“සංචරන සීමා” කඩ කලේ යැයි කියමින් මිලිටරිය එරාවුර්හි දී සිවිල් වැසියන්ට හිරිහැර කරයි

පසුගිය සති අන්තයේ එරාවුර් නගරයේ දී සන්නද්ධ මිලිටරි භට කන්ඩායමක් විසින්, සිවිල් වැසියන් කීප දෙනෙකු දන්ඩනයට ලක්කොට තිබෙන ආකාරය දැක් වෙන ඡායාරූප කීපයක් සමාජ මාධ්‍ය හරහා සීග්‍රයෙන්සංසරනය විය. “සංචරන සීමා කඩ කලේ ය” යන වරදට, දෑත් ඉහලට ඔසවා පදික වේදිකාවේ දනගසා සිටීමට මිලිටරිය ඔවුනට නියම කර ඇත.

මෙය, ඊනියා සංචරන සීමාවන් ක්‍රියාවට දැමීමක මුවාවෙන් මහජනතාවට එරෙහි ව දිවයින පුරා දියත් කර ඇති පොලිස් මිලිටරි අඩන්තේට්ටම්වල කුරිරු බව දැක්වෙන එක් සිද්ධියකි. තවමත් මිලිටරි වාඩිලා ගැනීමක් පවතින උතුරු නැගෙනහිර පලාත්වල මෙ බඳු ක්‍රියාවන් ඉවබව නැතිව ඉස්මත්තට ගැනෙයි.

එරාවුර් නගරයේ දී මිලිටරිය විසින් දන ගස්වනු ලැබූ සිවිල් වැසියෝ

කෙසේ නමුත්, මෙම ක්‍රියාව සමාජ මාධ්‍ය හරහා පුලුල් පිරිසකට අනාවරනය වීමත් සමග ම ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට යුද හමුදාවට සිදු ව ඇත. “හමුදාවේ කීප දෙනෙකුගේ නොමනා හැසිරීමක් යැයි වාර්තා වෙන” මේ සිද්ධිය “හමුදාවේ කීර්ති නාමයට කැලලක් බව” එම ප්‍රකාශය සඳහන් කරයි.

හමුදා ප්‍රකාශය වාර්තා කරන ලංකාදීප පුවත්පතට අනුව සිද්ධියට සම්බන්ධ හමුදා කන්ඩායමට සහ නිලධාරියාට වහා ම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇත. 'සිද්ධිය සැල වූ වහා ම හමුදාපතිගේ නියමයෙන් මිලිටරි පොලිසිය පරීක්ෂනයක් අරඹා ඇති' බවත් එම පරීක්ෂනයෙන් අනතුරු ව අදාල හමුදා කන්ඩායමට එරෙහි ව 'උපරිම ක්‍රියා මාර්ග ගන්නා බවත්' හමුදා ප්‍රකාශක සඳහන් කරයි.

කෙසේ නමුත් මෙම සිවිල් වැසියන් නිරෝධායන නීති නොතකමින් නගරයේ සැරිසැරූවන් බවටත්, එම නගරයේ නගරාධිපතිවරයා ද සංචරන සීමා කඩකරන්නන් සම්බන්ධයෙන් සොයා බලන ලෙස හමුදාව දැනුවත් කර තිබූ බවටත් ඔහු කරන ප්‍රකාශය මෙම ක්‍රියාව ‘සංචරන සීමා’ කඩ කරන්නන්ට ලැබුනු දඬුවමක් ලෙස සාධාරනීකරනයට අනියමින් දැරෙන වෑයමකි.

මෙම සිදු වීමේ දී හිංසනයට ලක් වූ අයෙකු වන ඉස්මයිල් මර්සූක් (44) මිලිටරි ග්‍රහනයට අසු ව ඇත්තේ තමන් පීඩා විඳින දියවැඩියා රෝගයට ඖෂධ සහ ආහාර සඳහා සහල් මිල දී ගැනීමට පා පැදියෙන් යමින් සිටිය දී ය.

“මම මගේ හිස් බේත් පෙට්ටිය පෙන්නුවත් මා කී දේ නොතකා ම සෙබලු මට අත් උස්සා ගෙන අනික් අයත් සමග දන ගැසීමට නියම කලා. මම රෝගියෙකු බවත් රෝගීන්ට බේත් ලබා ගැනීමට පිටතට යෑමට අවසර දී ඇති බවත් ඔවුන්ට පැහැදිලි කිරීමට උත්සහ කලා. නමුත් මේ කිසිවක් මායිම් නොකල ඔවුන් මට සතෙකුට වගේ දිගට ම පහර දුන්නා.” යනුවෙන් ඔහු ද හින්දු පුවත්පතට තම අත්දැකීම විස්තර කර තිබුනි.

ජූනි 08 වැනි දා යාල් තිනක්කුරල් ද මෙ බඳු ම අමානුෂික ක්‍රියාවක් වාර්තා කර තිබුනි. යාපනය දිස්ත්‍රික්කයේ පුන්නාලෛක්කට්ටුවන් උතුර කප්පන්බුල ගමේ පවුල් 10කට වැඩි සංඛ්‍යාවකට වැසිකිලි පහසුකම් නැත. එනිසා ඔවුන් උදෑසන ශරීර කෘත්‍යයන් සඳහා යන්නේ අසල පිහිටි තල් රුප්පාවකට ය. ජූනි 07වැනි දා, උදෑසන අයෙකු ශරීර කෘත්‍යය සඳහා බැහැර යන අවස්ථාවේ දී අසල සිටි ආරක්ෂක නිලධාරීන් පිරිසක් ඔහුව නතර කොට “තමුසේ කොහේ යනවාදැයි” විමසා ඇත. පිලිතුරු දීමට ඉඩක් නොතබා ම පිටු පසින් පැමිනි තවත් නිලධාරියෙකු ඔහුට “ගෙදෙට්ට දුවපන්” යැයි කියමින්, කේබල් වයරයකින් පහර දී ඇත. ඉන් ඔහුට බරපතල තුවල සිදු ව තිබේ.

පහර කෑ තැනැත්තා මෙසේ ද පවසා ඇත: “යුද්ධ කාලයේ දී මගේ කකුලක් තුවාල වුනා. හිසේ තවමත් ඉවත් නොකල උන්ඩයක් ඉතුරු ව තියෙනවා. මෙ ලෙස යුද්ධයෙන් පීඩා විඳි ප්‍රදේශයක ජීවත් වන අපට වැසිකිලයක්වත් ගොඩනගා ගැනීමට හැකියාවක් නෑ. බලධාරීන් කිසිවක් නොකරන නිසා අපට කැලෑවකට යාම හැර වෙන විසඳුමක් නෑ. එ බඳු තත්ත්වයක ඉන්න මට සිදු කල පහර දීම නිසා සෑහෙන්න සිත් වේදනාවකට පත් ව ඉන්නවා”

වසංගතය ව්‍යාප්ත වීමට සැබෑ හේතුව, මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් මහ ධනපතියන්ගේ ලාභ තබා ඇති රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී පිලිවෙතයි. එම පිලිවෙත මත, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා අඛන්ඩ ව පවත්වා ගෙන යමින් වසංගතය ව්‍යාප්ත කලේ මහජනතාව නොව ආන්ඩුවයි.

දිවයින පුරා වසංගත ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථාන බවට පත් ව ඇති ඇඟලුම් කම්හල් ඇතුලු සියලු ම වැඩපල පූර්න රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වෙන අතර, සොච්චම් දෛනික ආදායමකින් පන ගැටගසා ගන්නා දුගීන් තම යැපුම් මාධ්‍ය සම්පාදනය කර ගැනීමට මගක් සොයමින් වීදී බසිද්දී පොලිසිය ඔවුන් අල්ලා දඬු ගසයි. ධනපති මාධ්‍ය ඔවුන් වසංගත ව්‍යාප්තියට වගඋත්තරකරුවන් ලෙස ලෝකයට ම පෙන්වන්නේ ව්‍යසනයේ වගකීම මහජනයා මත පැටවීමටයි.

කොවිඩ්-19 මර්දනය කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු සමස්ත මිලිටරිය සහ පොලිසිය වැඩකටයුතු කරමින් සිටින්නේ ආන්ඩුවේ සාපරාධී ප්‍රතිපත්තිය පෙරට ගෙන යාමට මිස වසංගතය මර්දනය කිරීමට නොවේ. මේ වන විට, සමස්ත ආන්ඩුව ම වඩාත් විවෘත ව සෞඛ්‍ය විශේෂඥයන්ට තර්ජනය කරමින් ඔවුන් සමග ගැටුමකට ගොස් ඇත.

මෙම මස මුල දී පැවැත් වුනු ආයෝජක සමුලුවක දී ජනාධිපති රාජපක්ෂ තම ආන්ඩුව “ආයෝජක ගැති-මහ ව්‍යාපාර ගැති ආන්ඩුවක්” බව මහ ධනපතියන් ඉදිරියේ යලිත් අවධාරනය කලේ ය. ඔහු සමග එක්වෙමින් හමුදාපති සිල්වා “අපි කොවිඩ්-19 පාලනය කිරීමට සංචරන සීමා පැන වූවත් කිසිදු විටක රටේ ආර්ථික සහ එයට සම්බන්ධ ක්‍රියාවන් වසා දැමීමට කටයුතු කලේ නැති බව අවධාරනය කිරීමට කැමතියි” යනුවෙන් ප්‍රකාශ කලේ ය.

සෞඛ්‍ය අංශය ද ඇතුලු ව රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර ගනනාවක වැඩ වර්ජන නීතිවිරෝධී කරමින් ජනාධිපති රාජපක්ෂ විසින් අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවනු ලැබ ඇති අතර ඇඟලුම් කම්හල් සහ වතුකරය ද ඇතුලු ව පෞද්ගලික අංශවල ද එබඳු ප්‍රතිපත්තියක් අප්‍රකාශිත ව ම පවත්වා ගෙන යනු ලබන්නේ අවශ්‍ය නම් කම්කරුවන් බලාත්කාරයෙන් වැඩට කුදලා ගෙන ඒමේ අරමුනෙනි.

විදේශ විනිමය සංචිතවල හිඟය නිසා ඛනිජ තෙල් මිල සැලකිය යුතු ලෙස මෙම මාසයේ දී ආන්ඩුව විසින් ඉහල දමනු ලැබුවේ සියලු ම ජීවන වියදම් හැල්මේ ඉහල නංවමිනි. මෙය කම්කරු-පීඩිත මහජනතාවගේ විරෝධතා පුපුරා යාමට වැඩි දුර කොන්දේසි සකසා ඇත.

ජනාධිපති රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය මුහුන දී සිටින උග්‍ර දේශපාලන අර්බුදයට විසඳුම් සොයන්නේ මිලිටරිය මත පාදක වූ ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩ නගමිනි. ඉහල යන පොලිස්-මිලිටරි ප්‍රචන්ඩ ක්‍රියා වනාහි, කැකෑරෙන සමාජ කෝපය පුපුරා යාම වලක්වනුවස් මහජනතාව බිය වැද්දීමට කෙරී ගෙන යන වැඩපිලිවෙලක කොටසකි.

මේ පසුබිම තුල අධිකරන ක්‍රියාවලියකින් තොර ව සැකකරුවන් ඝාතනය කිරීමේ රැල්ලක් පොලිසිය නැවත ක්‍රියාවට දමා ඇති අතර, මේ මාසය තුල දී පොලිස් අත් අඩංගුවේ දී සැකකරුවන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇත. මේ අතර එරාවුර් පොලිස් අත්තඩංගුවේ දී ජීවිතක්ෂයට පත් වූ විදූශන් නම් 21 හැවිරිදි තරුනයා ද වෙයි. දෙ දෙනෙකු ම මරා දමනු ලැබුනේ ‘සංචරන සීමා’ උල්ලංඝනය කිරීමට පොලිස් අත් අඩංගුවට පත් ව සිටිද්දී ය.

මෙම පොලිස්-මිලිටරි විධික්‍රම විසි හය වසරක සිවිල් යුද්ධය තුල දී කොලඹ ආන්ඩු විසින් දෙමල ජනතාවට එරෙහි ව වර්ධනය කෙරුනු මර්දන යාන්ත්‍රනය තුල වර්ධනය කෙරුනු ඒවාය. දැන් මෙම මර්දන උපකරනය සමස්ත මහජනතාවට ම එරෙහි ව එල්ල කර ඇත.

වසංගතය ව්‍යසනකාරී මට්ටමකට වර්ධනය වීමට ඉඩදුන් ආන්ඩුව මිලිටරීකරන වැඩකටයුතු වේගවත් කිරීම සම්බන්ධයෙන් මහජනයා තුල කෝපයක් අවුලුවා ඇත. එරාවුර් හි මිලිටරි ක්‍රියාව එම භටයන්ගේ වරදක් ලෙස පිලිගනිමින් මිලිටරියට ප්‍රකාශයක් නිකුත් කර ඇත්තේ, ප්‍රධාන වශයෙන් ම එම කෝපය අපසරනය කිරීමේ අරමුනෙනි.

මෙම සිද්ධියට සම්බන්ධ මිලිටරි අයවලුන්ට “දැඩි දඬුවම්” ලබා දෙන බවට සිදු කරන ප්‍රකාශ ද ව්‍යාජයන් ය. ජනාධිපති රාජපක්ෂ බලයට පත් වූ විගස, යුද අපරාධ චෝදනාවලට අධිකරනයෙන් වරදකරුවකු වූ මිරුසුවිල් ඝාතක සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කලේ ය. තරුනයන් පිරිසක් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අද්මිරාල් වසන්ත කරන්නාගොඩට එල්ල වී තිබූ නඩු අත්හිටවනු ලැබූ අතර යුද අපරාධ සම්බන්ධ නඩු කටයුතුවලට සම්බන්ධ වී සිටි නීතිඥයන්ට තර්ජන එල්ල කෙරී ඇත.

Loading