක වීසා මගින් විදේශගතවීමට එකඟවූ බවත් ඔවුන් නිලධාරීන්ට පවසා තිබේ. එසේ රැකියාවට පැමිනිය ද, රැකියා ස්ථාන පොරොන්දු වූ සේවා කොන්දේසි උල්ලංඝනය කරමින් අමානුෂික ආකාරයන් කටයුතු කිරීම නිසා තානාපති කාර්යාලයේ රැකවරන පැතූ බව ඔවුහු තවදුරටත් පවසති.

ලංකා රජය, මැදපෙරදිග රැකියාවට යන කාන්තාවන්ගේ රැකවරනය සලසනබව පෙන්වීමට, තානාපති කාර්යාලවලට අනුබද්ධව සීමිත ස්ථාන කිහිපයක ඊනියා සුරක්ෂා නිවහන් (සේෆ් හවුස්) පවත්වාගෙන යයි. මේවනවිට ඕමාන සුරක්ෂා නිවසේ 75කට අධික කාන්තාවන් පිරිසක් වද වේදනා ඉවසාගත නොහැකිව ලංකාවට පමිනීමට බලාපොරොත්තුවෙන් පසුවෙති.

විරෝධතාවයේ යෙදී ඇත්තේ, ලංකාවට පැමිනීමට බලාපොරොත්තුවෙන් මාස ගනනාවක් 'සුරක්ෂා නිවසේ' රැඳී සිටි පිරිසකි. ඔවුන් උද්ඝෝෂනයේ නිරතවීමට තීරනය කලේ වෙනත් කිසිම මාවතක් නොමැති තත්වය තුලය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවේ උපදෙස් පරිදි, තානාපති කාර්යාලය උද්ඝෝෂනය සති ගනනක් පැවතීමට ඉඩ හැරියේ දුෂ්කර තත්වය විඳගනු නොහැකිව හෙම්බත්වී ඔවුන් නැවත සුරක්ෂා නිවසට යනු ඇති බවට ගනන් බලමිනි. නමුත්, ලංකාවේ මෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුලු අනෙකුත් රටවල සංක්‍රමන කම්කරුවන්ගෙන් සහයෝගය නොමඳව ලැබිනි. ඔවූහු ආහාරපාන සපයමින් උද්ඝෝෂකයින් ආරක්ෂා කලහ. එමෙන්ම ඔවුහු සමාජ මාධ්‍ය තුල උද්ඝෝෂකයින් මුහුනදී සිටින ඛේදජනක තත්වය පිලිබඳව විස්තර බෙදා හැරියහ.

උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමේ අරමුනෙන්, ලංකා ආන්ඩුවෙන් ලැබුනේ යැයි කියන ලිපියක් පෙන්වමින් නැවත සුරක්ෂා නිවස වෙත යන ලෙස තානාපති නිලධාරීන් උද්ඝෝෂකයින්ට නියෝග කලද වැඩෙන සහයෝගය හමුවේ ඔවුන් ආන්ඩුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් දිගටම රැඳී සිටීමට තීරනය කලහ. තානාපති කාර්යාලය, ඕමාන පොලිසිය කැඳවා ඔවුන් අත් අඩංගුවට ගැනීමට සැලසුම් කලේ මෙම තතු තුල ය.

ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල වලට, විශේෂයෙන් ජෝර්දානයේ සහ ඕමාන්හි, කම්කරුවන්ට එරෙහිව එම රටවල රාජ්‍යය මැදිහත් කිරීම සහ නොතකා හැරීම සම්බන්ධයෙන්, කුප්‍රකට ඉතිහාසයක් තිබේ.

2020 ජූලි 29 වැනිදා ජෝර්දානයේ ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරුවන්, හිඟ වැටුප් ගෙවන මෙන් සහ වසංගතයෙන් මුදාගනුවස් ලංකාවට ගෙන්වා ගන්නාමෙන් ඉල්ලමින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ විරෝධතාවට එහි තානාපති කාර්යාලය ජෝර්දාන පොලිසිය කැඳවා මෘග ප්‍රහාරයක් එල්ල කිරීම එවැනි අවස්ථාවකි.

ඕමානයේ මෙම උද්ඝෝෂනයේ සිටි හර්ෂනී ප්‍රදීපිකා රත්නායක ලෝසවෙඅ ට කියා සිටියේ ලංකාවේ සිටින තම එකම ලමයා ජීවත් කරවීමට මගක් නොමැති නිසා මැදපෙරදිග සේවයට පැමිනි බවයි. ලංකාවේ රැකියා නියෝජිතයා ආයතනයක රැකියාවකට යොමු කරන බව ඇයට පොරොන්දු වී තිබුනි. එහෙත් අත්දැකීම් නොමැති ඇයව පුහුනු ගෘහ සේවිකාවක් හැටියට නම් කොට රැකියාවකට යොමු කෙරී ඇත. සේවායෝජකයා ඇගේ සේවය පිලිබඳව 'අප්‍රසාදයට' පත්ව ඇය නැවත ඒජන්සියට භාර දී ඇත. එවිට ඕමානයේ ඒජන්සිකරුවා තමාට ඉතාම අමානුෂික ලෙස පහරදුන් බව ඇය පැවසුවාය. ඇය සුරක්ෂා නිවසට පැමින ඇත්තේ ඉන් අනතුරුවයි.

“තානාපති කාර්යාලය ගන්නේ ඒජන්සිකාරයාගේ සහ ස්පොන්සර්ගේ පැත්ත. ඒජන්සියට සහ ස්පොන්සර්ට ලක්ෂ 18 ක් ගෙවල ආපහු ලංකාවට යන්න එහෙම නැත්නම් එලියට ගිහිල්ලා හම්බකර ගන්න කිව්වා. සේෆ් හවුස් එකේ ගැබ් ගත්ත ලමයි හතර දෙනෙක් ඉන්නවා. මේ තත්වෙ දැන දැනත් ඔවුන් කියන්නේ එලියට ගිහිල්ලා රස්සාවක් කරලා හම්බ කරගන්න කියලා. එලියෙ රක්ෂාවක් සොයා ගන්න බැහැල වෙන්න අමාරුවෙ වැටෙන එක,“ යනුවෙන් ඇය කීවාය.

ඔිමානය තුල ඒජන්සිකරුවන්, ලංකාවේ කම්කරුවන් ලිංගික සේවය සඳහා වෙන්දේසි කරමින් ජාවාරම් කරන බව ලංකාවේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් සහ නාවික අපරාධ පිලිබඳ අධ්‍යක්ෂවරයා ගිය වසරේ පිලිගත්තේය. ගනිකා වෘත්තිය සඳහා කාන්තාවන් වෙන්දේසි කර ඇති බවත්, සුල්තාන්වරුන් විසින්, ඔවුන් රුපියල් මිලියනයේ සිට රුපියල් මිලියන 2.5 දක්වා මුදලකට මිල දී ගෙන ඇති බවත් අනාවරනය වූ බව ඔහු පවසා ඇත.

ප්‍රදීපිකා රත්නායක ලෝසවෙඅ න් ඉල්ලා සිටියේ සංක්‍රමන කම්කරුවන්ට තම රැකියාව කරගෙන යාමට හැකිවන ලෙස 'ක්‍රමය වෙනස් කරන' ලෙසයි. ක්‍රමය වෙනස්වීම යනුවෙන් ඇය අදහස් කරන්නේ අදාල නිලධාරීන් ඔවුනට සලකන ආකාරය වෙනස්විය යුතු බවයි. ඇය ලෝසවෙඅ ට එවාතිබු හඬ පටයේ මෙසේ සඳහන් වෙයි:

'තානාපති කාර්යාලයේ ඉන්න ඉහල සේවකයගෙ ඉඳල පහල සේවකය දක්වා වෙනස් කරන්න ඕන...මේ සිස්ටම් එක චේන්ජ් වෙන්නනම් ඔතන ඉන්න නිලධාරීන් වෙනස් වෙන්න ඕන. මේකට ඉක්මනටම ඇක්ෂන් එකක් ගන්න ඕන. මේ සිස්ටම් එක නිසා අසරන වෙන්නෙ අපේ රටේ කාන්තාවො.'

කම්කරුවන් මුහුන දෙන දුෂ්කරතාවන්ගේ මූලයන් පවතින්නේ අර්බුදග්‍රස්ත ධනපති ක්‍රමය තුල බව වසන් කරමින්, එය හුදෙක් නිලධාරීන්ගේ සහ දේශපාලකයින්ගේ දුෂ්ඨත්වයට ඌනනය කරනුයේ, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) බඳු ධනපති පක්ෂ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ වාම පක්ෂ සහ වෘත්තීය සමිති විසිනි. තමා බලයට පැමිනියහොත්, ධනපති සූරාකෑමේ ක්‍රමය එසේ තිබියදීම, දුෂිත නිලධාරීන් ඉවත්කිරීම මගින් කම්කරුවන්ගේ ජීවිත සමෘධිමත් කලහැකි බව මෙම පක්ෂ කියා සිටිති.

ජවිපෙ, මැයි 17 වැනිදා, ඕමාන උද්ඝෝෂකයින් 'ආරක්ෂා කිරීමට' කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සුනිල් හඳුන්නෙත්ති මෙසේ ප්‍රකාශ කලේය. “තානාපති කාර්යාල තිබෙන්නේ ඒජන්සිකරුවන් කැඳවල සාකච්ඡා කරල ප්‍රශ්න විසඳන්න. ඒ වෙනුවට සේෆ් හවුස් එකේ දාල මාස ගනනක් ඔවුන් තියා ගන්නවා.”

ඔහු වරද පටවන්නේ ආන්ඩුවට හෝ ධනපති ක්‍රමයට නොව, ආන්ඩුවේ රුදුරු පිලිවෙත් ක්‍රියාවට නැංවීමට බැඳී සිටින තානාපති කාර්යාල නිලධාරීන්ටය. තම ආන්ඩුවක් බලයට පැමිනියහොත්, රජය මගින්ම කම්කරුවන් විදේශ රැකියාවන්ට යොමු කරන බව සහ ඔවුනගේ අයිතීන් තහවුරු කරන බව ජවිපෙ පවසයි. මානව අයිතීන් උල්ලංඝනයේ ඉහලම වාර්තා තබා ඇති මැදපෙරදිග ධනපති පාලකයන් ජවිපෙ ආන්ඩුවක් යටතේ කම්කරුවන්ට මානුෂිකව සලකන්නේයයි පැවසීම අමූලික මුසාවකි. අනෙක් අතට, ධනපති පක්ෂයක් වන ජවිපෙ ද, මෙම සංක්‍රමනික කම්කරුවන් දකිනුයේ විදේශ විනිමය ඉපයීමේ මාධ්‍යයක් ලෙස විනා මිනිසුන් ලෙස නොවේ.

කම්කරු ජීවිත නොතකා හැරීමේ මෙම රුදුරු තත්වය හුදෙක් ලංකාවට සීමා වූවක් නොව, බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්ථානය වැනි රටවල මෙන්ම දියුනු ධනපති රටවල ධනපති පාලක පංතීන් විසින් අනුගමනය කරන පොදු පිලිවෙතයි. කෝවිඩ්-19 වසංගතය කම්කරු ජීවිත මිලියන ගනනින් බිලි ගනිද්දී, මෙම පාලකයෝ ධනපතියන්ගේ ලාභෝත්පාදනය අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා කම්කරු පංතිය බලහත්කාරයෙන් වැඩට දැක්කූහ.

කම්කරුවන්ගේ මලකඳන් මතින් විදේශ විනිමය උපයා ගැනීමේ යෙදී සිටි සිටින ලංකාවේ ධනපති පංතිය, කොරෝනා වසංගතය උත්සන්න වී ඇති තතු තුල මැද පෙරදිග රටවල කම්කරුවන් යලි ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රතික්ෂේප කලේය.

2020 ජූලි 29 වැනිදා ජෝර්දානයේ පැවති, ලංකාවේ කම්කරුවන්ගේ විරෝධතා උද්ඝෝෂනයේ එක් ඉල්ලීමක් වූයේ, වසංගතයෙන් දිවි ගලවාගනුවස් තමා ලංකාවට ගෙන්වා ගැනීමයි. කම්කරුවන්ගේ ඉල්ලීම් නොතැකූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, මාර්තු මස සිට විදේශයන්හි සිට ලංකාවට පැමිනීම තහනම් කලේ ය.

කෙ‌සේ නමුත්, එයට එරෙහිව එල්ල වූ දැඩි විරෝධතා හමුවේ, රජයේ අවසර ඇතුව සහ තම වියදමින් පමනක් සිය රටට පැමිනිය හැකි බව ආන්ඩුව අප්‍රේල් අගදී නිවේදනය කලේය. මෙම තතු යටතේ, සංචාරක හෝටල් වලට නිරෝධායන ගාස්තු ගෙවමින් ලක්ෂ ගනනක් වියදම් කොට ලංකාවට පැමිනීමට කම්කරුවන්ට සිදු විය.

වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු හේතුවෙන් දරිද්‍රතාව පෙර නුවූ විරූ මට්ටම්වලට නංවා ඇති තතු යටතේ, තවතවත් මැදපෙරදිග රැකියා සොයා යාමට කම්කරුවන් පෙලඹී ඇත.

කම්කරු ඇමති මනුෂ නානායක්කාර අප්‍රේල් මස පාර්ලිමේන්තුවට කියා සිටියේ “ලංකාවට විදේශ විනිමය වැඩියෙන්ම උත්පාදනය වන්නේ මැදපෙරදිග කලාපයෙන්,“ බවයි. ඔහු ද මෝර්නින් පුවත්පතට පවසා තිබුනේ පසුගිය වසරේ ලක්ෂ 3 ක්, එනම් එදාමෙදාතුර වාර්ෂික කම්කරු සංක්‍රමනයේ ඉහලම සංඛ්‍යාව වාර්තා වූ බවයි.

දේශ සීමා බාධාවන්ගෙන් තොරව, ඕනෑම රටක රැකියාවක නිරතවීම කම්කරුවන් සතු මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතියකි. එහෙත් ගෝලීය ධනපති ක්‍රමය සහ ජාතික රාජ්‍ය පද්ධතිය, විවිධ සීමාවන් පනවමින් එම අයිතියට වැට බැඳ ඇත. ඕමානයේදී පොලිස් අත්අඩංගුවට ගැනුනු කම්කරු කාන්තාවන් මුහුන දී සිටින්නේ එහි බියකරු ප්‍රතිවිපාකයන්ටය.

Loading