කහටගහ පතලේ කම්කරුවෝ රැකියා හා වැටුප් කැපීමේ සැලසුමට විරෝධය දක්වති

කොවිඩ්-19 වසංගතය පහ ව යාමට මත්තෙන් ධනපති නිෂ්පාදනය යලි ඇරඹීමට ආන්ඩුව හා මහා ව්‍යාපාර ගෙන ඇති තීන්දුව අනුව රජය සතු සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා සතු කහටගහ පතලේ ද වැඩ යලි ආරම්භ කර ඇත. එහෙත්, “සමාජ දුරස්ථකරනයන් පවත්වා ගැනීමේ විධානයන්” නමින් කලමනාකාරිත්වය රැකියා හා වැටුප් කැපීමේ සූක්ෂම සැලසුමක් ක්‍රියාවට දැමීම නිසා කම්කරුවන් අතර බරපතල නොසන්සුන්තාවක්  පැන නැගී ඇත. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ලංකාවේ ද ලෝක පරිමානව ද,  කොවිඩ්-19 වසංගතය රුදුරුලෙස  ජීවිත බිලිගනිද්ද්දී  ආර්ථිකය විවෘත කිරීමේ තීන්දුව ප්‍රකාශකලේ අප්‍රේල් 20 දා ය. මෙය, කම්කරුවන්ගේ ජීවිත නොතකා, බොහෝකොට ඇනහිටුනු නිෂ්පාදනය අරඹා ලාභ සූරා ගැනීම යලි පන ගැන්වීමට ඇමරිකාව හා අනෙකුත් මහා ධනපති රටවල පටන් ලෝකය පුරා පාලක පන්තීන්  ගෙනයන දුෂ්ට වැඩපිලිවෙල අනුව සිදුවේ. 

විදේශ වත්කම් සිඳී, නය බර උග්‍රවී, ආර්ථිකය ද පහත වැටෙන කොන්දේසි තුල විශේෂයෙන් අපනයන ඇරඹීමට ආන්ඩුව මංමුලා සහගතව ක්‍රියා කරයි. 

පතලේ කම්කරුවෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෙකුට සඳහන් කලේ  130 දෙනෙකු පමන වන කම්කරුවන් සියලු දෙනා සාමාන්‍ය පරිදි එක් වැඩ වැඩමුරයකට කැඳවනු වෙනුවට සුපුරුදු වැඩ කාලයෙන් පසු සවස තවත් වැඩ මුරයක් ද අරඹා ඇති බවයි. ඒ අනුව, එක් වැඩ මුරයකට කම්කරුවන් විසි දෙනෙකු පමන කැඳවා වැඩමුර දෙකක් දිනකට පැවැත්වේ. මෙය ක්‍රියාත්මක කලවිට එක කම්කරුවෙකුට වැඩ ලැබෙන්නේ දින තුනකට වරක් පමනි.

මෙය වනාහි වැටුප් ද රැකියා ද කැපීමේ සුක්ෂම වැඩපිලිවෙලකි.    ප්‍රෝඩාකාරී ලෙස එය ක්‍රියාවට දමා ඇත්තේ “සමාජ දුරස්ථකරනයන් පවත්වා ගැනීමේ විධානයන් ” ක්‍රියාත්මක  කිරීමේ නමිනි. 

මාර්තු 20 වැනි දා, පතලේ වැඩ ආරම්භ කිරීමට නියමිත ව පැවතියත් හිඟ වැටුප් සහ මේ ජනවාරියේ වර්ජනයේදී ඉල්ලීම් ද නොලැබුනු තත්ත්වයක් තුල බොහෝ කම්කරුවෝ යලි වැඩ කිරීම ප්‍රතික්ෂේප කලහ. කොවිඩ්-19 ව්‍යාප්තිය වැලැක්වීමට ඇඳිරි නීතිය පැනවීමත් සමග ම පතලේ ද වැඩ නැවතුනි. 

වැඩ නොකල දිනවලට කම්කරුවන්ට මූලික වැටුප ගෙවූව ද එය ප්‍රමානවත් නොවන බව කම්කරුවෝ පවසති.  දීමනා ලෙස  හිඟ රුපියල් 6,500ක් පමන වන මුදලක් ද තමන්ට ලැබිය යුතු බව ඔවුහු පෙන්වා දෙති. හැම තැනක ම පාහේ කම්කරුවන් ජීවත් වීමට අවශ්‍ය අවම වැටුපක් පවා සරිකර ගන්නේ අනෙකුත් දීමනා හා අතිකාල ගෙවීම් ලබා ගැනීමෙනි. 

පසුගිය බ්‍රහස්පතින්දා සිට වසංගතයේ අනාරක්ෂිත කොන්දේසි මැද, කම්කරුවන් ස්වල්ප දෙනෙකු පමනක් යොදා ගෙන වැඩ කරගෙනගියත් කම්කරුවන් බොහෝ දෙනෙක් තවමත් සේවයට වාර්තා නොකරති. මේ සතියේ දී හිඟ වැටුප් ගෙවන බවට පතල් පරිපාලනය එකඟ ව ඇත. කලමනාකරිත්වයේ පොරොන්දු ගැන අවිශ්වාසයෙන් පසුවන කම්කරුවන් පැවසුවේ ඉල්ලීම් නොලැබුනොත් තමන් “නිකං ම යටත් වීමට ද සූදානම් නැති” බවයි. 

ජනවාරි වර්ජනය ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහි ව මේ වසරේ පැන නැගුනු පලමු වැනි පන්ති අරගලයයි. ප්‍රධාන ධනපති පක්ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ-ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනු හවුලට සහ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති දෙකට පිටින් කම්කරුවෝ අරගලයට අවතීර්න වූහ. ඔවුන්ගේ ඉල්ලීම් රුදුරු සේවා කොන්දේසිවලට එරෙහි ව කෙරුනු අරගලයක් විය. 

කහටගහ පතලේ කම්කරුවන් සමිතිවලට පිටින් අරගලයට ඒම සමපාත වූයේ ජාත්‍යන්තරවම කම්කරු පන්තිය  සමිති නිලධරයට එරෙහි වෙමින් හා සමිතිවලට පිටින් අරගලවලට පැමිනීම සමගයි. එය තම පන්ති අවශ්‍යතාවන් ආරක්ෂා කර ගැනීමට කම්කරුවන් ස්වාධීන ව සංවිධානය වීමට ගන්නා ආරම්භකත්වයකි.

ආන්ඩුව සහ පතල් පරිපාලනය, කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද සහය ඇති ව කම්කරුවන්ගේ අරගලය යට ගැසීමට කටයුතු කලේ සොච්චම් රුපියල් 50කින් දිනක වැටුප් වැඩි කර පෙබරවාරි 28 සියලු ඉල්ලීම් ලබා දෙන බවට බොරු පොරොන්දු දෙමිනි.  ආන්ඩුවේ හොරනෑවක් වන සිලුමින පුවත්පත වාර්තා කලේ ඉතිහාසයේ ප්‍රථම වරට ඇමතිවරයෙක් සියලු ම ඉල්ලීම් ලබා දී “සරල සාකච්ඡාවකින්” ගැටලු සියල්ල විසඳූ බවයි. පුවත්පත එලෙස සඳහන් කලේ වානිජ හා කර්මාන්ත ඇමති විමල් වීරවංශ පුද්ගලිකවම අරගලය ලොප් කිරීමට මැදිහත් වීම ගැනයි. 

කම්කරුවන්ගේ ඉල්ලීම් කුනු කුඩයට දැමූ වීරවංශ, කහටගහ පතලේ මිනිරන්, අගය එකතු කිරීමේ (value added) ව්‍යාපෘතියක් බවට පත්කිරීමට රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ඇතිකිරීම සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කර සම්මත කර ගත්තේ ය. 

මෙම පියවර ගනු ලැබුවේ, ඇමරිකා එක්සත් ජනපදය චීනයට එරෙහි වෙලඳ යුද්ධය තීව්‍ර කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ලංකාවේ මිනිරන් කෙරෙහි අලුත් උනන්දුවක් වර්ධනය වී ඇති තත්ත්වයකය. 

ලංකා ග්‍රැෆයිට් සමාගමේ විධායක අධ්‍යක්ෂ භාරට් පරශාර් 2019 මාධ්‍යයට දුන් සම්මුඛ සාකච්චාවකදී මේ නව උනන්දුව ගැන සඳහන් කර ඇත. ඒ අනුව අනුප්‍රාප්තික ආන්ඩුවල අනුග්‍රහය යටතේ විදේශ පතල් සමාගම් නැවතත් ලංකාවේ මෙහෙයුම් අරඹමින් සිටී.

දැන් කොරෝනා වෛරස් වසංගතය නිසා උද්ගතවී ඇති ආර්ථික කඩාවැටීම් මධ්‍යයේ රැකියා, වැටුප් හා අනෙකුත් කොන්දේසි කපා හැර සූරාකෑම උග්‍ර කිරීමේ සැලසුම් කහටගහ පතල සම්බන්ධයෙන් අලුත් වටයකින් ක්‍රියාවට දමන්නට යයි. පතල පුද්ගලීකරනයේ සැලසුම් මේ පිටුපසින් එනු ඇත. මෙම ප්‍රහාර ලංකාවේ අනෙකුත් තැන්වල මෙන්ම ජාත්‍යන්තරව ම ක්‍රියාවට දමමින් පවතී. 

ඊයේ ජනාධිපති නිකුත්කල නිවේදනයක සඳහන් වූයේ  ආයතන ප්‍රධානියාට වැඩට කැඳවන සේවකයන් ප්‍රමානය  තීන්දු කිරීමේ බලය ඇති බවයි.  පඩිපත කැපීම, ඊටීඑෆ් හා ඊපීඒෆ් විශ්‍රාම වැටුප්  වලට දායක මුදල් දීම නතර කිරීම සමාගම් විසින් යෝජනා කර දැනටමත් ක්‍රියාවට දමන්නට පටන් ගෙන ඇත.    

කොවිඩ්-19 ගෝලීය වසංගතයේදී සෑම රටකම ධනපතියන්ගේ ප්‍රතිචාරය  කම්කරුවන්ගේ ජීවිත බිල්ලට දී තම පන්තියේ අවශ්‍යතා රැක  ගැනීමයි. මහජනතාව මෙම රෝගයෙන් ගලවා ගැනීම පසෙක තිබිය දී ලෝකයේ ම පාලක පන්තීන් එය නින්දිත ආකාරයෙන් ගසා කමින් සිටින්නේ මෙම ප්‍රහාර පැටවීමට කම්කරු පන්තියට එරෙහි ආඥාදායක පාලන තන්ත්‍රයන් ඇටවීම සඳහායි. ලංකාවේ ජනාධිපති රාජපක්ෂ රටේ පාලනයේ මුදුන්වලට විශ්‍රාමික හා සේවයේ සිටින ඉහලම මිලිටරි නායකයන් පත්කර එවැනි ආඥාදායක පාලනයක් සුදානම් කරමින් සිටී. 

කහටගහ පතලේ කම්කරුවන් තමන් මෙන්ම ප්‍රහාරයට ලක්ව සිටින අනෙකුත් අංශවල ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් වෙතට හැරී රැකියා, වැටුප්, අනෙකුත් කොන්දේසි රැක ගැනීමේ  අරගලයකට සූදානම් විය යුතුය. ජනවාරි මාසයේ පතලේ ස්ට්‍රයික් සටනට මැදිහත් වෙමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) එම වැඩපිලිවෙල අවධාරනය කර ඇත. එම වැඩපිලිවෙලේ අවශ්‍යතාව දැන් තරයේම සනාථ වී ඇත. 

වෘත්තීය සමිති කරන්නේ ආන්ඩුවේ හා ධනපති සමාගම්වල උවමනාවන් කම්කරුවන් මත පැටවීමයි. කම්කරුවන් තම අයිතීන් සඳහා අරගලය තීන්දු කිරීමට සමිතිවලින් ස්වාධීනව, නිලධරය වැද්ද නොගෙන  කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ය. එමගින්, ලංකාවේ හා ජාත්‍යන්තරව අවශේෂ කම්කරුවන් සමග එකමුතුව ගොඩ නගා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. 

අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩකිරීම කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතුය. රැකියා, වැටුප් හා අනකුත් දීමනා කප්පාදුවට එරෙහිව අරලගලය සංවිධානය කිරීම අවශ්‍ය ය. 

ප්‍රකෝටි ගනනින් ලාභ ගරාගත් සමාගම්, බැංකු හා ඒවා වෙනුවෙන් ක්‍රියා කරන ආන්ඩුව මෙම ඉල්ලීම් දීමට මුදල් නැතැයි   කියනු නිසැක ය. ආන්ඩුව ඒ වෙනුවට බිලියන ගනන්  මුදල්  මේ ධනපතියන්ට සපයමින් සිටී. 

කම්කරුවන්ට තමන්ගේ අයිතීන් රැකගැනීමට නම් ධනපතියන් අතේ පවතින දේපොල අල්ලාගෙන ඒවා සිය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නතුකරමින් ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමට සිදුවේ. එවන් වැඩපිලිවෙලක් ක්‍රියාවට දැමිය හැක්කේ කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක්  බලයට ගෙන එ්ම මගිනි. මෙම අරගලය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසකි.  

කතුවරයා මෙම ලිපි ද කියවන ලෙස ඉල්ලා සිටි:  

කහටගහ පතල් කම්කරුවෝ සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කල යුතු ය

ආපසු වැඩට දැක්කීමේ ව්‍යාපාරය කෙරෙහි විරුද්ධත්වය නැඟී එද්දී   ට්‍රම්ප්, මස් ඇසුරුම් කම්කරුවන්ට ආපසු වැඩට ඒමට නියෝග කරයි

ශ්‍රී ලංකාව: ජනාධිපතිවරයා ආඥාදායක පාලනය ස්ථාපනය කිරීමට පවුරු බඳී

Loading