බදු වැඩි කිරීම් වලට එරෙහිව ලංකාවේ කම්කරුවෝ විරෝධතා දක්වති

[ මෙය Sri Lankan workers protest against tax increases 2023 ‌පෙබරවාරි 25 පලකෙරුනුලිපියේපරිවර්තනයයි.]

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ක්‍රියාවට නංවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් අනවන ලද ක්‍රියාමාර්ග වලට එරෙහිව 3,000 කට අධික කම්කරුවන් බදාදා (22) කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. කොලඹ වරාය හා විදුලිබල මන්ඩල කම්කරුවන්, බැංකු සේවකයන් සහ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුලු අනෙකුත් වෘත්තිකයන් ඊට සහභාගි විය.

2023 පෙබරවාරි 22 වන දින කොලඹ කොටුවේ දී, බදු වැඩි කිරීම් වලට එරෙහිව පැවති මහජන විරෝධතාවට සහභාගී වන බැංකු සේවකයින් පිරිසක්. [ඡායාරූපය: ලෝසවෙඅ]

විරෝධතාකරුවන් රුපියල් 100,000 ට වැඩි මාසික වැටුප් මත නව 'උපයන විට ගෙවනබදු පැනවී ම ගැන සඳහන් කරමින්, “වික්‍රමසිංහ ආන්ඩුව පලවා හරිනු”, “මිල වැඩියි” සහ “අසාධාරන බද්ද ඉවත් කරනු” වැනි සටන් පාඨ හඬ නැගූහ.මහනුවර සහ වාද්දුව ඇතුලු තවත් නගර කිහිපයක රාජ්‍ය අංශයේ සේවකයෝ සිය ගනනක් උද්ඝෝෂන කලහ.

විරෝධතාකරුවන් මාර්ග කිහිපයක් අවහිර කර ජනාධිපති කාර්යාලයට ඇතුලු වීමට සැලසුම් කර ඇති බව පවසමින්, බදාදා පෙරවරු 11 සිට පස්වරු 5 දක්වා කොලඹ කොටුව ප්‍රදේශයේ විරෝධතා දැක්වීම තහනම් කරමින් අධිකරන නියෝගයක් ලබා ගැනීමට පොලිසිය උත්සාහ කලේය.

මහේස්ත‍්‍රාත්වරයා විරෝධතා පැවැත්වීම සම්පූර්නයෙන් තහනම් නොකල මුත්, මාර්ග අවහිර කිරීම, ජනාධිපති කාර්යාලයට සහ අනෙකුත් ගොඩනැගිලිවලට ඇතුලුවීම සහ පොදු දේපලවලට හානි සිදු නොකරන ලෙස නියෝග පනවන ලදී. එම නියෝගය මගින් විරෝධතා නැවැත්වීමට පොලිසියට පුලුල් බලතල ලබා දුනි. විරෝධතාකරුවන් බිය ගැන්වීමට සහ ඕනෑම මර්දනයකට සූදානම් ව ජල ප්‍රහාරක රථ සහ සොල්දාදුවන් සහිත සන්නද්ධ පොලිසිය ඒ අසලම ස්ථානගත කර තිබුනි.

බදාදා විරෝධතාව කැඳවනු ලැබුවේ වෘත්තීය සමිති 40 ක එකමුතුවකින් වන අතර එයට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ විදුලිබල, වරාය සහ ඛනිජ තෙල් කම්කරුවන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය ඇතුලත් වේ. එය කැඳවනු ලැබුවේ, උපයන විට ගෙවන බදු, රාජ්‍ය අංශයේ ව්‍යවසායන් පුද්ගලීකරනය, රාජ්‍ය අංශයේ රැකියා විනාශය, වැටුප් කප්පාදුව සහ ඉහල විදුලි ගාස්තු සහ අනෙකුත් මහජන උපයෝගිතා ගාස්තු ඇතුලු ජාමූඅ ඉල්ලීම් දිගටම පවතිනු ඇති බවට වික්‍රමසිංහ අවධාරනය කල බැවිනි.

සෙනසුරාදා කොලඹදී රොටරි සමාජයේ දිස්ත්‍රික් සම්මන්ත්‍රනයක් අමතමින්, වික්‍රමසිංහ තම ප්‍රමුඛතාවය ආර්ථික ප්‍රකෘතිය බවත් තම ප්‍රතිපත්ති වලට එරෙහි ඕනෑම විරෝධයක් මැඩපවත්වන බවත් ප්‍රකාශ කලේය.

“මේ වසරේ, මගේ පලමු ප්‍රමුඛතාවය ආර්ථික ප්‍රකෘතියයි… මහජන සාමය නොමැතිව ආර්ථික ප්‍රකෘතියක් ඇති කරන්න බැහැ,” ඔහු ප්‍රකාශ කලේය. පෙබරවාරි 8 වෙනිදා ඔහු පාර්ලිමේන්තුවට පැවසුවේ, 'මතක තබා ගන්න, මම මෙහි පැමිනියේ ජනප්‍රිය වීමට නොවේ... ජාතිය වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරන ගැනීමට මම සූදානම්.'

සමාජ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට කම්කරුවන් අධිෂ්ඨාන කරගෙන සිටින නමුත්, වෘත්තීය සමිති විසින් කැඳවන ලද විරෝධතා සහ සීමිත වැඩවර්ජනවල අරමුන වී ඇත්තේ විරුද්ධත්වය වාෂ්ප කර දැමීම සහ බදු ගෙවීම වැනි තනි තනි ප්‍රශ්න වලට සීමා කිරීම ය. සියල්ලටත් වඩා, ආන්ඩුවට සහ ජාමූඅ කප්පාදුවට එරෙහිව කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයක් වැලැක්වීමට වෘත්තීය සමිති අධිෂ්ඨාන කර ඇත.

බදාදා උද්ඝෝෂන, වික්‍රමසිංහ තන්ත‍්‍රයට එරෙහිව දස දහස් ගනනක් කම්කරුවන් සම්බන්ධ කෙරෙන විරෝධතා හා වැඩ වර්ජන මාලාවක කොටසකි. මේවා පසුගිය වසරේ අගභාගයේදී ආරම්භ වූ අතර ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව කම්කරුවන් 50,000 ක් විසින් පෙබරවාරි 9 දා ජාතික වැඩවර්ජනයක් පවත්වන ලදී. ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ වැඩෙන සටන්කාමීත්වය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව ආන්ඩුවේ හා සේවා යෝජකයන්ගේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ නැඟී එන ගෝලීය ව්‍යාපාරයක කොටසකි.

2023 පෙබරවාරි 22 වැනි දින කොලඹ කොටුවේ දී, ආන්ඩුවේ බදු වැඩි කිරීමට විරෝධය පල කරන කම්කරුවෝ. [ඡායාරූපය: ලෝසවෙඅ]

වෘත්තීය සමිති වික්‍රමසිංහ පිලිබඳ වාචාල හෙලාදැකීම් සහ ඔහුගේ ක්‍රියාමාර්ගවල ආටෝපමය වෙනස්කම් සඳහා කරන ආයාචනා සමග කරන පුහු ගෝරනාඩු මගින් කම්කරුවන් මුලා කිරීමට උත්සාහ කරයි.

බදාදා, ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක විරෝධතාකරුවන්ට පැවසුවේ ආන්ඩුව මාර්තු 1 වන විට සිය නව බදු ප්‍රතිපත්තිය හකුලා නොගතහොත් “සෑම අංශයකම වෘත්තිකයන් පාරට බසිනු ඇති” බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මෙසේ ප්‍රකාශ කලේය: “බදු ප්‍රශ්න විසඳිය යුතු බව අපි ආන්ඩුවේ නායකයින්ට අවධාරනය කරමින් ඉන්නවා. අපි දැනටමත් විශාලතම වෘත්තීය සමිති එකමුතුව ගොඩනඟා ඇති අතර, අපි තවමත් ජනතාව මත කිසිදු පීඩනයක් ඇති කර නැතත්, මාර්තු මාසයේදී අඳුරු යුගයක් ආරම්භ විය හැකියි. එවැනි තත්වයකට අපිව තල්ලු කරන්න එපා.”

ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ “ඔබ [වික්‍රමසිංහ] අප්‍රේල් මාසය වන විට [බදු] ප්‍රතිපත්තිය හකුලා නොගත්තොත් අපි ආන්ඩුව පන්නා දමනවා. ආන්ඩුවට අවශ්‍ය මහා වැඩවර්ජනයක් නම් අපි එය කරනවා, මේ සටන ජයග්‍රහනයකින් අවසන් වන බව සහතිකයි.”

ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධ සමස්ත ලංකා පොදු වරාය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන ආන්ඩුවට අනතුරු ඇඟවීය: 'ඔබට මාර්තු 1 දක්වා තවත් සතියක් තියෙනවා. ඔබ තීරනයක් ගත යුතුය.'

ජයලාල් සහ ගොරකාන, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල සමග කිසිදු මූලික වෙනසක් නැති ජවිපෙ ප්‍රමුඛ සාමාජිකයින් වේ. ජවිපෙ සහ එහි ජාතික ජන බලය (ජාජබ) සිය පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාව ඉහල දමා ගැනීම සඳහා මහජන කෝපය ගසාකෑමට නරුම ලෙස උත්සාහ කරයි. ආන්ඩුව දිනා ගතහොත් එය ද ඒ හා සමාන සමාජ ප්‍රහාර ක්‍රියාත්මක කරනු ඇත.

බදාදා කොලඹ දී විරෝධතාවයේ නිරත වූ කම්කරුවන් හා වෘත්තිකයන් ලෝසවෙඅ වාර්තාකරුවන් සමග කතා කරමින්, ආන්ඩුවේ ප‍්‍රහාර සම්පන්ධයෙන් සිය කෝපය සහ වෘත්තීය සමිති පිලිබඳ ඔවුන්ගේ අවිශ්වාසය පිලිබඳ ප‍්‍රකාශ කලහ. එක් ඛනිජ තෙල් සංස්ථා සේවකයෙක් ලෝසවෙඅ වෙත පැවසුවේ තම සංගමය, විරෝධතාව ගැන තම සහෝදර කම්කරුවන්ට පවසා නැති බව යි.

2023 පෙබරවාරි 22 දින වික්‍රමසිංහ ආන්ඩුවේ ඉහල ආදායම් බදු අනුපාත වලට එරෙහිව කොලඹ කොටුවේ මහා පෙලපාලියට සම්බන්ධ වන වෘත්තික කම්කරුවන් කන්ඩායමක්. [ඡායාරූපය: ලෝසවෙඅ]

ආන්ඩුවේ ආදායම් බදු අනුපාත මුලුමනින් ම අසාධාරන බව විදුලි ඉංජිනේරුවෙක් පැවසීය. “මේ බද්ද අපිට ගොඩක් අමාරුයි. මම මේ බද්ද ගෙවලා, නිවාස සහ වෙනත් නය සඳහා වෙනත් අඩු කිරීම් කලායින් පස්සේ මට මගේ පඩියෙන් ඉතුරු වෙන්නේ රුපියල් 80,000 ක් විතර. නමුත් ගැටලුව බදු පමනක් නෙවෙයි. එදිනෙදා වියදම්, දරුවන්ගේ අධ්‍යාපන වියදම් පියවා ගැනීමට අපහසු වන තරමට සෑම දෙයකම මිල වැඩි වෙනවා.'

විපක්ෂයේ සමගි ජන බලවේගය හෝ ජාජබ යටතේ කම්කරුවන් මුහුන දෙන තත්වය මීට වඩා වෙනස් නොවන බව ඉංජිනේරුවා පැවසීය. “ඔව්, ජනතාව [රාජපක්ෂ] ආන්ඩුව පලවා හැරියා. නමුත් සිදු වුනේ මොකක්ද? රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී දැන් සෑම පැත්තකින්ම මිනිසුන්ට පහර දෙමින් කම්කරු අරගල මර්දනය කරමින් ඉන්නවා. ඔහු කටයුතු කරන්නේ ඒකාධිපතියෙක් වගේ,” ඔහු පැවසීය.

රුසියාවට එරෙහි යුක්‍රේනයේ යුද්ධය ශ්‍රී ලංකාවේ කර්මාන්ත, අපනයන සහ ජනතාවගේ දෛනික ජීවිතය කෙරෙහි බලපා තිබෙන බව ඔහු පැවසීය. “විදුලිය නිෂ්පාදනයටත් ඒක බලපානවා. ගල් අඟුරු මිල ඉහල යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මෙම යුද්ධයයි. න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුනොත් ලෝකයම විනාශ වෙනවා. ඔබ කී පරිදි, ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම ඉතා වැදගත්.

“මේ තත්වයට මුහුන දෙන්න වෘත්තීය සමිතිවලට නිවැරදි වැඩපිලිවෙලක් නැහැ. කම්කරුවන් වෘත්තීය සමිතිවලින් වෙන්ව සංවිධානය විය යුතු අතර සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව තමන්ගේම දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතු බවට මම ඔබ සමඟ එකඟයි. කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනයාගේ සම්මේලනයක් සඳහා වන ඔබේ ව්‍යාපාරයට මම සහාය දෙනවා, ඒ පිලිබඳව තවත් සාකච්ඡා කිරීමට කැමතියි,” ඔහු පැවසීය.

කොලඹ වරායේ ඉංජිනේරු අංශයේ සේවකයෙක් පැවසුවේ ජීවන වියදම ඉහල යාම නිසා තම පවුලේ වියදම් කලමනාකරනය කර ගැනීමට අපහසු වී ඇති බවයි. “මට බැංකු නයක් සඳහා රුපියල් 60,000 ක් පමන ගෙවීමට සිදුව ඇති අතර ඊපීඑෆ් වලට (විශ්‍රාම වැටුප් අරමුදලට) රුපියල් 15,000 ක් පමන ගෙවීමට සිදුව තිබෙනවා. මට දරුවන් දෙදෙනෙකු සිටිනවා, ඔවුන්ගේ උපකාරක පන්ති ගාස්තු මසකට රුපියල් 20,000 ක්. දැනට මේ සියලු අඩු කිරීම්වලින් පසු මට ලැබෙන්නේ රුපියල් 50,000-60,000 ක් විතර. මේ නව බදු අනුපාතය ක්‍රියාත්මක කලහොත් මගේ මාසික වැටුපෙන් තවත් රුපියල් 14,000 ක් කපා හරිනවා.

“ආන්ඩුව මේ ප්‍රහාර නවත්වයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. වසර ගනනාවක් විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් වෘත්තීය සමිති විරෝධතා දැක්වූ නමුත් එහි ප්‍රතිඵලය මොකක්ද? පෞද්ගලීකරනය තවමත් සිදුවෙමින් පවතිනවා. මීට පෙර කොලඹ වරායේ සේවකයන් 15,000 ක් විතර සිටි නමුත් ස්වේච්ඡාවෙන් විශ්‍රාමගැන්වීමේ යෝජනා ක්‍රම හරහා එය භාගයකට අඩු කරලා,” ඔහු පැවසීය.

බදාදා විරෝධතාව යලිත් වරක් හෙලිදරව් කලේ, කම්කරුවන් තම අයිතීන් සඳහා වන අරගලයේ පාලනය සියතට ගත යුතු බවයි. එවන් සටනක් සඳහා අත්‍යවශ්‍ය ආරම්භක ලක්ෂ්‍යය නම්, සියලු ධනේශ්වර පක්ෂවලින් සහ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, රැකියා ස්ථානවල, කර්මාන්තශාලාවල සහ අසල්වැසි ප්‍රදේශවල ඔවුන් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමයි.

Loading