කවර උද්ඝෝෂන කලත් වැටුප් වැඩි නොකරන බවට ඇමති ලාල්කාන්ත කම්කරුවන්ට තර්ජනය කරයි

නොවැම්බර් 19 දා, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ 2027 අයවැය පිලිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වූ කෘෂිකර්ම සහ වාරිමාර්ග ඇමති කේ.ඩී.ලාල්කාන්ත, වැඩි වැටුප් සහ දීමනා ඉල්ලා කෙරෙන වැඩවර්ජන සහ විරෝධතා හෙලා දකිමින් ආන්ඩුව වැටුප් වැඩි කිරීමක් නොකරන බවට පුනරුච්ඡාරනය කලේ ය.

ඇමති ලාල්කාන්තගේ කතාව සිදු කෙරුනේ, සතියට පෙරාතු ව, නොවැම්බර් 12දා, මුදල් ඇමැති ද වන ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 2027 අයවැයට එරෙහි ව කම්කරු විරෝධය පුපුරා ගොස් තිබෙන පසුබිමක ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පරිදි සකසා ඉදිරිපත් කල ජවිපෙ/ජාජබ ආන්ඩුවේ තුන් වැනි අයවැය, ජීවන වියදමට සරිලන සැලකිය යුතු වැටුප් වැඩි වීමක් ලබා දීම ප්‍රතික්ෂේප කලේ ය. 2025 අයවැයෙන් කොටස් තුනක් වසයෙන් ලබා දෙන බවට නිවේදනය කල අවම මූලික වැටුප් වැඩි කිරීමේ අවසන් අදියර සඳහා රුපියල් බිලියන 110ක් වැය කිරීමට සිදුවීම ගැන ජනාධිපතිවරයා අවධාරනය කලේ තවත් පඩි වැඩි කිරීම් සඳහා අරමුදල් යෙදවීමට ආන්ඩුවට හැකියාවක් නැති බව කියා පෑමට ය. ඒ අතර, රුදුරු කප්පාදු අයවැයට අයිසිං තැවරීමට, රාජ්‍ය සේවකයන් අතලොස්සක් ඉලක්ක කර වැඩෙන ජීවන වියදමට අලගු තැබීමටවත් ප්‍රමානවත් නොවන සොච්චම් දීමනාවන් කීපයක් නිවේදනය කලේ ය.

අයවැය පිලිබඳ විවාදයට එක් වෙමින් ලාල්කාන්ත කලේ, දිසානායක කම්කරුවන්ට සිදු කල තර්ජනය, ඔහුට ආවේනික වාචාල ස්වභාවයෙන් යලි වැමෑරීම ය: “කොච්චර උද්ඝෝෂනය කෙරුවත්, කොච්චර එලියට බැස්සත්, කොච්චර වැඩ නවත්තලා හිටියත් වැටුප් කොමිෂන් එක හරහා මේකට උත්තරයක් හොයනවා හැර වෙන ම උත්තර නෑ.” ඒ අනුව ඔහු සියලු ම වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේ, උද්ඝෝෂන අකුලා ගෙන වැටුප් විෂමතා සම්බන්ධයෙන් ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට දෙසැම්බර් 31 දක්වා කාලය තිබෙන බවත්, වැටුප් කොමිෂම තම වාර්තාව 2027 ජූලි මාසය වන විට ලබා දීමට කටයුතු කරනු ඇති බවත් ය.

සරල ව ම කිව හොත්, වැඩකරන ජනයා දෙයියන්ගෙ නාමෙට වර්ජන ක්‍රියාමාර්ග අත්හැර, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් අනුව ක්‍රියාත්මක වැටුප් කොමිෂම තවත් මාස අටකින් පමන නිවේදනය කරනවා යැයි කියන කවර තීන්දුවක් හෝ පිලිගැනීමට කටබලියා සිටිය යුතු ය.

ආන්ඩුවේ එම අන පිලිනොපදින වෘත්තීය සමිති “හොරිකඩයෝ” හා “අපතයෝ” ලෙස හංවඩු ගැසූ ජවිපෙ ඇමැති, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි “ස්වාධීන” සංවිධාන ගැන ඉඟි කරමින්, ඒවා “රෑට රෑට වෙන තැන්වල” දේශපාලන පක්ෂ සමඟ රහසිගත ව වැඩ කරන බවට චෝදනා කලේ ය. ඇමතිගේ ද්වේශ සහගත චෝදනාවේ සැබෑ ඉලක්කය කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් වලකා ගෙන සිටින වෘත්තීය සමිති නොවේ, ඒ වෙනුවට ආන්ඩුවට එරෙහි ව සටන්කාමී වෙමින් සිටින කම්කරුවන් ය.

ලාල්කාන්ත හුදෙක් වාචාල දොඩවනවා නොවේ. ජනාධිපති ද සහභාගී වූ නොවැම්බර් 7දා පැවැති ජවිපෙ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ (එන්ටීයූසී) මූලික ම අරමුන වූයේ අයවැය තුලින් ඉස්මත්තට ගෙන ආ අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේ දී එයට විරුද්ධ වන කම්කරුවන්ට එරෙහි පොලිස්කාරකමට ජවිපෙ වෘත්තීය සමිති සූදානම් කිරීමයි. එහි දී ලාල්කාන්ත කියා සිටියේ, ජවිපෙ බලයේ සිටින තාක් වැඩ වර්ජන නොකල යුතු බවයි.

2026 නොවැම්බර් 7 වැනි දා පැවති ජවිපෙ වෘත්තීය සමිති ජාතික සමුලුව අමතන කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත

දැන් පුපුරා එමින් තිබෙන විරෝධතා රැල්ල මගින් පෙන්නුම් කරන්නේ ආන්ඩුවේ තර්ජනයට කම්කරුවන් ත්‍රස්ත කල නොහැකි බවත්, ඊනියා වැටුප් කොමිසම සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු විශ්වාසයක් නැති බවත් ය.

ඇත්තට ම දිසානායක විසින් මෙම වසරේ ජූලි 2දා වැටුප් කොමිසම පත් කලේ ම, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු භාන්ඩ හා සේවාවන් මිල අහස උසට නැගීමට එරෙහි ව කම්කරු විරෝධය පුපුරා එන තත්වයක් යටතේ ය. ජූලි මාසයේ එය පිහිටවූ තැන් සිට අයවැය ඉදිරිපත් කෙරුනු නොවැම්බර් මුල දක්වා මාස හතරක කාල සීමාවේ වැටුප් කොමිසමේ කාර්යභාරය වී ඇත්තේ කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර මාලාවක් සූදානම් කිරීම බව දැන් පැහැදිලි ය. 

දසක ගනනාවක් වෘත්තීය සමිති ව්‍යාපාරයේ මුදුනත ලැග ගෙන සිටි ලාල්කාන්ත ම නොකී කාරනය වූයේ, පසුගිය ආන්ඩු විසින් ද විටින් විට අටවන ලද මෙවන් වැටුප් කොමිෂන් වල අරමුන වූයේ, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය/ප්‍රතිව්‍යුහකරනය හෝ වසා දැමීම, රාජ්‍ය රැකියා ලක්ෂ සංඛ්‍යාත ව කපා දැමීම සහ වැඩ වේගවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම බවයි.

මෙම තතු තුල, වෘත්තීය සමිති 69ක් දැනටමත් වැටුප් කොමිසමට “කරුනු ඉදිරිපත් කර ඇති” බව ලාල්කාන්ත පැවසී ය. ලොව පුරා වෘත්තීය සමිති ධනපති උපකරන බවට පරිවර්තනය වී බොහෝ කල් වන අතර, ඉන් කොටසක් වන ලංකාවේ සමිති, අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට මුලුමනින් ම පක්ෂපාතී ය. මෙවන් කොමිෂන්වල ප්‍රෝඩාව හොඳින් දන්නා මෙම සමිති නිලධරය එයට “කරුනු” ඉදිරිපත් කිරීම හරහා එය යුක්ති සහගත කර ඇතිවා පමනි. ඉන් කම්කරුවන්ට වන සුගතියක් නැත.  

ලාල්කාන්ත කම්කරුවන්ට කියන්නේ, කම්කරුවන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් “අයවැය සීමාව ඇතුලේ බැරි කමක්” ඇති බව යි. එහෙත්, ජවිපෙ/ජාජබ 2027 අයවැයෙන් රුපියල් ට්‍රිලියන 4.85ක් ද ඊට පෙර වසරේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 4.49 ක් ද වසයෙන්, එනම් රජයේ ආදායමෙන් පහෙන් හතරක් නය ගෙවීමට වෙන් කර ඇත. එනම්, නය හිමියන්ට ගෙවීමට මුදල් ඇත, නමුත් කම්කරුවන්ගේ වැටුප් සඳහා මුදල් නැත. කම්කරුවන් ඇතුලු පීඩිත මහජනතාව මිරිකා බදු මුදල් ලෙස භාන්ඩාගාරයට එකතු කර ගන්නා දැවැන්ත මුදල් කන්දරාව වැය කරනු ලබන්නේ, හුදෙක් ධනපති අවශ්‍යතා වෙනුවෙන් ලබා ගත්, කම්කරුවන් කිසි සේත් වග නොකිව යුතු නය සහ පොලී ආපසු ගෙවීම සඳහා ය.

තමා ඇතුලු ජවිපෙ සාමාජිකයන් වෘත්තීය සමිති ව්‍යාපාරය තුල සටන් කොට, “කඳුලු ගෑස්” සහ “බැටන්” ප්‍රහාර වලට ලක් ව ඇති බවට ද ඔහු පුරසාරම් දෙඩවී ය. ඇත්තට ම ජවිපෙ වෘත්තීය සමිතිවල “සටන්වල” ඉතිහාසය නම්, කම්කරු පන්තියේ අරගල ධනේශ්වර ක්‍රමයට එරෙහි ව යාමෙන් වලක්වා ඔවුන්ගේ විරුද්ධත්වය මැඬ පැවැත්වීමේ ඉතිහාසයකි.  

1960 ගනන්වල අග භාගයේ, මාඕවාදී-කැස්ත්‍රෝවාදී ගරිල්ලාවාදය, සිංහල ජනතාවාදය සමඟ මුසු කල සුලු-ධනේශ්වර රැඩිකල් සංවිධානයක් ලෙස බිහි වූ ජවිපෙ පදනම් වූයේ කම්කරු පන්තිය මත නොව, පීඩිත ග්‍රාමීය සිංහල තරුන ස්ථර මත ය. එය කිසිදාක කම්කරු පන්තියේ පක්ෂයක් හෝ සංවිධානයක් නොවී ය. 

කම්කරු පංතිය කෙරෙහි මාරක සතුරුකමක් දැක්වූ ජවිපෙ, කම්කරු සටන් “කැඳ කෝප්ප සටන්” ලෙස ගර්හාවට ලක් කලේ ය. එය, වෘත්තීය සමිති අටවා ගනිමින් කම්කරු පංතිය තුල මැදිහත් වූයේ, තම සුලු ධනේශ්වර අවශ්‍යතාවන්ට කම්කරු පන්තිය නතු කර ගැනීමේ අරමුනෙනි. 

ජවිපෙ, 1980 ජූලි මහ වැඩවර්ජනයට හොරිකඩකම් කරමින්, ලක්ෂයක් කම්කරුවන් රැකියා වලින් නෙරපීමට ජේ.ආර්.ජයවර්ධන ආන්ඩුවට උදවු කලේ ය. 1988-89 කාල පරිච්ඡේදයේ දී “මවුබිම බේරා ගැනීමේ” නාමයෙන් ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ව ගෙන ගිය ෆැසිස්ට් උද්ඝෝෂනයේ දී ඔවුනගේ ඊනියා වැඩවර්ජන වලට තුවක්කු බටයෙන් කම්කරුවන් දැක්කූ ජවිපෙ, එයට එරෙහි වූ වෘත්තීය සමිති නායකයින් ද ඇතුලු කම්කරුවන් සිය ගනනක් අමුුු අමුවේ මරා දැමී ය.

ජවිපෙ/ජාජබ ආන්ඩුව “තාමත්” පංති අරගල මැඬීමට “කඳුලු ගෑස් ප්‍රහාර” සහ “බැටන් ප්‍රහාර” එල්ල කොට නොමැති බව ලාල්කාන්ත කීවේ ය. “තාම” කඳුලු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල නොකිරීම කෙසේ වෙතත්, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ වසර දෙකක පාලනයට ඇත්තේ රුදුරු මර්දන වාර්තාවකි. එය බලයට පත් වූ දා සිට පංති අරගල මැඬීමට, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ), අත්‍යවශ්‍ය මහජන සේවා පනත සහ හදිසි නීති රෙගුලාසි ඇතුලු සියලු මර්දනකාරී අනපනත් යොදා ගත්තේ ය. ජනාධිපති දිසානායක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර, ඛනිජ තෙල්, විදුලිය, වරාය, දුම්රිය, තැපැල් සහ සෞඛ්‍ය අංශවල කාර්මික ක්‍රියා තහනම් කිරීමට අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි භාවිත කර ඇත. තැපැල් සේවක වැඩ වර්ජනයක් බිඳ දැමීමට සන්නද්ධ හමුදා යොදා ගැනිනි. ජවිපෙ වෘත්තීය සමිති එම වැඩ වර්ජන තහනම බලාත්මක කල අතර, එයට ගැලපෙන පරිදි අනෙකුත් සමිති ද කම්කරු පංති අරගල වලට ඇබ ගැසී ය.

මහජනයාගේ බරපතල විරුද්ධත්වය ද නොතකා ආන්ඩුව ගෙන ඒමට වෑයම් කරන “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” සහ “සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත” වැනි නව මර්දනකාරී නීතිවලට මූලික ඉලක්කය වන්නේ ද ආන්ඩු විරෝධය සාපරාධීකරනය කරමින්, කම්කරු පන්තියේ විරුද්ධත්වය තලා දැමීමයි. 

ලාල්කාන්තගේ කතාවේ වඩාත් ම විකාර සහගත  කාරනයක් වූයේ ඔහු මාක්ස්වාදියෙකු බව පෙන්නුම් කරමින් කාල් මාක්ස් උපුටා දැක්වීමට ගත් උත්සාහයයි. ඔහු මෙසේ කීවේ ය: “මිනිස්සු ඉස්සරහට උත්තර නැති ප්‍රශ්න ඇවිල්ලා නැහැ කියල මාක්ස් කියල තියෙනව.” මෙය මාක්ස්ගේ අදහස් බරපතල ලෙස විකෘති කිරීමකි. මාක්ස් 1859 දී “දේශපාලන ආර්ථිකය පිලිබඳ විවේචනයකට ප්‍රතිපදානයක්” කෘතියෙහි පෙරවදනෙහි සැබවින් ම ලියා ඇත්තේ, “මනුෂ්‍ය වර්ගයා තමන්ට විසඳිය හැකි කාර්යයන් පමනක් තමන් ඉදිරියේ තබා ගන්නා” බව ය — එනම්, ගැටලුවක් විසඳීමට අවශ්‍ය ද්‍රව්‍යමය කොන්දේසි දැනටමත් පවතින විට පමනක් එය මතු වන බව ය. මෙය විප්ලවීය නිගමනයකි: ධනවාදය අහෝසි කිරීමට අවශ්‍ය කොන්දේසි දැනටමත් පරිනත වී ඇත. ලාල්කාන්ත මෙම අදහස උඩු යටිකුරු කර, “ප්‍රශ්න විසඳුවත් තව ප්‍රශ්න එනවා” යන අදහසින් අසීමිත කල් දැමීම සාධාරනීකරනය කරයි. මෙය, මාක්ස්ගේ විප්ලවීය ක්‍රමවේදය, ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කිරීමේ මතවාදයක් බවට පරිවර්තනය කිරීමකි.

තම කතාව අවසානයේ දී කම්කරුවන් ගැන කතා කරමින්, “ඔබේ ප්‍රශ්නය අපි නියෝජනය කරනවා” යනුවෙන් ලාල්කාන්ත කල ප්‍රකාශය මුලුමනින් ම කුහක ය. ඔහු සැබවින් ම අදහස් කලේ කම්කරු පන්තිය ගැන නොවේ.  අයිඑම්එෆ් කප්පාදු ක්‍රියාත්මක කරන, රාජ්‍ය ව්‍යවසාය වසා දමන, වැඩ වර්ජන තහනම් කරන, මිලිටරිය යොදවා කම්කරු අරගල බිඳ දමන ආන්ඩුවක් ඇත්තට ම නියෝජනය කරන්නේ මූල්‍ය ප්‍රාග්ධනයේ සහ ඒවායේ හිමිකරුවන් වන අතලොස්සක් ධනපති පන්තියේ අවශ්‍යතාවන් ය.  

කම්කරුවන්, ජවිපෙ/ජාජබ වැටුප් කොමිෂන් උගුලට හසු නොවිය යුතු ය. ජවිපෙ/ජාජබ ආන්ඩුවට, වැටුප් කොමිසමට හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට තම වැටුප් ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ට ඒවා දිනා ගත නොහැක. 

සමාජවාදී සමානතා පක්ෂය, නොවැම්බර් 21 දා නිකුත් කල ප්‍රකාශයේ සඳහන් වන පරිදි, “ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ සමස්තයක් ලෙස ධනේශ්වර පාලනයට එරෙහි දේශපාලන අරගලයක් අවශ්‍ය වේ. එම අරගලයේ අරමුන විය යුත්තේ සමාජවාදී ප්‍රතිපත්තිවලට කැප වූ කම්කරු සහ ගොවි ආන්ඩුවක් ස්ථාපිත කිරීමයි. එ වැනි ආන්ඩුවක් බැංකු, ප්‍රධාන වතු සහ සමාගම් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරමින්, පෞද්ගලික ලාභයට ඉහලින් වැඩකරන ජනතාවගේ සමාජීය අවශ්‍යතා තබනු ඇත.”

එම වැඩපිලිවෙල මත පාදක වූ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සෑම වැඩපොලක ම ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගත් සාමාන්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගමින්, අරගලය තමන්ගේ ම අතට ගත යුතු ය.

Loading