මැයි මස මුල, වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ද එරට ජනාධිපති ද වන ටෝ ලාම් ඉහල පෙලේ රාජ්‍ය තාන්ත්‍රික කන්ඩායමක් සමග ජනාධිපති අනුර කුමාර දිසානයක් ගේ ආරාධනය පිට ලංකාවේ සංචාරයක යෙදුනේ ය. මේ සංචාරය සම්බන්ධයෙන් කැපී පෙනෙන කරුනක් වූයේ ජවිපෙ/ජාජබ ආන්ඩු පක්ෂයේ සිට විපක්ෂය වන සමගි ජන බලවේගය දක්වා ධනේශ්වර සංස්ථාපිතයේ පක්ෂ සහ මාධ්‍ය එකාවන් ව වියට්නාමයේ “ආර්ථික මොඩලය” පැසසුමට ලක් කිරීමයි.
මැයි 8 වැනි දින, පාර්ලිමේන්තුව ඇමතූ ලාම් “වසර 40කට පෙර වියට්නාමය ඩොයි මොයි (පුනරුදය) ප්‍රතිසංස්කරන දියත් කරද්දී රට යුද්ධයෙන් බැට කා ආර්ථිකය කඩා වැටී තිබුනා. මහජනතාව උග්‍ර දරිද්‍රතාවයක ජීවත් වෙමින් සිටියා. ඩොයි මොයි මූලික වශයෙන් නව සිතීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නා. අපි වටහා ගත්තා අපේ රට සංවර්ධනය කරන්න නම් පවතින තත්ත්වයන් අවංක ව තක්සේරු කරලා යථාර්ථයට මුහුන දීමට සිදු වන බව. ඒ අනුව අපි අපේ ආයතන ප්‍රතිසංස්කරනය කලා. මධ්‍යම සැලසුම්ගත ආර්ථිකයක සිට වියට්නාමය කෙමෙන් සමාජවාදී නැඹුරුවක් සහිත වෙලඳපොල ආර්ථිකයකට යොමු වුනා” යැයි පැවසී ය
අගමැති හරිනි අමරසූරිය එම සංවාදයට එක් වෙමින් “වියට්නාමය කෘෂිකාර්මික ආර්ථිකයක සිට නූතන ආර්ථිකයක් දක්වා පරිවර්තනය කිරීමේ ඔබගේ අත්දැකීම සත්‍ය වශයෙන් ම ප්‍රශංසනීය” යැයි පවසා සිටියා ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස “ඩොයි මොයි” ප්‍රතිසංස්කරන නිසා වියට්නාමයට වාර්ෂික ව ඩොලර් බිලියන ගනනින් ඍජු විදේශ ආයෝජන ලෙස ආකර්ෂනය කර ගනිමින් ලෝකයේ වේගයෙන් ම වර්ධනය වෙන ආර්ථිකයක් බවට පත් වීමට හැකි ව ඇති බව කියා සිටියේ ය. ශ්‍රී ලංකාව වියට්නාමයෙන් පාඩම් උකහා ගත යුතු බව ඔහු සඳහන් කලේ ය.
ධනපති සංස්ථාපිතය “වියට්නාම් මොඩලය” සම්බන්ධයෙන් ඔකඳ වී සිටියදී එයට සමාජවාදී පින්තාරුව ආලේප කිරීමට ලංකාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය වියට්නාමයේ ඊනියා සමාජවාදී මාවත අගය කලේ ය.
ලාම් ඔජ වැඩූ හා ලංකාවේ ජනාධිපති, අගමැති සහ වික්ෂය ආවැඩූ වියට්නාම් මොඩලය හෙවත් ඩොයි මොයි සමාජවාදී වැඩපිලිවෙලක් හෝ අවම වසයෙන්, කම්කරුවන් හා දුගීන් ගේ අයිතීන් රකින ක්‍රියාමාර්ගයක් නොව විදේශ ආයෝජකයන්ට රිසි සේ සූරා කෑමට හැකි තෝතැන්නක් බවට වියට්නාමය පත්කිරීමේ වැඩපිලිවෙලකි.
1975 දී එක්සත් ජනපද හමුදාව දකුනු වියට්නාමයෙන් පලවා හැර, සීඅයිඒ රූකඩ ආන්ඩුව ද හෙලු වියට්කොං හා වියටනාම් ජනයාගේ විරෝධාර අරගලය මුලු ලෝකයේ ම කම්කරුවන් පීඩිතයන් ගේ උද්දාමයට හේතු විය.
කෙසේ වෙතත්, වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය අනුගමනය කලේ සෝවියට් සංගමයේ සහ චීනයේ ස්ටැලින්වාදී නිලධරයේ පිලිවෙතයි. එය, “තනි රටේ සමාජවාදය” නමින් හැඳින්වූ නමුත් සමාජවාදය සමග සම්බන්ධයක් නැති, ආර්ථික ජාතිකවාදී වැඩපිලිවෙල සහ නිලධාරිවාදී පොලිස් රාජ්‍ය පාලනයකි.
1980 දශකයේ දී නිෂ්පාදන ප්‍රාග්ධනයේ භූගෝලීයකරනය අවසාන වශයෙන් සියලු ම ධනේශ්වර ජාතිකවාදී වැඩපිලිවෙල සියලු ම වෛෂයික පදනම් අහෝසි කර දැම්මේ ය. ආර්ථික ජාතිකවාදී වැඩපිලිවෙල මත පදනම් ව සිටි ස්ටැලින්වාදී රාජ්‍යය මේ සමග අර්බුදයට ගියේ ය. 1978 තරම් ඈත දී චීන ආර්ථිකය ගෝලීය ප්‍රාග්ධනයට ස්ටැලින්වාදයේ ම ප්‍රභේදයක් වන මාඕ වාදී පාලන තන්ත්‍රය යටතේ විවෘත කෙරුනු අතර 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැර ඉන් පසු ස්ථාපිත කෙරුනු රාජ්‍යවල ධනවාදය පුනස්ථාපනය කෙරුනි.
1986 දී දියත් කරන ලද ඩොයි මොයි ප්‍රතිසංස්කරන අරමුනු කර ගත්තේ ධනේශ්වර වෙලඳපොල සබඳතා පිහිටුවීමයි. කොමියුනිස්ට් පක්ෂ නායකත්වය යටතේ වියට්නාමය ලෝක ධනේශ්වර ආර්ථිකයට ලාභ ශ්‍රම වේදිකාවක් ලෙස එකතු කෙරුනි. 2000 මැද වන විට, ලෝකයේ බොහෝ දැවැන්ත සංගතවල ප්‍රධාන ලාභ ශ්‍රම වේදිකාව බවට එ රට පත් විය. 2025 වසරේ එරට ඩොලර් බිලියන 38 වැඩි ප්‍රමානයක් ආකර්ෂනය කරගත් අතර, මේ අවුරුද්දේ මුල මාස හතර පමනක් ඩොලර් බිලියන 16.4ක් ආකර්ෂනය කර ගෙන තිබේ.
ඊට ප්‍රධාන හේතුවක් නම් කම්කරුවන් ගේ වැටුප් අවම, යන්තම් ජීවිතය ගැටගසා ගැනීමේ මට්ටමක තැබීම හා කම්කරුවන් මර්දනකාරි විනයකට යටත් කිරීමයි. කොමියුනිස්ට් පක්ෂයේ යාන්ත්‍රනයක් ලෙස ක්‍රියාකරන වියට්නාම් පොදු කම්කරු ෆෙඩරේෂනය, සියලු කම්කරුවන් ආන්ඩුවේ ප්‍රතිපත්ති වලට යටත් කරමින් ක්‍රියාත්මකවේ.
ඩොයි මොයි ප්‍රතිසංස්කරනවලට පෙර පැවතියාට වඩා වර්තමානයේ වියට්නාමයේ සමාජ අසමානතාව පුලුල් වී ඇත. ධනපති පන්තියේ ලාභ අනික් අතින් කම්කරුවන්ට අත් කර දී ඇත්තේ අඩු වැටුප්, දරුනු වැඩ කොන්දේසි, සංවිධානය වීමේ අයිතිය අහෝසි කිරීම ආදිය බවටයි. වැඩපල අනතුරු සහ මරන වැඩි ව ඇත.
මෙම ප්‍රතිසංස්කරන සාමකාමී ව ක්‍රියාවට දැමිය නොහැකි විය. කම්කරුවන් විදේශ ආයෝජනවල රුදුරු සූරා කෑමට නිරාවරනය කිරීමට කම්කරුවන්ගේ අයිතීන් නැති කර දැමීම, ලාභය මුල් කරගත් ප්‍රතිසංස්කරනවල දී රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය සහ ඒ හරහා ක්‍රියාවට දැමුනු විශාල රැකියා විනාශය සිදු කල හැකි වූයේ පොලිස් රාජ්‍ය පියවර වැඩි වර්ධනය කිරීමෙනි.
වර්තමාන ජනාධිපති ටෝ ලාම් මේ පොලිස් රාජ්‍ය පියවර තුල අපකීර්තිමත් භූමිකාවක් ඉටු කරමින් කොමියුනිස්ට් පක්ෂයේ ඉහලට නැග ගත්තෙකි. 1974 දී, පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස වෘත්තීය ආරම්භ කල ලාම් කොමියුනිස්ට් පාලන තන්ත්‍රයට එරෙහි ව කැරලිකාරී වන කම්කරුවන් තරුනයන් මර්දනය කිරීම තම මූලික අරමුන කරගත් දේශපාලන ආරක්ෂක දෙපාර්තමේන්තුව තුල ඉටු කල ක්‍රියාකලාපය හරහා ඉහල තනතුරුවලට උසස්වීම් ලබා ගත්තේ ය.
2016 දී මහජන ආරක්ෂක ඇමති ලෙස පත් වූ ඔහු තම ධුරකාලය තුල දී දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි මර්දනය උග්‍ර මට්ටම්වලට ගෙන ඒම සම්බන්ධයෙන් කුප්‍රකට ය. කොමියුනිස්ට් පක්ෂය හෝ ආන්ඩුවේ අන්තර්ජාල විවේචකයන් අත්අඩංගුවට ගැනීම, අධිකරන ක්‍රියාදාමයන් නොතකා හැරීම, අත්තඩංගුවට ගත් පසු දරුනු වද හිංසාවන්ට ලක් කිරීම, අධිකරනය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ව යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහු පුලුල් ලෙස හෙලා දැකීමට ලක් ව ඇත.
2024 දී කොමියුනිස්ට් පක්ෂයේ කල්ලිවාදී ගැටුම් මැද මාස කීපයකට ජනාධිපති ධූරයට පත් කෙරුනු ලාම් එම වසරේ දී පක්ෂ මහ ලේකම් ලෙස තෝරා පත් කර ගැනුනි. ලාම් නැවතත් පසුගිය මාසයේ දී ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනුනි. දැන් ඔහු අත පක්ෂ යාන්ත්‍රනයත් රාජ්‍ය යාන්ත්‍රනයක් සංකේන්ද්‍රනය කර ගෙන සිටියි.
වියට්නාම් මොඩලය හා එරට පාලන තන්ත්‍රය, ලංකාවේ ජවිප/ජාජබ ආන්ඩුව ට ආකර්ශනීය වී ඇත්තේ මේ නිසා ය. ජවිප/ජාජබ බලයට ඒමට පෙර ම මේ “ආදර්ශය” ගැන තක්සේරු කරමින් සිටියේය. 2023 දෙසැම්බර් මාසයේ ඩේලි මිරර් පත්තරයට සම්මුඛ සාකච්චාවක් දුන්, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති සඳහන් කලේ “තමන් වඩා ලඟ මොන මොඩලයට දැයි අසන්නේ නම් ඒ වියට්නාමය බවයි.”
2022 ආර්ථික කඩා වැටීම සහ මහජන අරගලයේ කෝපය ගසා කමින්, දිසානායක හා ජවිපෙ/ජාජබ ගනන් බලමින් සිටියේ වික්‍රමසිංහ ආන්ඩුව ඇරඹු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල මුර්ග ලෙස ක්‍රියාවට දැමීමටයි. වියට්නාම් මොඩලයත් එම පැකේජය තුල ම එන පොලිස් රාජ්‍යයත් ජවිපෙ ජාජබ ආන්ඩුවට උදාහරනයක් වන්නේ ඒ තතු තුල ය.
පොලිස් පුහුනුව සහ විද්‍යාත්මක පර්යේෂන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා වියට්නාමයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන පොලිස් ඇකඩමිය සහ ශ්‍රී ලංකා ජාතික පොලිස් ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුම අවබෝධ කර ගත යුත්තේ මේ පසුබිම තුල ය. අයිඑම්එෆ් කප්පාදු පියවර ක්‍රියාවට දැමීමට ආඥාදායක පාලන තන්ත්‍රයක් ගොඩ නැගීමෙන් තොර ව සිදු කල නොහැකි ය.
ලාම් හඳුන්වා දෙමින් වියට්නාමය “අධිරාජ්‍යවාදයට එරෙහි ව ගෙන ගිය තිරසර අරගලය” ගැන ජනාධිපති දිසානායක සඳහන් කලේ ය. වියට්නාම පාලන තන්ත්‍රයේ මෙම අධිරාජ්‍ය විරෝධය අතීතයට අයත් ය. පසුගිය දශක හතරේ, වියට්නාම් පාලන තන්ත්‍රය, අධිරාජ්‍ය විරෝධය හකුලා දමා ක්‍රමයෙන් එක්සත් ජනපදය සමග පෙලගැසී චීනයට එරෙහි කක්ෂයට ඇතුල් වී සිටි.
දිසානායක හා ජවිපෙ, මහජන විරෝධය ගසාකෑම සඳහා අතීතයේ පූච්චානම් බෙරිහන් දුන්නේය. දැන් ඒ සියල්ල කුනු බක්කියට දමා ඇත.
ඉරානයට එරෙහි එක්සත් ජනපද ට්‍රම්ප් ආන්ඩුවේ සාපරාධී යුද්ධය සම්බන්ධයෙන් මොවුහු එක ම බක්කියක සිටිති.
වියට්නාම් විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාව මෙසේ සඳහන් කලේ “උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙසත්, ගැටුම් උත්සන්න කරන සියලු ක්‍රියා වහාම නතර කරන ලෙසත්, සාමාන්‍ය ජනයා ආරක්ෂා කරන ලෙස හා යටිතල පහසුකම් ආරක්ෂා කරන ලෙස හා ගැටලු සාමකාමී ව විසඳා ගන්නා ලෙසත් සියලු පාර්ශ්වයන්ගෙන් [වියට්නාම් ආන්ඩුව] ඉල්ලා සිටින බව” ය. දිසානායක ගේ විදේශ ඇමති , විජිත හේරත් මෙතරම් විස්තර නැති ව ම “සියලු පාර්ශ්වවලට” සංයමයෙන් කටයුතු කරන ලෙස ආයාචනයක් නිකුත් කලේ ය.
වියට්නාමයේ හා ලංකාවේ කම්කරුවන්ට හා දුගීන්ට ඇත්තේ අධිරාජ්‍යවාදී බලයන්ට හා ඔවුන්ගේ ආක්‍රමන හා යුද්ධවලට එරෙහි ව අරගල කිරීමේ ඉතිහාසයකි. 1975, වියට්නාමයේ ජනතාව ඇමරිකානු අධිරාජ්‍යවාදය රටින් පලවා හැරියේ ය.
එහෙත් දෙරට ම නිකුත් කල ප්‍රකාශ වල නීති විරෝධි යුද්ධය දියත් කල ඇමරිකාව හා ඊශ්‍රායලය ගැන වචනයක් නැත. පීඩිත රටක් වූ ඉරානයට එරෙහි යුද්ධය හෙලා දැක නැත. දෙ රටේ ම පාලකයන් ඇමරිකාවේ භූ දේශපාලන වුවමානවන් සමග පෙලගැසී සිටියි.
දිසානායක ආන්ඩුව, වියට්නාමයේ මොඩලය වග වර්නනා කිරීම්, ලංකාවේ කම්කරු පන්තිය වෙත තවත් අනතුරු ඇඟවීමකි. ජවිපෙ/ජාජබ ආන්ඩුව, උග්‍රවන අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත වේගවත් ව පැටවීමට ආඥාදායක පාලනයක් වර්ධනය කරමින් සිටි.
වැඩිදුර කියවන්න
- වසර 75 ට පෙර: වියට්නාම් ස්ටැලින්වාදීහු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට එරෙහිව මිනීමරු ව්‍යාපාරයක් දියත් කරති
- වියට්නාම් නායකත්ව වෙනස වෙලඳ පොල ප්‍රතිසංස්කරන කඩිනම් කිරීමේ ගමනක් සංඥා කරයි
- ආන්ඩුව මැයි දින රැලි වල දී බොරු, කප්පාදු සහ ඒකාධිපති පාලනය ඔජ වඩයි
- ශ්‍රී ලංකාවේ ආන්ඩුව මර්දනකාරී හදිසි නීති පාලනය තවත් මසකින් දීර්ඝ කරයි
