මහජන විරෝධතා අතරතුර ශ්‍රී ලංකා පොලිසිය විසින් ඝාතනය කරන ලද චමින්ද ලක්ෂාන්ට දහස් ගනන් ගෞරව දක්වති

[මෙය Thousands pay their respects to Chaminda Lakshan, killed by Sri Lankan police during mass protests මැයෙන් 2022 අප්‍රේල් 25 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය අඟහරුවාදා, කොලඹට කිලෝමීටර් 95 ක් පමන ඊසාන දෙසින් පිහිටි රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවයක් අතරතුරදී ශ්‍රී ලංකා පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද චමින්ද ලක්ෂාන්ගේ අවමංගල්‍යය සෙනසුරාදා පැවති අතර, එයට 500 කට අධික පිරිසක් සහභාගි වූහ. දේහය පිලිබඳ අවසන් කටයුතු ලක්ෂාන්ගේ උපන් ගම වන කරඳගස්තැන්න ආසන්නයේ, රඹුක්කන නාරංබැද්ද හිරිවඩුන්න ප්‍රදේශයේදී පැවැත්විනි.

චමින්ද ලක්ෂාන්ගේ නිවසේ තැන්පත් කර තිබූ ඔහුගේ දේහය[ලෝසවෙඅ මාධ්‍ය]

ඔහුගේ බිරිඳ ප්‍රියංගනී, දියනිය පියුමි උපේක්ෂා, පුතා තනූෂ සහ ඔහුගේ නැන්දම්මා ඇතුලු පවුලේ, එකම දිවි පෙවෙත රකින්නා වූයේ ලක්ෂාන් ය. සිකුරාදා ඔහුගේ දේහය කෑගල්ල රෝහලෙන් රැගෙන ඒමෙන් පසු කෝපයට පත් ප්‍රදේශයේ දහස් සංඛ්‍යාත ජනතාව ඔහුගේ නිවසට පැමින ඇත.

පෙට්‍රල් බෙදාහැරීම ප්‍රමාද කිරීමට සහ ඊට කලින් දින ප්‍රකාශයට පත් කල පෙට්‍රල් සහ ඩීසල් මිල තියුනු ලෙස ඉහල නැංවීමට විරෝධය පල කරමින් රඹුක්කන ප්‍රදේශයේදී විරෝධතාවේ යෙදුනු නිරායුධ පුද්ගලයන්ට පොලීසිය කල වෙඩි තැබීමෙන් හතලිස් හැවිරිදි ලක්ෂාන් මිය ගියේය. ප්‍රධාන මහාමාර්ග සහ දුම්රිය මාර්ගයක් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන්ට පොලිසිය විසින් මෙම අමානුෂික ප්‍රතිචාරය දැක්වීය. පොලිසිය මුලින්ම දහවල් යාමයේ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කල අතර පසුව කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව හදිසියේ ම ජීව උන්ඩවලින් වෙඩි තබා ඇත.

චමින්ද ලක්ෂාන්ගේ දියනිය (මැද) [ලෝසවෙඅ මාධ්‍ය]

රඹුක්කන විරෝධතාව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාවගේ සහභාගිත්වයෙන් රටපුරා පැවැත්වෙන විරෝධතාවල කොටසකි. සති තුනක පමන කාලයක් අඛන්ඩ ව පවතින මහජන විරෝධතා, ඉහල යන උද්ධමනය, ආහාර, ඖෂධ, ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ දෛනික විදුලි කප්පාදුව සම්බන්ධයෙන් පුපුරා ගියේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ වැඩිමහල් සොයුරු අගමැති මහින්ද රාජපක්ෂ, පොලීසිය වෙඩි තැබීමෙන් පසු දින, ප්‍රචන්ඩත්වය සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ට දොස් පවරමින් සහ දරුනු පොලිස් ප්‍රහාරය සාධාරනීකරනය කරමින් ට්විටර් පනිවිඩ නිකුත් කලහ.

චමින්ද ලක්ෂාන්ගේ අවමංගල්‍යයට රැස්ව සිටින ජනතාව [ලෝසවෙඅ මාධ්‍ය]

'නීතිය හා සාමය පවත්වාගෙන යාමට' පොලීසියට සහය වීමට අවශ්‍ය බව කියමින් ජනාධිපති රාජපක්ෂ, අප්‍රේල් 21 සිට 23 දක්වා සන්නද්ධ හමුදා, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් රඹුක්කන සහ යාබද පොලිස් ප‍්‍රදේශවලට යෙදවීමට නියෝග කලේ ය. විවෘත ව නොපෙනුනත්, හමුදාව වහා ම බලමුලු ගැන්වීම සඳහා ආසන්න ස්ථාන කිහිපයක සූදානමින් තබා තිබුනි. රාජපක්ෂ විසින් මිලිටරිය යෙදවීම ප්‍රදේශයේ සහ රට පුරා ජනතාව බිය ගැන්වීමේ රුදුරු උත්සාහයකි.

ලක්ෂාන්ගේ බිරිඳ වන ප්‍රියංගනී ලෝසවෙඅ වෙත පැහැදිලි කලේ, තම සැමියාට වෙඩි වැදී තුවාල ලබා කෑගල්ල රෝහලට ගෙන ගොස් ඇති බව තමාට දැනගන්නට ලැබුනු බවයි. ඇය ඉක්මනින්ම එහි ගිය නමුත් ඔහුව සොයා ගැනීමට නොහැකි වූ අතර ආපසු නිවසට පැමිනියා ය. ඇගේ සැමියා මිය ගිය බව පසුව දැනගන්නට ලැබුනි.

“සිද්ධිය වෙච්ච දවසේ රෑ සන්නද්ධ සෙබලුන් 20 ක් විතර ආවා. මම ඇහුවා ඇයි එයාලා [අපේ ගෙදර] ආවේ කියලා? මට උදව් කරලා කෑම බීම සපයන්න ඕන කිව්වා. ඔවුන් කූඩාරම් සවි කලා. ඔවුන්ගේ සහය අවශ්‍ය නැති බවත්, මෙම සිද්ධිය යටපත් කිරීම සඳහා යම් යම් දේවල් ලබාදීම කිසියම් සැලසුමක් විය හැකි බවත් පසුව මට තේරුනා” යැයි ඇය පැවසුවා ය.

වම් පස පලමුවැන්නා චමින්ද ලක්ෂාන්ගේ බිරිඳ ප්‍රියංගනී ය. [ලෝසවෙඅ මාධ්‍ය]

“පහුවෙනිදා මම එයාලට යන්න කිව්වා, පස්සේ එයාලා ගියා. ඔවුන් පැමිනියේ [කෑගල්ලට ආසන්නයේ පිහිටි] බෙරගල හමුදා කඳවුරෙන්. මට අවශ්‍ය නැහැ මෙවැන්නක් [මෙවැනි මිනීමැරුමක්] නැවත [මේ රටේ] සිදු වෙනවා දකින්න,” යැයි ඇය පැවසුවා ය.

අප්‍රේල් 21 වැනි දා තමා මහේස්ත්‍රාත් පරීක්ෂනයක් සඳහා අධිකරනයට ගිය බවත් ඇය වෙනුවෙන් නීතිඥවරුන් 107 දෙනෙකු පෙනී සිටි බවත් ඇය පැවසුවා ය.

කරඳගස්තැන්න පවුල් 50 ක් පමන ජීවත්වන දුගී ගම්මානයකි. බොහෝ නිවෙස්වල ඇත්තේ කුඩා කාමර දෙක තුනක්, ඉස්තෝප්පුවක් සහ කුස්සියක් පමනි. 1981 වසරේ ආන්ඩුවෙන් මෙම ගම්වාසීන්ට අක්කර භාගයක ඉඩමක් බැගින් ලබාදී ඇත. නිවැසියන් ප්‍රධාන වශයෙන් කුඩා ගොවීන්, එදිනෙදා අනියම් රැකියා කරන කම්කරුවන් සහ සමහර රාජ්‍ය අංශයේ සේවකයින් වේ. ගමේ තරුනයන්ගෙන් බහුතරයක් රැකියා විරහිතයින් ය. පිලිවෙලින් කිලෝමීටර් 5 ක් සහ 10 ක් දුරින් පිහිටි රඹුක්කන සහ කෑගල්ල රෝහල් ආසන්නතම රෝහල් වන අතර ආසන්නතම ප්‍රාථමික පාසල අසල ගම්මානයක් වන හල්පිටියේ පිහිටා ඇත.

එරන්ද චින්තක ලෝසවෙඅ වෙත කියා සිටියේ, ඔවුන් රැයක් පුරා පෝලිම්වල සිටියද ඉන්ධන පිරවුම්හල් කලමනාකාරීත්වය පෙර දින මිලට ඉන්ධන සැපයීම ප්‍රතික්ෂේප කල බව ය. පොලිසිය වෙඩි තැබූ දිනයේ ඔහු තම වෑන් රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හලෙන් පිටත පෝලිමේ සිට ඇත.

එරන්ද චින්තක [ලෝසවෙඅ මාධ්‍ය]

“ආන්ඩුවට ජනතාව ගැන කිසිම සැලකිල්ලක් නැහැ,” ඔහු පැවසීය. “මිනිසුන් මාර්ග අවහිර කල නිසා ඉහල පොලිස් නිලධාරීන් එය බිඳ දැමීමට යම් යම් ක්‍රියාමාර්ග සැලසුම් කරන්නට ඇති. කැරලි මර්දන පොලිසිය 500 කට වඩා ගෙනාවත් අපේ කට්ටිය මොකුත් කලේ නැහැ. එක්වරම පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට වුනා. මෙය සිදු වූයේ සවස 4.30-5.00 ට පමන. ලේ දැකීමෙන් පසු අපේ පිරිස කලබල වී කෝපයට පත් වූ අතර ගල් වලින් පහරදෙන්න පටන්ගත්තා. ඉන්පසු ඔවුන් [පොලිසිය] දිගටම වෙඩි තැබූ අතර 20 දෙනෙකුට පමන තුවාල සිදු වුනා.'

කිරිවල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි චින්තක මීට පෙර සංචාරක මාර්ගෝපදේශකයෙකු ලෙස සේවය කර ඇත. කොවිඩ්-19 වසංගතය රටේ සංචාරක කර්මාන්තයේ බිඳවැටීමට තුඩු දුන් පසු ඔහුට රැකියාව අහිමි විය. ඔහු දැන් ජීවත් වන්නේ කුලී වෑන් රියක් පදවමිනි. තම ගම්මානයේ ජනතාව යැපෙන්නේ වී වගාවෙන් බවත්, රාජපක්ෂ ආන්ඩුව ආනයනික පොහොර තහනම් කිරීම නිසා එයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවත් ඔහු පැවසීය. ආන්ඩුව ගම්වාසීන්ගේ ජීවනෝපාය විනාශ කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

රඹුක්කන, ගබ්බල ගම්මානයේ වෙසෙන 57 හැවිරිදි ඉන්ද්‍රානි ස්වර්නලතා පසුගිය අඟහරුවාදා විරෝධතාකරුවන්ට පොලිස් ප්‍රහාර එල්ල කිරීම සියැසින් දුටුවා ය. පෙලපාලිය ගැන ආරංචි වූ ඇය එදින උදෑසන රඹුක්කන නගරයට පැමිනියා ය.

“ඉන්ධන මිල අඩු කරන ලෙසත් පෙර මිලට ම ඉන්ධන ලබා දෙන ලෙසත් අපි සටන් පාඨ කියමින් සිටියා. හවස අපි උද්ඝෝෂනය කරනකොට එක පාරට ම දීප්තිමත් එලියක් එක්ක මීදුම වගේ දෙයක් ආවා. ඒ කඳුලු ගෑස්. ඒක මගේ ඇස්වලටත් බලපෑවා, මම අනිත් අය එක්ක පැනලා දිවුවා. මෙය සිදුවන විට සවස 5 ට පමන විය. මම ඇස් දෙක හෝදගෙන ආපහු ආවා” ඉන්ද්‍රානි පැවසුවා ය.

ඉන්ද්‍රානි ස්වර්නලතා ලෝසවෙඅ වාර්තාකරුවන් සමග කතා කරමින් [ලෝසවෙඅ මාධ්‍ය]

“හදිසියේම වෙඩි තැබීම ආරම්භ වූ අතර පසුව තවත් වෙඩි තැබීමේ ශබ්ද ඇසුනි. මම දැක්කා තුවාල කාරයෝ හතර දෙනෙක් ගෙනල්ලා වාහනයකට දානවා. තවත් තුවාල ලැබූ අයකු රැගෙන යාමට වෙනත් වාහන නොතිබූ නිසා ඔහු යතුරුපැදියකින් අරන් ගියා.

“මිනිසුන් කිසිම දෙයකට හානි කලේ නැහැ. ඉන්ධන බවුසරයක් එහි තිබූ නමුත් එයට කිසිදු හානියක් සිදු නොවිය යුතු බව ජනතාව පැවසුවා. හානියක් සිදුවී ඇත්නම් එය දුප්පත් මිනිසෙකු වන රියදුරාටද බලපානු ඇතැ” යි ඇය පැවසුවා ය.

ඉන්ද්‍රානිට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඉන් එක් අයෙක් විවාහකයි. ඇගේ ස්වාමිපුරුෂයා මිය ගොස් ඇති නිසා ඇය ජීවත්වීම සඳහා අනියම් රැකියාවක් කරයි. තම දුෂ්කරතා පැහැදිලි කරමින් ඇය පැවසුවේ “දැන් වැඩ අඩු නිසා ජීවත් වෙන්න අමාරුයි. මම දවසට රුපියල් 1000 ක් උපයනවා, නමුත් මගේ නිවස හොඳ තත්වයේ නැහැ. මට සමෘද්ධි අරමුදල [දුප්පතුන් සඳහා ආන්ඩුවේ සුබසාධන වැඩසටහනකි] ලැබෙන්නේ නැහැ.'

විරෝධතාකරුවන්ට පොලිස් වෙඩි තැබීම සහ ලක්ෂාන්ගේ මරනය සම්බන්ධයෙන් නිල මහේස්ත්‍රාත් පරීක්ෂනයක් ආරම්භ කර තිබේ. පරීක්ෂනයට සාක්ෂි දෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න කියා සිටියේ තත්වය පාලනය කරගත නොහැකි වුවහොත් අහසට වෙඩි තබන ලෙස තමන් පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන් බවයි. නොසන්සුන්තාව තීව්‍ර වූ බවත්, විරෝධතාකරුවන් තෙල් බවුසරයට ගිනි තැබීමට උත්සාහ කිරීමෙන් පසු ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට නියෝග කල නමුත් දනහිසට පහලින් ඉලක්ක කර ගන්නා ලෙස උපදෙස් දුන් බවත් ඔහු කියා සිටියේය. තුවාල ලැබූවන් සියලු දෙනාගේ දනහිසට ඉහලින් තුවාල සිදුවූ ආකාරය ඔහු පැහැදිලි කලේ නැත.

කෑගල්ල රෝහල්වල සිටින තුවාලකරුවන් සහ අනෙකුත් සාක්ෂිකරුවන් පොලිස් නිලධාරීන්ගේ හිරිහැර කිරීම් වලට බිය වන බවට පැමිනිලි කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය (එස්එල්බීඒ), පොලිස්පති (අයිජීපී) චන්දන වික්‍රමරත්න, මානව හිමිකම් කොමිෂන් සභාව සහ අපරාධවලට ගොදුරු වූවන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය වෙත ලිඛිතව දන්වා ඇත. මෙම සියලු ආයතනවලට මැදිහත් වී සාක්ෂිකරුවන් ආරක්ෂා කරන ලෙසට එස්එල්බීඒ ඉල්ලා ඇත.

රඹුක්කන පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ආන්ඩුව සහ පොලිසිය විවිධ කමිටු පත් කර තිබේ. ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ සහෝදර අගමැති දැනටමත් පොලිස් ප්‍රචන්ඩත්වය සාධාරනීකරනය කර විරෝධතාකරුවන්ට දොස් පවරා ඇත. දේශපාලන හා ආර්ථික අර්බුදය ගැඹුරු වන විට, ඔවුන් පොලිස් ප්‍රහාර සහ රාජ්‍ය මර්දනය වේගවත් කරනු ඇත.

Loading