[මෙය இலங்கை காணாமல் ஆக்கப்பட்டோரின் உறவினர்கள் உலக சோசலிச வலைத் தளத்துடன் பேசினர் මැයෙන් 2026 ඔක්තෝබර් 11 වැනි දා දෙමල බසින් පල විය.]
බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ සංගමය (උතුරු-නැගෙනහිර) සහ දෙමල ධනපති පක්ෂ සමග පෙලගැසී සිටින යාපනය විශ්වවිද්යාල සිසුන් ඇතුලු විවිධ සිවිල් සමාජ සංවිධාන, අගෝස්තු 30දා, යාපනය නගරයේ තන්දෛ සෙල්වා ශාලාවේ දී සම්මේලනයක් පැවැත් වීය.
එක්සත් ජාතීන්ගේ “අතුරුදහන් කරනු ලැබූවන් පිලිබඳ ජාත්යන්තර දිනය” යෙදී තිබූ දා පැවති සම්මේලනයට, උතුරු සහ නැගෙනහිර පලාත්වලින් 1,000කට අධික පිරිසක් සහභාගී වූහ.
නැගෙනහිර මුතූර් නගරයේ පදිංචි 56 හැවිරිදි ආර්. කෝමලදේවි, තම පවුල මුහුන දුන් බිහිසුනු තත්ත්වය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට විස්තර කල අය අතරින් කෙනෙකි:
“මගේ පවුලේ සාමාජිකයන් 13 දෙනෙකු මට අහිමි වුනා. මගේ ඥාතීන් අතුරුදහන් කරාට පස්සේ මම තනි වුනා. 1995 දී හමුදාව මගේ මාමා සහ නැන්දා කපා මරා ඔවුන්ගේ සිරුරු ගිනි තිබ්බා. හමුදාව ඔවුන්ගේ පුතුන් හතර දෙනාත් පැහැර ගෙන ගිහින් පසු ව ඔවුන් අතුරුදහන් කලා. ඒ වගේ ම,1990 දී මගේ සීයා, ආච්චි, මල්ලි එක්ක ම ඥාති පුතාත් අතුරුදහන් කලා.”
“2008 දී මගේ තාත්තා, අයියලා සහ මල්ලිලා, මගේ සැමියා සහ මස්සිනා හමුදාව විසින් අත්අඩංගුවට ගෙන රැගෙන ගියා. ඔවුන් අතුරුදහන් වෙලා.”
ඔවුන් සොයාගැනීමට තමන් ගත් උත්සාහයන් ගැන ද ඇය වැඩිදුරටත් කතා කලා ය.
“ඔවුන් සොයා මම නොගිය ආන්ඩුවේ කන්තෝරුවක් නැහැ. පැමිනිලි කරන්න මම තැනින් තැනට ගියා—එක්සත් ජාතීන්ගේ සරනාගතයින් පිලිබඳ මහ කොමසාරිස් කාර්යාලය (යූඑන්එච්සීආර්), ජාත්යන්තර රතු කුරුස කමිටුව (අයිසීආර්සී), මානව හිමිකම් කොමිසම, ජනාධිපති ලේකම් කාර්යාලය, අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය (ඕඑම්පී) සහ පොලිස් ස්ථාන ඇතුලු බොහෝ තැන්වලට. ඒත් තවමත් මට කිසිදු විසඳුමක් ලැබිලා නැහැ” යි ඇය පැවසුවා ය.
ඇය තව දුරටත් මෙසේ කීවා ය: “යුද්ධය අවසන් වෙලා අවුරුදු 17ක් ගෙවිලත් අපි තවමත් පාරේ විරෝධතා පවත්වනවා. අපට විසඳුමක් ලැබෙන්නේ නැති බව අපි දන්නවා—අන්තිමේ දී ඔවුන් අපි ආදරය කරපු අය මරලා දැම්මා. ඔවුන් මැරුවෙ ඇයි කියලා අපි දැනගන්න ඕන. කවුද ඔවුන් ඝාතනය කලේ? ඒ කොහොමද?”
සම්මේලනය ගැන කතා කරමින් ඇය පැවසුවේ, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එයට පැමිනියේ “අවිශ්වාසයෙන්. තමන්ගේ ම වාසි ගැන පමනක් සිතන මේ සංගමයේ නායකයන් ගැන අපට විශ්වාසයක් නැහැ” යන හැඟීමෙන් බවයි.
ජීවනෝපාය සඳහා ආධාර ලබා දෙන බවට නායකයන් පොරොන්දු වී තිබුනත්, එයින් කිසිවක් සිදුවී නැත. අපරාධ විමර්ශනය කිරීම සඳහා “ජාත්යන්තර යාන්ත්රනයක්” ඉල්ලා සිටීම ගැන ඇය විශේෂයෙන් විවේචනය කලා ය:
“ඒක ප්රෝඩාවක්. ඒ ජාත්යන්තර ආන්ඩුත් ඉන්දියාවත් යුද්ධයට සහයෝගය දුන්නා. ඒ ආන්ඩුත් මේ සිදුවීම් ගැන වගකිව යුතුයි.”
දුගීන්ට දෙන සීමිත “අස්වැසුම” දීමනාව හැර ඇයට කිසිදු මූල්ය ආධාරයක් ලැබී නැත. කෝමලදේවිට පදිංචියට සුදුසු නිවසක් නැති අතර ඇය ජීවත් වන්නේ වැස්සට වතුර කාන්දු වන තාවකාලික පැල්පතක ය. ඇය කුලී වැඩ කරමින් ජීවත් වන අතර, අතුරුදහන්වූවන්ගේ පවුල්වලට ලබා දෙන බවට ආන්ඩුව පොරොන්දු වූ සහනාධාර පැකේජ ද ඇයට ලැබී නැත.
එම ප්රදේශයේ ම පදිංචි සුබ්රමනියම් දයාවතී පැවසුවේ, බැංකුවක රැකියාවට ගිය තම පුතා සහ බාල සොහොයුරා අතුරුදහන් වූ බවයි. “ඔවුන්ට මොකද වුනේ කියලා අපට තාමත් හොයාගන්න බැරි වුනා. හමුදාව ඔවුන් රඳවාගත්තා කියලා අපි විශ්වාස කරනවා.” ඊට පසු වසරක දී [ඇයට වසර මතක නැත] ඇගේ අනෙක් පුතා ද අතුරුදහන් විය.
ඇගේ බාල සොහොයුරා ද “සුදු වෑන් රථයකින්” පැහැර ගෙන ගොස් තිබේ. “මම ඔවුන් ගැන දිගින් දිගට ම හොයනවා. ඒත් කිසිදු තොරතුරක් ලැබිලා නැහැ” යි ඇය පැවසුවා ය.
ඇය මෙසේ කීවා ය: “ත්රිකුනාමලයේ සමූහ මිනීවලක් හමු වුනා, තවත් තැන්වලත් සමූහ මිනීවලවල් හමු වෙමින් තිබෙනවා. අපේ දුවාදරුවන් තව දුරටත් ජීවතුන් අතර නැති බව පැහැදිලියි. අපේ සහෝදරයන් සහ දරුවන් මරා දැම්මේ හමුදාව හා පැරාමිලිටරි කන්ඩායම් කියලා මම හිතනවා. ඒත් ඇත්ත අපට හෙලිදරව් කල යුතුයි. අපේ දරුවන්ට මොකද වුනේ කියලා ආන්ඩුව ප්රකාශ කල යුතුයි.”
ඇය වකුගඩු රෝගයෙන් පීඩා විඳියි. ඇයට මාසයකට රුපියල් 8,500ක “අස්වැසුම” දීමනාවක් ලැබෙන අතර, එය ඇගේ එක ම ආදායම යි. ඇයට ගෙවූ වැඩිහිටි දීමනාව ද නතර කර ඇත.
නැගෙනහිර පලාතේ චෙන්කලඩි ප්රදේශයේ පදිංචි තුරෛසාමි සෙල්ලම්මා (81) අපට පැවසුවේ, තම පුත් පාක්යරාසා 1996 දී චෙන්කලඩිහි පාසලට යමින් සිටිය දී අතුරුදහන් වූ බව යි. එහි කඳවුරු බැඳ සිටි හමුදාව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ශිෂ්යයෙකු බව තහවුරු කිරීමට අවශ්ය සියලු ලේඛන ඉදිරිපත් කරමින් ඇය ආන්ඩුවේ කාර්යාලවලට හා හමුදා කඳවුරුවලට ගියා ය. එහෙත් ඇගේ පුතාව කිසිදා ඇයට පෙන්වා නැත.
ඇය මෙසේ විමසුවා ය: “මගේ පුතා තවමත් ජීවතුන් අතර ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒත් අපි යුක්තිය ඉල්ලා සිටිනවා. පුද්ගලයෙක් මිනීමැරුමක් කලොත් උසාවියෙන් දඬුවම් කරනවා. රජයේ හමුදා මිනිසුන් අතුරුදහන් කරලා මරා දැම්මොත් ඔවුන්ට දෙන දඬුවම මොකක්ද? ඒ ගැන වගකිව යුත්තේ කවුද?”
තමන්ගේ ජීවන කොන්දේසි ගැන ඇය කතා කලා ය: “මගේ සැමියා ගොවියෙක්. ඔහු මිය ගිහින්. මම ජීවත් වෙන්නෙ ආප්ප විකුනලා. මට මගේ ම කියලා ගෙයක් වත් නැහැ. මම දුවත් එක්ක ජීවත් වෙනවා. මගේ බාල පුතාට හමුදාවෙන් පහර දී වධහිංසා කිරීමෙන් පස්සේ ඔහු අසනීප වුනා.”
ඇගේ දරුවෝ තම තමන්ගේ පවුල් නඩත්තු කිරීමට ද අරගල කරමින් සිටිති. දෛනික කුලී කම්කරුවන් ලෙස වැඩ කරන ඔවුහු යාන්තම් දිනකට රුපියල් 1,500ක් පමන උපයති. සෙල්ලම්මා වෙන ම ජීවත් වන අතර, ආන්ඩුවෙන් කිසිදු මූල්ය ආධාරයක් ලබන්නේ නැත.
වැඩිදුර කියවන්න
- අතුරුදන් වූවන් පිලිබඳ ව යාපනයේ පැවති සමුලුව දෙමල ජාතිකවාදී ව්යාපාරවල වංචනික ස්වභාවය හෙලිදරව් කරයි
- අතුරුදන් වූවන්ගේ ඥාතීන් යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේ පැවැත්වූ විරෝධතාව පොලිසිය ප්රචන්ඩ ලෙස විසුරුවා හරී
- කිලිනොච්චියේ පැවති අතුරුදන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවයේදී ලෝසවෙඅ වාර්තාකරුවන්ට බාධා කිරීම දෙමල ජාතිකවාදයේ බංකලොත්කම හෙලිදරවු කරයි
- හමුදාව විසින් අත්පත් කරගෙන සිටින උතුරු සහ නැගෙනහිර සියලු ඉඩම් ආපසු ලබාදීම ආන්ඩුව ප්රතික්ෂේප කරයි
- ශ්රී ලංකාවේ දෙමල දේශපාලන සිරකරුවන්ට එරෙහි සාපරාධී ප්රහාරය
- මුලතිවුහි දෙමල තරුනයාගේ මරනයට හමුදාව වගකිව යුතු බවට සැක කෙර්
