ඉදිරිදර්ශන

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, කම්කරු විප්ලවවාදී පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවීමෙන් 40 වසරකට පසු

[මෙය දෙසැම්බර් 12 වැනි දා  40 years since the suspension of the Workers Revolutionary Party from the ICFI මැයෙන් පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

මෙයින් හතලිස් වසරකට පෙර, 1985 දෙසැම්බර් 16 වැනි දා, හතර වෙනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සිය බ්‍රිතාන්‍ය ශාඛාව වූ කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) සාමාජිකත්වය තහනම් කලේ ය. එසේ කරන ලද්දේ, එහි ජාත්‍යන්තර පරිපාලන කොමිසමේ වාර්තාවට ප්‍රතිචාර වශයෙනි. සාමාජිකත්වය තහනම් කිරීමේ යෝජනාව තුල පැහැදිලි කල පරිදි “කවිපය, හජාජාකටත්,  ජාත්‍යන්තර කම්කරු පන්තියටත් එරෙහි ඓතිහාසික පාවාදීමක් සිදු කර ඇති බව” පරිපාලන කොමිසමේ වාර්තාව හෙලිදරව් කර තිබුනි.

පරිපාලන කොමිසම, මීට පෙර ප්‍රසිද්ධියට පත් නොකල බොහෝ ලියවිලි මත පදනම් ව, කවිපය “මුදල් ලබා ගැනීම සඳහා යටත් විජිත රටවල ධනේශ්වරයේ කොටස් සමග ප්‍රතිපත්ති විරහිත සම්බන්ධතා ගොඩනගා ගැනීමට පෙලඹීමේ ප්‍රතිපලය” ලෙස නොනවතින විප්ලව න්‍යාය සම්පූර්නයෙන්ම පාවා දී තිබෙන බව සනාථ කලේ ය. 

කවිපයේ සාමාජිකත්වය තහනම් කිරීම, බ්‍රිතාන්‍ය ශාඛාව තුල ගැඹුරු අර්බුදයක් මගින් පූර්ව නිමිති කොට තිබුනි. 1985 ජුනි 30 වැනි දා,  කවිප නායක ජෙරී හීලිගේ පුද්ගලික ලේකම්වරිය වූ අයිලීන් ජෙනිංග්ස්, දේශපාලන කමිටුවට ලිපියක් ලියමින් දිගු කාලීන පක්ෂ නායකයා, කාන්තා කේඩර්වරියන්ට සිදුකරන හිංසන පිලිබඳව චෝදනා කලා ය. හීලි, ක්ලිෆ් ස්ලෝටර් සහ මයික් බන්ඩා, එම අපකීර්තිමත් සිදුවීම යටගසා, එය හජාජාකවෙන් හා පක්ෂ සාමාජිකයන්ගෙන් වසන් කර තැබීමට උත්සාහ කලහ. සිද්ධිය පිලිබඳ ව කවිපයේ පරිපාලන කොමිසම විසින් පරීක්ෂනයක් ආරම්භ කල යුතු යයි ඉල්ලා සිටි, පක්ෂයේ මධ්‍යම කාරක සභික ඩේව් හයිලන්ඩ් තදබල පීඩනයකට යටත් කරනු ලැබී ය.

ක්ලිෆ් ස්ලෝටර්, ජෙරී හීලි සහ මයික් බන්ඩා

නමුත් අර්බුදය තවදුරටත් පාලනය කර තැබීමට නොහැකි විය. හීලිට සහයෝගය දෙන කන්ඩායම සහ බන්ඩා සහ ස්ලෝටර්ට සහයෝගය දෙන කන්ඩායම වශයෙන් කටුක අරගලයකින් පක්ෂය බිඳී ගියේ ය. නමුත් කන්ඩායම් දෙක ම, අර්බුදයට හේතු වූ දේශපාලන කාරනා සාකච්ඡාවට ගැනීම වැලැක්වීමට උත්සාහ කලේ ය.

ජාත්‍යන්තර කමිටුවට අර්බුදය ගැන දැනුම් දුන්නේ ඔක්තෝබර් මාසයේ දී පමනක් වන අතර, යුද වැදී සිටින කන්ඩායම් දෙකෙන් එකකට වත් සහාය දීම හජාජාකය ප්‍රතික්ෂේප කලේ ය. හීලි විසින් බලය අයථා ලෙස පාවිච්චි කිරීම දෝෂ දර්ශනයට ලක් කල හජාජාකය, ඔක්තෝබර් 25 වැනි දා ඔහු සාමාජිකත්වයෙන් නෙරපා හැරියේ ය. එසේම එය අවධාරනය කලේ, ස්ලෝටර් සහ බන්ඩා කියාපෑ පරිදි කවිපයේ අර්බුදයට හේතුව හුදෙක් හීලිගේ පුද්ගලික විෂමාචාර නොව, කලක සිට පැවත එන සමස්ත නායකත්වයේ ම අවස්ථාවාදී සහ ජාතිකවාදී පරිහානිය බව යි.

ජාත්‍යන්තර කමිටුව කවිපය පිලිබඳ තම විවේචනය පදනම් කර ගත්තේ, ඊට වසර තුනකට පෙර ඇමරිකාවේ වර්කර්ස් ලීගය (එවක හජජාකයේ ඇමෙරිකානු ශාඛාව-පරිවර්තක) විසින් මතු කල, පැහැදිලිව නිර්වචනය කල, ක්‍රියාමාර්ගික හා මූලධර්මාත්මක කාරනා මත ය. 1982 දී සහ 1984 දී වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් ඩේවිඩ් නෝත්, කවිපයේ න්‍යායික සංකල්ප හා දේශපාලන පිලිවෙත පිලිබඳව සවිස්තරාත්මක විවේචනයක් ඉදිරිපත් කර තිබුනි. කවිපය,  1950 සහ 1960 ගනන්වල අශමනීය ලෙස විරුද්ධව සිටි පැබ්ලෝවාදයේ ජාතිකවාදී හා අවස්ථාවාදී ආස්ථානයක් දෙසට, 1970 ගනන්වල දී වඩ වඩාත් ලං වෙමින් සිටීම ගැන, ඔහු බ්‍රිතාන්‍ය ශාඛාව විවේචනය කලේ ය.

හීලි, ස්ලෝටර් සහ මුලින් පසුබටවීමෙන්  පසු බන්ඩාත් නෝත් ගේ විවේචනය යටගසා, සමස්ත ජාත්‍යන්තර කමිටුව තුල ඒ පිලිබඳ සාකච්ඡාවක් ඇතිවීම වැලැක්වූහ. තවත් ඒ ගැන කතා කලොත්, වර්කර්ස් ලීගය ජාත්‍යන්තර කමිටුවෙන් නෙරපා හරිනු ඇති බවට ද තර්ජනය කරන ලදි.

බ්‍රිතාන්‍ය ශාඛාවේ අර්බුදය පිලිබඳව 1985 ඔක්තෝබර් 25දා නිකුත් කල ජාත්‍යන්තර කමිටුවේ පලමු ප්‍රකාශනය, අර්බුදය පැන නැගුනේ හීලිගේ දූෂිත චර්යාවන් හෙලිදරව් වීම සමග වුවත් එහි මූලයන් තිබුනේ, “කවිප නායකත්වය කලක සිටම සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩ නැගීමේ මූලෝපායික කර්තව්‍යයේ සිට වැඩි වැඩියෙන් ජාතිකවාදී වූ ඉදිරි දර්ශනයක් සහ භාවිතයක් දෙසට පාවී යාම” තුල බව පැහැදිලිව ප්‍රකාශ කලේ ය.

“බ්‍රිතාන්‍ය ශාඛාවේ සියලු ම සාමාජිකයන් ජාත්‍යන්තර කමිටුවේ ඒකාන්ත දේශපාලන අධිකාරය පිලිගැනීමේ හා බ්‍රිතාන්‍ය ශාඛාව එහි තීරනවලට යටත් බව පිලිගැනීමේ පදනම මත” නැවත ලියාපදිංචි කල යුතු යයි ජාත්‍යන්තර කමිටුව යෝජනා කලේය. එය බ්‍රිතාන්‍ය ශාඛාවේ සිදුවීම් විභාග කිරීමට ජාත්‍යන්තර පරිපාලන කොමිසමක් ද ස්ථාපිත කලේ ය.

මේ වන විට කවිපයේ හීලිගේ කන්ඩායමත්, සවාස් මයිකල් නායකත්වය දැරූ ග්‍රීක ශාඛාවත්, ස්පාඤ්ඤයේ කුඩා සහ අත්දැකීම් අඩු කන්ඩායමකුත් ජාත්‍යන්තර කමිටුව සමග සියලු සබඳතා අතහැර දමා තිබුනි. හීලි විසින් කැඳවන රැස්වීමක් හැර වෙනත් කිසිම රැස්වීමක අධිකාරී බලය පිලිගැනීම ඔවුහු ප්‍රතික්ෂේප කලහ. හීලි වනාහී අභියෝගයට ලක් කල නොහැකි “ඓතිහාසික නායකයෙක්” යැයි සවාස් මයිකල් ප්‍රකාශ කලේ ය.

ස්ලෝටර් සහ බන්ඩා, කවිප සාමාජිකත්වය ඉදිරියේ එලිපිට ම ජාත්‍යන්තර කමිටුවට විරුද්ධව යාමට තරම් සවියක් තමන්ට නොතිබූ නිසා හජාජාකයේ යෝජනාවට එකඟ වූහ. ඔක්තෝබර් 27 වැනි දා, කවිපයේ අති විශේෂ සම්මේලනයක් ජාත්‍යන්තර කමිටුවේ යෝජනාව ඒකමතික ව අනුමත කලේ ය. 

නමුත් ස්ලෝටර්වත්, බන්ඩාවත් ජාත්‍යන්තරයේ අධිකාරිත්වයට යටත් වීමට සූදානම් වූයේ නැත. වර්කර්ස් ලීගයේ විවේචන යටගැසීමෙහි ලා තීරනාත්මක කාර්ය භාරයක් ඉටුකර තිබූ, එසේ ම 1985 ග්‍රීෂ්ම සෘතුවේ දී  හීලිගේ විෂමාචාර පිලිබඳ ව විභාග කිරීමට පාලන කොමිසමක් පත් කිරීම නැවැත්වීමට උත්සාහ කල ස්ලෝටර් ම,  මතු ව තිබෙන දේශපාලන කාරනා සාකච්ඡා කිරීම වැලැක්වීමට දැන්  ලිංගික අපචාර සිද්ධිය පාවිච්චි කලේ ය. 

නොවැම්බර් 26 වැනි දා ප්‍රධාන ස්ටැලින්වාදීන් සහ සංශෝධනවාදීන් සහභාගි වූ ලන්ඩනයේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමක දී ස්ලෝටර්, ට්‍රොට්ස්කි ඝාතනයේ පසුබිම සොයා ගැනීමට ජාත්‍යන්තර කමිටුව දියත් කල “ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය” නම් වූ විමර්ශනය හෙලා දුටුවේ ය. ඔහු, කවිපය ස්ටැලින්වාදීන්, සංශෝධනවාදීන් සහ ට්‍රොට්ස්කිවාදයේ අනෙකුත් කර්කශ සතුරන් සමග සම්මුතියකට  ගෙන යාමට මාර්ගය සූදානම් කරමින් සිටියේ ය. 

ස්ලෝටර් සහ බන්ඩා ගේ මූලික විරෝධය නොතකා පිහිටුවනු ලැබූ ජාත්‍යන්තර පාලන කොමිසමේ වාර්තාව සාකච්ඡා කිරීමට දෙසැම්බර් 16 වැනි දා හජාජාක රැස් වූයේ ය. කවිප නියෝජිත පිරිසට ස්ලෝටර්, ටොම් කෙම්ප් සහ සයිමන් පිරානි ද ජාත්‍යන්තර කමිටුවට සහයෝගය දුන් කවිප සුලුතරයේ නියෝජිතයා වශයෙන් ඩේව් හයිලන්ඩ් ද ඊට සහභාගි වූහ. ජාත්‍යන්තර කමිටුව වෙනුවෙන් ඩේවිඩ් නෝත්, බටහිර ජර්මනියේ බුන්ඩ් සෝෂලිස්ට්ෂර් ආබයිටරයේ පීටර් ෂ්වාර්ට්ස්, කීර්ති බාලසූරිය (ශ්‍රී ලංකාවේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය) සහ ඔස්ට්‍රේලියාවේ සෝෂලිස්ට් ලේබර් ලීගයේ නික් බීම්ස් සහභාගි වූහ. 

පරිපාලන කොමිසම,  රහස් අභ්‍යන්තර ලියවිලි පරීක්ෂාවක් මත පදනම්ව ඉදිරිපත් කල අන්තර් කාලීන වාර්තාව, කවිප නායකත්වය විසින්, හජාජාකට හොරෙන් මැද පෙරදිග ධනේශ්වර රාජ්‍ය කීපයක් සමග ඇති කරගෙන තිබෙන ප්‍රතිපත්ති විරහිත සම්බන්ධතා පැහැදිලිව හා සවිස්තරාත්මක ව හෙලිදරව් කලේ ය. ජාත්‍යන්තර කමිටුව පරීක්ෂනයක් ඉල්ලා නොතිබෙන්නට, එම ලියවිලි ද ඒවායින් හෙලිදරව් වූ සබඳතාද සැඟ වී, නොදැන තිබෙන්නට ඉඩ තිබුනි.

හජාජාක බහුතරය, කවිපයේ සාමාජිකත්වය තහනම් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කිරීම මගින් එම වාර්තාවට ප්‍රතිචාර දැක්වී ය. බ්‍රිතාන්‍ය ශාඛාව පාවා දීම පිලිබඳ තනි වගකීම හීලි පමනක් දැරිය යුතු ය යන ස්ලෝටර් ගේ ස්ථාවරය බහුතරය විසින් ප්‍රතික්ෂේප කෙරුනි. “මෙවැනි භාවිතාවන් සඳහා ඉඩ ලබා දුන් ජාතිකවාදී පරිහානිය පිලිබඳ දේශපාලන වගකීම පැවැරෙන්නේ, කවිපයේ සමස්ත නායකත්වය ම මත ය,” යෝජනාව සඳහන් කලේ ය.

යෝජනාවේ තවදුරටත් මෙසේ සඳහන් විය : 

කවිපයේ නායකත්වය, පක්ෂයේ දේශපාලන ස්ථාවරය පිලිබඳ මතභේද  බ්‍රිතාන්‍ය ශාඛාව තුල මෙන් ම, ජාත්‍යන්තර කමිටුව තුලත් සාකච්ඡා කිරීම වැලැක්වී ය. 

හජාජාක කිසිදු තනි නායකයකුට චෝදනා කිරීමට අපේක්ෂා නොකරන අතර, බ්‍රිතාන්‍ය ශාඛාවේ සමස්ත නායකත්වය ම එයට වගකිව යුතු ය යන අදහස දරයි.

ඒ අනුව, තම මූලධර්ම ද තම සුපිලිපන් බවද ආරක්ෂා කර ගැනීම සඳහා,  මාර්තු 1 දිනට පෙර, (සහ කවිපයේ 8 වැනි සමුලුවට පසු) පැවැත්වීමට යොදා ගෙන ඇති හදිසි සම්මේලනය තෙක්  හජාජාක, කවිපයේ සාමාජිකත්වය තහනම් කිරීමට තීන්දු කරයි.

යෝජනාව, ජාත්‍යන්තර නියෝජිතයන්ගේ සහ ඩේවිඩ් හයිලන්ඩ්ගේ සහයෝගයෙන් සම්මත විය. ස්ලෝටර් කෙම්ප් සහ පිරානි  ඊට විරුද්ධව ඡන්දය දුන්හ.

හජජාක රැස්වීම පසුදා, එනම් දෙසැම්බර් 17 වැනි දා යලිත් ආරම්භ විය. ස්ලෝටර් සහ කෙම්ප් ඉතාම ප්‍රකෝපකාරී ලෙස හැසිරීම මගින් රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කලහ. සාමාන්‍යයෙන් එදිනෙදා දේවල් අමතක වන මහාචාර්යවරයකු මෙන් හැසිරෙන කෙම්ප්, කීර්ති බාලසූරියට එලිපිට ම වර්ගවාදී ගැරහුම්  එල්ල කිරීම දක්වා ගියේ ය. කීර්ති සහෝදරයා කෙම්ප්ගේ කුපිත කිරීම් තඹේකට තැකුවේ නැත.

ශාඛාව කොතරම් විශාල වුවත් දේශපාලන මූලධර්ම පාවාදීම නොඉවසන බව තහවුරු කිරීම සඳහා කවිපය තහනම් කිරීම අවශ්‍ය බව, ජාත්‍යන්තර කමිටුවේ බහුතරය පැහැදිලි කලේ ය. කවිපය තහනම් කිරීම උචිත ඓතිහාසික සහ දේශපාලනික සන්දර්භය තුල පිහිටුවාලූ  දෙවන යෝජනාවක් බහුතරය විසින් ඉදිරිපත් කරන ලදි.

මෙම අරගලය තුල අන්තර්ගත වූයේ, සමාජවාදී විප්ලවය සඳහා වන ලෝක පක්ෂයේ ඓතිහාසික වශයෙන් ස්ථාපිත එකම නායකත්වය හැටියට ජාත්‍යන්තර කමිටුව තුල මූර්තිමත් වූ 1938 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් පිහිටුවන ලද  ට්‍රොට්ස්කිවාදයේ ක්‍රියා මාර්ගික පදනම් යලි තහවුරු කිරීම ය. එකී පදනම් වන්නේ: කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පලමු සම්මේලන හතරේ තීන්දු (1919-1922); වාම විරුද්ධ පාර්ශ්වයේ වේදිකාව (1927) ; 1953 විවෘත සංදේශය ; ඇමරිකානු එස් ඩබ්ලිව්පීය පැබ්ලෝවාදීන් සමග ඇති කරගත් ව්‍යාජ සංධානයට එරෙහි අරගලයේ ලියවිලි (1961-63) යන ඒවායි.

යෝජනාව තවදුරටත් මෙසේ සඳහන් කලේය:

ජාත්‍යන්තර කමිටුව තුල සුරැකිව හා දේහානුරූපව පවතින, හතර වන ජාත්‍යන්තරයේ අඛන්ඩතාවයේ පදනම වන පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහි අරගලයේ  ‌‌ඓතිහාසික නිරවද්‍යතාව, ජාත්‍යන්තර කමිටුව සහ කවිප යලි සහතික කලේ ය.1961 දී සෝෂලිස්ට් ලේබර් ලීගයේ ජාතික කමිටුව ප්‍රකාශ කල පරිදි පැබ්ලෝවාදය, හුදෙක් “ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ප්‍රවනතාවක් ලෙස” සැලකිය නොහැකි ය. එහි මූලයන්ගේ සිට, පැබ්ලෝවාදය නියෝජනය කලේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මත ලෝක අධිරාජ්‍යවාදයේ පීඩනයට යටත්වීම යි. 

එහි ප්‍රතිවිප්ලවවාදී කාර්යභාරයේ සම්පූර්න ඓතිහාසික වැදගත්කම,  ලංකා සමසමාජ පක්ෂය බන්ඩාරනායක මහත්මියගේ ධනපති හවුල් ආන්ඩුවට ඇතුල්වීම මගින් ඔප්පු කරනු ලැබීය.එපමනක් නොව, ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය, නොනවතින විප්ලව න්‍යාය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර, අවධි දෙකේ විප්ලවය පිලිබඳ ස්ටැලින්වාදී මතවාදය ආරක්ෂා කිරීම, 1963 දී ජාත්‍යන්තර කමිටුව ගත් ප්‍රතිපත්තිමය ස්ථාවරයේ නිරවද්‍යභාවය යලිත් ඔප්පු කලේ ය. ලොව පුරා ම, ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේ හතරවන ජාත්‍යන්තරයේ ශාඛා ගොඩනැගීම, ට්‍රොට්ස්කිවාදයේ පැබ්ලෝවාදී හතුරන්ට එරෙහි ක්ෂමා විරහිත අරගලය සමග බැඳී පවතී.

අවසාන වශයෙන්, කවිපය යලිත් හජාජාකයට ඇතුලත් කර ගත හැකි වන්නා වූ කොන්දේසි මොනවාද යන්න යෝජනාව තුල ඉදිරිපත් කරන ලදි:

හීලි යටතේ කවිපය, සිදු වූ ජාතිකවාදී පරිහානියේ  උරුමයෙන් පැන නැග ඇති ගැටලු හැකි  ඉක්මනින් විසඳා ගැනුම සඳහා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ද කවිප මධ්‍යම කාරක සභාව ද සමීපව වැඩකල යුත්තේ ය. එමෙන් ම කවිපය තුල ජාත්‍යන්තරවාදී මූලධර්ම යලි ස්ථාපිත කර, ඒ පදනම මත හතරවැනි ජාත්‍යන්තරයේ  ජාත්‍යන්තර කමිටුව තුල එහි පූර්න සාමාජිකත්වය යලි තහවුරු කල යුතු ය.  මෙම සම්බන්ධතාවේ  සංවිධානාත්මක ව්‍යුහය සියලු ම කාලයන් හි දී පදනම් විය යුත්තේ හතරවැනි ජාත්‍යන්තරයේ  ව්‍යවස්ථාවේ විස්තාරනය කෙරී ඇති, ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය පිලිබඳ ලෙනින්වාදී මූලධර්ම මත ය. 

ස්ලෝටර්, කෙම්ප් සහ පිරානි යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්හ. හජාජාකවේ ක්‍රියාමාර්ගික පදනම් ස්ථිර කිරීමට ඔවුන් සූදානම් වූයේ නැත. සති හතකට පෙරාතුව කවිප සම්මේලනය තම සාමාජිකයන්, හජාජාකවේ දේශපාලන අධිකාරිය පිලිගැනීමේ පදනම මත යලි ලියාපදිංචි වීමට ඒකමතිකව තීන්දු කර තිබුනු නමුත්, දැන් ඔවුහු එම අධිකාරි බලය තරයේ ම ප්‍රතික්ෂේප කලහ.

මෙය කවිප නියෝජිතයන් සහභාගි වූ ජාත්‍යන්තර කමිටුවේ අවසාන රැස්වීම විය. එලඹුන සති වලදී කවිපය ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන අධිකාරිය ප්‍රතික්ෂේප කරමින් වේගයෙන් දකුනට පැද්දී ගියේ ය. 1986 පෙබරවාරි 7 වැනි දා ඔවුන්ගේ වර්කර්ස් ප්‍රෙස් පුවත්පත, “ජාත්‍යන්තර කමිටුව ඉක්මනින් ම වල දැමීමට අවශ්‍ය හේතු 27 ක්”  යනුවෙන් මයික් බන්ඩා විසින් ලියන ලද ප්‍රති-ට්‍රොට්ස්කිවාදී හෑල්ලක් ප්‍රසිද්ධ කලේය. ඩේවිඩ් නෝර්ත්, “අප රක්නා උරුමය” නමින් පොතක් ලියමින් ඊට ප්‍රතිචාර දැක්වී ය.

පෙබරවාරි 8 වැනි දා කවිපයේ අට වෙනි සම්මේලනයට හජාජාකවේ ආධාරකරුවන් ඇතුල්වීම වැලැක්වීමට ස්ලෝටර් සහ පිරානි පොලිසිය කැඳවී ය. ඔක්තෝබරයේ දී එකඟ වූ නිර්නායක  අනුව නියෝජිතයන් තෝරා ගත්තේ නම්, හජාජාකවේ හිතවතුන් සම්මේලනයේ බහුතරය වීමට ඉඩ තිබුනි.  පසුව ඔවුහු හජාජාකවේ අලුත් බ්‍රිතාන්‍ය ශාඛාව පිහිටුවා ගත්හ.

ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් හැටියට කවිපය අභාවප්‍රාප්ත විය. එය බොහෝ ගනනක් සංවිධාන පතුරු බවට කැඩී ගිය අතර,  එලැඹි වසරවල දී ඒවා සියල්ලම ට්‍රොට්ස්කිවාදයට පසුපස හැර වී ය. ස්ලෝටර් අරාජිකවාදියකු බවට පත් විය; හජාජාකයෙන් බිඳී වෙන් වී සති කීපයක් තුල, ට්‍රොට්ස්කි සහ ට්‍රොට්ස්කිවාදය හෙලා දුටු බන්ඩා,  ස්ටැලින්ගේ රසිකයකු බවට පත් වී කුර්දි ජාතිකවාදයේ හිතවතෙකු බවට පත් විය. පිරානි ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප කොට ශාස්ත්‍රාලිකයකු හැටියට රැකියාවක් සොයා ගත්තේ ය.

හතරවෙනි ජාත්‍යන්තරය සම්බන්ධයෙන් ගත් කල, කවිපයේ තහනම ඓතිහාසික හැරවුම් ලක්ෂයක් විය. එය, 1953 සිට ම ජාත්‍යන්තර කමිටුව පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහි ව ගෙන ගිය දීර්ඝ අරගලයේ කූඨප්‍රාප්තිය විය. දැන් වසර 32 කට පසු, අවසානයේ දී, ට්‍රොට්ස්කිවාදීහු හතරවෙනි ජාත්‍යන්තරයේ පාලනය යලි තහවුරු කරගෙන සිටිති. 

ඉන්පසු සිදු වූයේ, මාක්ස්වාදය උත්කර්ෂයට පැමිනීමකි. කේඩර්වරු හජාජාකවේ සාරගර්භ න්‍යායික හා ඓතිහාසික උරුමය යලි ස්වසන්තක කරගෙන, කවිපයේ අර්බුදයට යටින් පැවැති වෛෂයික වෙනස්වීම් විශ්ලේෂනය කර, නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සංගමයේ ධනපති ක්‍රමය පුනස්ථාපනය කිරීමේ තත්වයට මුහුනදීමට සූදානම් වූහ. සියලු සුලු ධනපති “වම්මුන්” සමාජවාදය අසමර්ථවීමක් යැයි ප්‍රකාශ කොට ධනපති ක්‍රමය සමග තමන්ගේ සාමය ඇති කර ගැනීම මගින්, සෝවියට් සංගමය විසුරුවා හැරීමට, “සියල්ල අත්හැර දැමීමේ” රැල්ලකින් ප්‍රතික්‍රියා කරද්දී,  හජාජාක සපුරා ම වෙනස් නිගමනවලට එලැඹියේ ය.

ස්ටැලින්වාදී තන්ත්‍රයන් බිඳවැටීම, ධනපති ක්‍රමයත් තනි රටේ සමාජවාදය සහිත ස්ටැලින්වාදයත් යන දෙකම රඳා පවතින්නා වූ ලෝක ආර්ථිකයේ ජාත්‍යන්තර ස්වභාවය සහ ජාතික රාජ්‍යය අතර පවතින අශමනීය ප්‍රතිවිරෝධයේ තියුනුම ප්‍රකාශනය පමනක් විය. එය හජාජාක විසින් ආරක්ෂා කරන්නා වූ නොනවතින විප්ලවයේ ඉදිරි දර්ශනය  තීරනාත්මක කාර්යභාරයක් ඉටු කරන, ප්‍රචන්ඩ අර්බුද, යුද්ධ සහ විප්ලවවාදී අරගලවල යුගයකට උපත දුන්නේ ය.

ජාත්‍යන්තර කමිටුව තම සියලු කටයුතු පදනම් කරගත්තේ එම අවබෝධය මත ය.  1990 ගනන්වල මැද දී එය, තම ජාතික ශාඛා, ලීගවල සිට පක්ෂ බවට පරිවර්තනය කරන ලද්දේ, පැරනි ජාතික සංවිධානවල ගුනාත්මක පරිහානිය සහ ඊට සමාන්තර ව සිදු වන හතර වෙනි ජාත්‍යන්තරය සහ කම්කරු පන්තිය අතර සම්බන්ධතාවේ වෙනස්වීම සැලකිල්ලට ගැනීමෙනි. 1998 දී ජාත්‍යන්තර කමිටුව, ජාත්‍යන්තර සමාජවාදයේ අව්‍යාජ හඬ හැටියට ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කලේ ය. පසුගිය දෙසැම්බර් 12 වැනි දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලනික අධ්‍යාපනය සහ බලමුලු ගැන්වීම සඳහා, ඉහලතම තාක්ෂනය අති නවීන ආකාරයෙන් යොදවා ගැනීමක් වසයෙන් සෝෂලිසම් ඒඅයි දියත් කලේය.

හතලිස් වසරකට පෙර සිදුවීම්වල ඓතිහාසික වැදගත්කම පැහැදිලි වන්නේ මෙම පසුබිම තුල ය.විප්ලවවාදී පක්ෂය තුල පැහැදිලිකම ඇති කර ගැනීමේ ක්‍රියාවලිය පූර්වපේක්ෂා කරන්නේ,  දැවැන්ත විප්ලවීය අරගල සඳහා මහජනතාවගේ නැඹුරුතාව යි. කවිපයේ අර්බුදයට තම මූලධර්මාත්මක මැදිහත්වීම නිසා හජාජාකට,  වර්තමාන කම්කරු පන්තියේ ගෝලීය ස්වභාවයට සරිලන, සැබෑ ලෙස ම ජාත්‍යන්තරවාදී වන ට්‍රොට්ස්කිවාදී ලෝක පක්ෂය ගොඩනැගීම සඳහා මාර්ගය සකස් කිරීමට හතලිස් වසරකට පෙර හැකි විය. ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදයේ තතු යටතේ ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙනු ලබන හතරවෙනි ජාත්‍යන්තරය, ලෝකය පුරා මහජන විප්ලවවාදී අරගල වල නායකත්වය ලෙස ඉස්මතු වනු ඇත.

Loading