[මෙය Thousands of non-academic workers in Sri Lankan universities strike over government’s refusal to meet pay demands මැයෙන් 2026 නොවැම්බර් 20 වැනි දා ඉංග්‍රීසී බසින් පල විය.]
2027 අයවැයෙන් තම වැටුප් සහ අනෙකුත් ඉල්ලීම්වලට විසඳුම් ලබා දීම ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පල කරමින් රට පුරා දස දහස් සංඛ්‍යාත විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ නොවැම්බර් 18 වන දින එක්දින වැඩ වර්ජනයක් පැවැත්වූහ.
ජවිපෙ/ජාජබ බලයට පත් වීමෙන් පසු නොවැම්බර් 12 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද තුන් වන කප්පාදු අයවැයෙහි, අයිඑම්එෆ් විසින් නියම කරන ලද දැවැන්ත වියදම් කප්පාදුවක් සහ ව්‍යාපාර හිතකාමී ප්‍රතිව්‍යුහගත කිරීමක් අඩංගු වේ. අඛන්ඩ ව ඛාදනය වන රාජ්‍ය අංශයේ සේවකයින්ගේ මිල දී ගැනීමේ ශක්තිය ඉහල දැමීම සඳහා සැලකිය යුතු වැටුප් වැඩි වීමක් එය ඉදිරිපත් නොකරයි.
අයවැය මඟින් තම නරක අතට හැරෙන තත්වයට ක්ෂනික සහනයක් අපේක්ෂා කල හැකි වෙතැයි කියමින් වෘත්තීය සමිති නිලධාරීන් විසින් නොමඟ යවන ලද කම්කරුවෝ, එය ඉදිරිපත් කිරීමෙන් පසු ඉක්මනින් අරගලයට එලඹුනහ.
රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය නොවැම්බර් 13 වන දින රට පුරා වැඩ වර්ජනයක් දියත් කලේ ය. වාරිමාර්ග තාක්ෂනික සහකාර සංගමය නොවැම්බර් 16 වන දින කාර්මික ක්‍රියාමාර්ගයක් ආරම්භ කලේ ය. නොවැම්බර් 17 වන දින සමස්ත ලංකා ආපදා සහන සේවා සංගමය සියලු ම ආපදා සහන රාජකාරිවලින් තම සාමාජිකයින් ඉවත් කර ගැනීමට තීරනය කල අතර රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ නැවැත්වීම කරලියට ගෙන ආවේ සාමාජිකයින් සාමූහික ව අසනීප නිවාඩු වාර්තා කරමිනි. අනෙකුත් අංශවල කම්කරුවන් විරෝධතා අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නොවැම්බර් 18 වන දින, මොරටුව, කොලඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ විවෘත විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයින් 1,000 කට වැඩි පිරිසක්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතා දැක්වූහ. සබරගමුව, රජරට, වවුනියාව, නැගෙනහිර සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල පිකට් පෙලපාලි ඇතුලු සමාන ක්‍රියාමාර්ග වාර්තා වූ අතර එ මඟින් විශ්වවිද්‍යාල පද්ධතිය අඩපන විය.
“මාසික හිලව් දීමනාව වහා ම වැඩි කරනු”, “පුරප්පාඩු වූ අනධ්‍යයන කාර්ය මන්ඩල තනතුරු වහා පුරවනු”, “කපා හරින ලද සියයට 20 දීමනාව ලබා දෙනු”, “සැමට සාධාරන විශ්‍රාම වැටුපක් සහතික කරනු”, “වැටුප් විෂමතා ඉවත් කරනු” සහ “කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු” යන ඉල්ලීම් සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවෝ සටන් පාඨ කීහ. මෙම වර්ජනය විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව (ජේසීයූටීයූ) විසින් කැඳවන ලදී.
අනෙකුත් වෘත්තීය සමිති නිලධරය මෙන්, ජේසීයූටීයූ නායකයින් ද අයවැය ඉදිරිපත් කිරීමට ටික කලකට පෙර සිදු කල විරෝධතාවක් ද ඇතුලු ව පසුගිය වසර කිහිපය තුල සීමිත විරෝධතා නැවත නැවතත් කැඳවා ඇති අතර, පීඩනයක් යෙදීමෙන් ආන්ඩුවට කම්කරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට බල කෙරෙනු ඇතැයි කියා සිටියේ ය. කප්පාදු අයවැය මගින් මෙම ප්‍රකාශවල බංකොලොත්භාවය හෙලිදරව් කර තිබේ.
2024 ජූලි මාසයේ දී, ජේසීයූටීයූ නායකයින්, විශ්ව විද්‍යාල පුරා අනධ්‍යයන සේවකයින් විසින් දින 75 ක් පුරා දියත් කරන ලද අධිෂ්ඨානශීලි වැඩ වර්ජනය පාවා දුන් අතර, ඔවුහු සියයට 15 ක වැටුප් වැඩි වීමක් සහ මාසික හිලව් දීමනාව (එම්සීඒ) සියයට 20 ක වැඩි වීමක් ඉල්ලා සිටියහ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවත්, පසු ව ජවිපෙ/ජාජබ ආන්ඩුව ලබා දුන් පොරොන්දුත් කෙරෙහි වෘත්තීය සමිතිය මිථ්‍යාවන් ප්‍රවර්ධනය කලේ ය.
මෙම පොරොන්දු කිසිවක් ඉටු නොවූවත්, 2024 අගභාගයේ දී වෘත්තීය සමිතිවල සහාය ඇති ව බලයට පත් වූ ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ ඉදිරි මාස 18 තුල වෘත්තීය සමිති නායකයින් කිසිදු විරෝධතාවක් සංවිධානය කලේ නැත. ඔවුන්ගේ නිහඬතාවයෙන් පෙන්නුම් කලේ ආන්ඩුවට සහ එහි අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට ඔවුන්ගේ සහයෝගයයි. මෑත කාලීන විරෝධතා අතරතුර කිසිදු වෘත්තීය සමිති නායකයෙකු අයිඑම්එෆ් වැඩපිලිවෙලට විරෝධය පල කර නොමැත.
2025 සහ 2026 සඳහා වූ ජවිපෙ/ජාජබ අයවැයවල අඩංගු කුරිරු කප්පාදු පියවර තිබියදීත්, දීමනා කප්පාදු කිරීම සම්බන්ධයෙන්, 2026 මුල් භාගයේ දී සංකේතාත්මක දිවා ආහාර පැය විරෝධතාවක් කැඳවන තෙක් වෘත්තීය සමිති නිලධරය කම්කරුවන්ගේ ඕනෑ ම විරෝධතාවක් මර්දනය කලේ ය. 2025 සැප්තැම්බර් මාසයේ දී බිඳ වැටුනු සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස වෘත්තීය සමිතිය ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.
මේ අතර, වෘත්තීය සමිති සියල්ල ම ජවිපෙ/ජාජබ ආන්ඩුව “කම්කරු-හිතකාමී” එකක් ලෙස විස්තර කිරීම දිගට ම කරගෙන යමින් එහි සොච්චම් වැටුප් වැඩිවීම් අගය කල අතර එය ඉහල යන ජීවන වියදම පිරිමැසීමට කිසි සේත් ම ප්‍රමානවත් නොවී ය.
ජනතා විමුක්ති පෙරමුනට/ජාතික ජන බලවේගයට උදව් කිරීම සඳහා කම්කරුවන්ගේ විරෝධතා මර්දනය කල බව විවෘත ව පිලිගනිමින්, විධායක නිලධාරීන්ගේ සංගමයේ නායකයෙකු වන චානක රොද්‍රිගෝ ප්‍රකාශ කලේ, 2024 දී දින 75 ක වැඩ වර්ජනය “බලයට පත්වීමට නියමිත ව සිටි පක්ෂය අපට පොරොන්දු දුන් නිසා අවසන් කල”බවයි.
නොවැම්බර් 18 වන දින වැඩ වර්ජනයට පෙර ජේසීයූටීයූ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත පැවසුවේ, අයවැයෙන් විශ්ව විද්‍යාල සේවකයින්ගේ දුක්ගැනවිලි විසඳීමට අගමැති (?) අනුර කුමාර දිසානායක සහ නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මීට පෙර පැවති සාකච්ඡාවලදී එකඟ වූ බවයි. ඒ වෙනුවට, අයවැය “තවත් ගැටලු ඇති කර ඇති” බව ඔහු අරුන පුවත්පතට පැවසී ය.
රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා කොමිසමේ සාකච්ඡාවකට සහභාගී වන බව පවසමින් ප්‍රියන්ත නොවැම්බර් 18 වන දින ක්‍රියාමාර්ගයට සහභාගී නොවී ය. 2024 දී දින 75 ක වැඩ වර්ජනය පාවා දී ජවිපෙ බලයට ගෙන ඒමට වෙහෙස මහන්සි වූ වෘත්තීය සමිති නායකයින් අතර ප්‍රියන්ත ද විය.
නොවැම්බර් 18 වන දින විරෝධතාවලින් පසු ව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ (අයියූටීයූඑෆ්) සභාපති රංග මීගොඩ ප්‍රකාශ කලේ, විශ්වවිද්‍යාල පද්ධතිය අඩපන කර ආන්ඩුවෙන් කම්කරුවන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා වෘත්තීය සමිති “ප්‍රධාන අරගලයක්” දියත් කරන බවයි. ඇත්ත වශයෙන් ම, වෘත්තීය සමිති උත්සාහ කරන්නේ කම්කරුවන්ගේ කෝපය පාලනය කිරීමට සහ ස්වාධීන, සමාජවාදී දේශපාලන ක්‍රියාමාර්ගයක් මත පදනම් වූ ඒකාබද්ධ අරගලයක් දියත් කිරීමෙන් ඔවුන් වැලැක්වීමට ය.
කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර තීව්ර කරමින් සහ අයිඑම්එෆ් වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම වේගවත් කරමින් සිටින ආන්ඩුවට බලපෑම් කිරීමෙන් විශ්වවිද්‍යාල සේවකයින්ට තම ඉල්ලීම් දිනා ගත නොහැක.
ජනතා විමුක්ති පෙරමුනේ ප්රමුඛ වෘත්තීය සමිති සන්ධානය වන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ (එන්ටීයූසී) මෑත සමුලුවක් අමතමින් ජනාධිපති දිසානායක අවධාරනය කලේ, යෝජිත ආර්ථික පරිවර්තනයට “ආර්ථිකයේ පැරනි මලකඩ ඉවත් කිරීම” සහ “පැරනි බෙදීම් සහ පැරනි ආකල්ප” ජය ගැනීම අවශ්‍ය බවයි. “නව පරිවර්තනයට බාධා කරන” පවතින නීති සංශෝධනය කල යුතු බවට ඔහු තර්ක කලේ ය.
අත්තනෝමතික ලෙස සේවයෙන් පහ කිරීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට එල්ල වන ප්‍රහාරවලට එරෙහි ව කම්කරුවන්ට දැනට ඇති සීමිත නීතිමය ආරක්ෂාවන් පවා අහෝසි කරන නව “කුලියට ගැනීමේ සහ සේවයෙන් පහ කිරීමේ” ක්‍රමයක් ආන්ඩුව සූදානම් කරමින් සිටී. මෙය රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට සහ රැකියා විනාශ කිරීමට පහසුකම් සපයනු ඇත.
අයිඑම්එෆ් ඉල්ලීම්වලට අනුකූල ව සමාජ සහනාධාර තව දුරටත් කප්පාදු කිරීම, විදුලි ගාස්තු සහ ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවා සඳහා මිල ගනන් වැඩි කිරීම ද ආන්ඩුව අදහස් කරයි.
දිසානායක, වෘත්තීය සමිති නියෝජිතයින්ට ඔවුන් “මෙම පරිවර්තනයේ බර උසුලන්නන්” වනු ඇති බවත්, වෘත්තීය සමිති ව්‍යාපාරය “අරමුනට ගැලපෙන පරිදි පරිවර්තනය කල යුතු” බවත් අවධාරනය කලේ ය. වෙනත් වචන වලින් කිව හොත්, ආන්ඩුවේ ආර්ථික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී කම්කරු පන්තියෙන් එන ප්‍රතිරෝධය වෘත්තීය සමිති විසින් මර්දනය කල යුතු ය.
ඒ සමඟ ම, නව මර්දනකාරී නීති සමඟින් කම්කරුවන්ගේ විරෝධයට මුහුන දීමට ආන්ඩුව සූදානම් වෙමින් සිටී. ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත් කෙටුම්පත මගින් කම්කරුවන්ට හිරිහැර කිරීමට, සෝදිසි කිරීමට සහ රඳවා තබා ගැනීමට සහ වැඩවර්ජන සහ විරෝධතා අපරාධකරනය කිරීමට හමුදාවට සහ පොලිසියට පුලුල් බලතල ලබා දී ඇත.
ධනේශ්වර රාජ්‍යයේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ උපකරන ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නිලධරයන් හරහා කම්කරුවන්ට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට සහ තම ඉල්ලීම් දිනා ගැනීමට නොහැකි ය.
අව්‍යාජ අරගලයක් දියත් කිරීම සඳහා, සමාජවාදී සමානතා පක්ෂය (සසප) විශ්වවිද්‍යාල සේවකයින්, සිසුන් සහ ශාස්ත්රාලිකයන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස ඉල්ලා සිටී. මෙම සාමාන්‍ය සාමාජිකයින්ගේ කමිටු, වෘත්තීය සමිති නිලධරයෙන් සහ සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන විය යුතු ය.
කම්කරුවන්ගේ නීත්‍යානුකූල ඉල්ලීම් සඳහා සටන් කිරීමට පමනක් නොව, ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට සහ කප්පාදුවලට එරෙහි පොදු අරගලයක දී සෑම කර්මාන්තයක ම කම්කරුවන් සමඟ විශ්වවිද්‍යාල සේවකයන් එක්සත් කිරීමට ද එ වැනි කමිටු අත්‍යවශ්‍ය වේ. ලාභ පද්ධතිය අවසන් කිරීමට සහ මානව අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජය ප්‍රතිසංවිධානය කිරීමට සමාජවාදී වැඩපිලිවෙලක් මගින් මෙම සටන මෙහෙයවිය යුතු ය.
වැඩිදුර කියවන්න
- ජවිපෙ/ජාජබ කප්පාදු අයවැයට එරෙහි පොදු අරගලයකට කම්කරු පන්තිය බලමුලු ගන්වනු! කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගනු! සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කරනු!
- ශ්‍රී ලංකාවේ 2027 අයවැය වැඩ කරන ජනතාවට එරෙහි අයිඑම්එෆ් කප්පාදු තීව්ර කරයි
- සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි සමාජවාදී මූලෝපාය සාකච්ඡා කරයි
- පාලක ජවිපෙ තම අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට එරෙහි විරෝධය තලා දැමීමට වෘත්තීය සමිති සූදානම් කරයි
