ටෙලිකොම් වෘත්තීය සමිති පුද්ගලීකරනයට එරෙහිව අධිකරනයේ සහාය පතයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් පෞද්ගලික අංශයට විකුනා දැමීමට කැබිනට් මන්ඩලය ගෙන ඇතැයි කියන තීරනය බල රහිත කරන ලෙස ඉල්ලා ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුව, අප්‍රේල් 19දා, ශ්‍රේෂ්ඨාධිකරනයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් කම්කරුවන් 2022 නොවැම්බර් 28 වන දින කොලඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිකට් කරමින් [ඡායාරූපය: ලෝසවෙඅ]

සමිති එකමුතුව වෙනුවෙන් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ටෙලිකොම් එක්සත් වෘත්තීය සමිති සම්මේලනයේ (ටෙඑවෘස) සභාපති ඒ. ඩී. ගුරුසිංහ හා එහි ලේකම් කමලනාත් හෙට්ටිආරච්චි විසිනි. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, භාන්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, අගමැති දිනේෂ් ගුනවර්ධන ඇතුලු කැබිනට් මන්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු, විධායක අධ්‍යක්ෂ ලලිත් සෙනෙවිරත්න ඇතුලු තිස් හතර දෙනකු නම් කර ඇත.

කොටස් පැවරීම පිලිබඳ වගඋත්තරකරුවන්ගේ ක්‍රියා කලාපය තුලින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයින්, කොටස්කරුවන් සහ මිලියන10.2 කට අධික ග්‍රාහකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

පුද්ගලීකරනයට එරෙහිව සටන් කිරීමේ බලගතු අවශ්‍යතාව සහ අධිෂ්ඨානය ටෙලිකොම් කම්කරුවන් විසින් නැවත නැවතත් පෙන්නුම් කර ඇත. අප්‍රේල් 3 දින 6,000කට අධික ටෙලිකොම් කම්කරුවෝ පුද්ගලීකරනයට එරෙහිව එක්දින වැඩ වර්ජනයක නිරතවූහ. එදින දිවයිනේ විවිධ පලාත්වලින් කොලඹට පැමිනි ටෙලිකොම් සේවකයින්ගේ සහභාගිත්වයෙන් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පා ගමනක් හා විරෝධතාවක් ද පැවැත්විනි.

දෙසැම්බර් 9 දා, එවැනිම විරෝධතා උද්ඝෝෂනයක් කොලඹ දී පැවති අතර, නොවැම්බර් 25 සහ 28 යන දිනයන්හි ද, එම කම්කරුවෝ, කොලඹ, ගාල්ල, මාතර, අනුරාධපුරය, ත්‍රිකුනාමලය සහ කල්මුනේ ඇතුලු නගර කිහිපයක තම කාර්යාල ඉදිරිපිට විරෝධතා දැක්වූ හ.

ඉහත විරෝධතා කැඳවා තිබුනේ ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුව (ටෙවෘසඑ) විසිනි. එයට, සියලු විදුලි සංදේශ සේවකයින්ගේ සංගමය (සිවිසංසේසං), පොදුජන ප්‍රගතිශීලී ටෙලිකොම් සේවක සංගමය (පොප්‍රටෙසේසං), ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලංනිසේසං) ඇතුලු වෘත්තීය සමිති 20 ක් ඇතුලත්‍ ය. වෘත්තීය සමිති, විරෝධතා කැඳවීමට පෙලඹුනේ, පුද්ගලීකරනය හමුවේ තර්ජනයට ලක්ව ඇති රැකියා හා කොන්දේසි කෙරෙහි කවර හෝ තැකීමක් නිසා නො ව, පුද්ගලීකරනයට සහ දැවැන්ත උද්ධමනයට එරෙහිව කම්කරුවන් අතර වැඩී ඇති කෝපය, හුදු විරෝධතා කීපයක් තුල දියකර හැරීමේ අරමුනෙනි.

ටෙලිකොම් සහ අනෙකුත් රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරනය වනාහි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජමුඅ) විසින් නියම කරන ලදුව, වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමමින් සිටින කප්පාදු පියවරවල කොටසකි. මෙම කප්පාදු වැඩපිලිවෙල අකුරටම ක්‍රියාත්මක කිරීම සහ එයට එරෙහිව පැන නගින කවර හෝ විරෝධතාවක් රුදුරුම ආකාරයෙන් තලා දැමීම තම පිලිවෙත බව වික්‍රමසිංහ යලියලිත් පෙන්වා ඇත.

වැඩවර්ජන සහ විරෝධතා තහනම් කරමින්, සෞඛ්‍යය, විදුලිබල, ඛනිජ තෙල් සහ වරාය ආදී සෑම ක්ෂේත්‍රයක්ම “අත්‍යවශ්‍ය සේවා” බවට පත්කර ඇති ජනාධිපති වික්‍රමසිංහ, මාර්තු මාසයේ පැවති ඛනිජ තෙල් කම්කරුවන්ගේ පුද්ගලීකරන විරෝධී වැඩ වර්ජනයක් බිඳ දැමීම සඳහා දහස් ගනනක් මිලිටරි සහ පොලිස් භටයින් යෙදවීය. සමිති නායකයන් ඇතුලු වැඩ වර්ජනය කල කම්කරුවන් 20 ක් අනිවාර්ය නිවාඩු යැවීමට ආන්ඩුව පියවර ගත්තේය. ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ වර්ජනයේ නිරත වූ සේවකයන්ට එරෙහිව “අත්‍යාවශ්‍ය මහජන සේවා පනත” යටතේ නීතිමය පියවර ගන්නා බවයි. එසේ වරදකරුවන් බවට පත්වන කම්කරුවන්, රැකියාවෙන් නෙරපා දැමීමට මෙන්ම, සුවිසල් දඩ මුදල් හා සිරදඬුවම් වලට යටත් කල හැකිය.

වික්‍රමසිංහ ආන්ඩුව විසින් යෝජිත “ප්‍රති-ත්‍රස්ත පනත” යටතේ, තම ආන්ඩුවේ පිලිවෙත් වලට එරෙහි කවර හෝ විරෝධතාවක් “ත්‍රස්ත ක්‍රියාවක්” ලෙස අර්ථ කථනය කලහැකි වන අතර, එවන් “ත්‍රස්ත ක්‍රියාවකට” සහභාගිවන්නන්ට මරන දන්ඩනය ද ඇතුලු දඬුවම් පැනවිය හැක. මෙම රුදුරු පනත, අප්‍රේල් 25 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කර ගන්නා බවට වික්‍රමසිංහ කලින් පවසා තිබුනි. වැඩුනු දැවැන්ත මහජන විරෝධය හමුවේ එය ඉදිරිපත් කිරීම කල්දමා ඇති නමුත්, එහි හරය කිසිසේත් වෙනස් නොවන පරිදි බාහිර වෙනස්කම් කීපයක් සහිතව එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

මේ සියලු පියවර මගින් පෙන්නුම් කෙරෙන්නේ ආඥාදායක පාලනයක් වෙත ජනාධිපති වික්‍රමසිංහ වේගයෙන් මාරුවෙමින් සිටින බවයි.

මෙම තතු තුල, පුද්ගලීකරනයට හෝ ආන්ඩුව එල්ල කරන වෙනත් ප්‍රහාරයකට හෝ එරෙහිව පැන නගින සෑම පංති අරගලයක්ම, ධනපති රාජ්‍යයට එරෙහි දේශපාලන අරගලයක ලක්ෂනය අත්පත් කරගනිමින්, රාජ්‍ය බලය පිලිබඳ ප්‍රශ්නය කම්කරු පංතියට අභිමුඛ කරයි. ඛනිජතෙල් කම්කරුවන්ගේ මෑත අරගලයේ අත් දැකීම එයයි.

ධනපති ක්‍රමයට සහ ධනපති රාජ්‍යයට හිසේ සිට දෙපතුල දක්වා බැඳීගත් වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම පක්ෂ, මෙම අභිමුඛවීම වැලැක්වීම සඳහා කලහැකි සෑම දෙයක්ම කරති. ඛනිජතෙල් කම්කරුවන්ගේ වැඩවර්ජනය බිඳහෙලීම සඳහා ආන්ඩුව ගෙනගිය රුදුරු රාජ්‍ය මර්දනය හමුවේ, ටෙලිකොම් ඇතුලු අනෙකුත් ක්ෂේත්‍රයන්හි සමිති, එයට එරෙහිව තම සාමාජිකත්වය අවම විරෝධතාවකට හෝ නොකැඳවූයේ මෙම අභිමුඛවීම වැලැක්වීමේ අරමුනෙනි.

ටෙලිකොම් සමිති නිලධරය පුද්ගලීකරනයට එරෙහිව අධිකරනය වෙත බඩගෑම ද, එම කම්කරුවන් අධිෂ්ඨානවත්ව නිරතව සිටින අරගලය අපසරනය කරමින්, එය දේශපාලන අරගලයක් බවට වර්ධනයවීම වැලැක්වීමට ගත් දැනුවත් තීන්දුවකි. ධනපති රාජ්‍යයේ උපකරනයක් වන අධිකරනයෙන් තම අවශ්‍යතා ඉටුකරගත හැකිය යන්න ප්‍රලාපයක් බව, කම්කරු පංතියේ අතීත අත්දැකීම් මගින් යලියලිත් සනාථ කෙරී ඇත.

මෙම අධිකරනමය වටවංගුවල කම්කරුවන් සිර කරන අතරේ, අධිරාජ්‍යවාදී ආයතන, ඔවුනගේ අතකොලු ලෙස ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධාන සහ ආගමික ධුරාවලීන්ගේ පිහිට පැතීමට සහ ධනපති පක්ෂ යටතට කම්කරුවන් යොමු කිරීමේ ප්‍රතිගාමී වැඩකටයුතු ඉස්මත්තට ගැනීමේ ක්‍රියාවලියක සමිති නිලධරය යෙදී සිටී. ටෙලිකොම් සමිති එකමුතුව ද අයත් වෘත්තීය සමිති එකමුතුව අප්‍රේල් 21 දා පැවැත්වූ මාධ්‍ය හමුව එවන් වේදිකාවකි.

වෘත්තීය සමිති එකමුතුව ට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුනෙහි ප්‍රධානියෙකු වන වසන්ත සමරසිංහ එහිදී කියා සිටියේ, ආන්ඩුවේ ප්‍රහාරයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විවිධ රටවල තානාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සම්මේලනය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා මානව හිමිකම් සංවිධාන හමුවන බවයි. ඊට අමතරව බෞද්ධ මහානායකවරුන් සහ අගරදගුරු මැල්කම් රංජිත් ඇතුලු පූජකයන්ද, සියලු දේශපාලන පක්ෂවල නායකයන් ද හමුවන බව ඔහු කීවේය.

සමිති නිලධරය හමුවන බව කියන සියලු දේශපාලන පක්ෂ වලට, පුද්ගලීකරනය ඇතුලු ජාමූඅ හි කප්පාදු ක්‍රියාවට නංවන වික්‍රමසිංහ ආන්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනමත් අයත් ය. අනෙක් පක්ෂ වන, සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදී සියල්ල ජාමුඅ හි කප්පාදු වැඩපිලිවෙලට පක්ෂපාතීය.

රැඩිකල් මුහුනක් පෙන්වාගෙන සිටි ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ, මෙම ප්‍රතිගාමී වැඩපිලිවෙල වැමැරූ මාධ්‍ය හමුවේ ප්‍රධාන කථිකයෙකු විය.

සමිති යෝජනා කරන අයුරින්, අධිකරනයට බඩගෑමෙන් හෝ අධිරාජ්‍යවාදී ආයතන වලට කන්නලව් කිරීමෙන් හෝ පුද්ගලීකරනය සහ රාජ්‍ය මර්දනය ඇතුලු ආන්ඩුවේ ප්‍රහාර පරාජය කල නොහැක.

මෙම ප්‍රහාර ගලා එන්නේ, වික්‍රමසිංහ ආන්ඩුව මුහුන දී සිටින බරපතල ආර්ථික අර්බුදයෙනි. එය, කෝවිඩ්-19 වසංගතයෙන් සහ එක්සත් ජනපද-නේටෝ බලයන් රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල ගෙනයන යුද්ධය මගින් ගැඹුරු කරන ලද ලෝක ධනේශ්වර අර්බූදයේ තියුනු ප්‍රකාශනයකි. ලංකාව ද ඇතුලු සියලු රටවල පාලක පංතීහු, මෙම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටින අතර, එයට එරෙහිව ජාත්‍යන්තරව වැඩෙමින් පවතින පංති අරගල තලා දැමීම සඳහා ආඥාදායක පාලන රූපයන් වෙත මාරු වෙමින් සිටිති. මෙම ප්‍රහාරයන් පරාජය කල හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පංතිය සමග ඒකාබද්ධව, ගෝලීය ධනවාදයට එරෙහිව ගෙනයන ස්වාධීන දේශපාලන අරගලයක් තුලින් පමනි. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනයි.

එවන් දේශපාලන අරගලයකට පරම ලෙසින්ම සතුරු වෘත්තීය සමිති නිලධරයේ ඉහත වැඩකටයුතු මගින් යලිත් වරක් තහවුරු කෙරෙන්නේ, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි සටන වෘත්තීය සමිති නිලධරය අතින් තම අතට ගැනීමෙන් තොරව කම්කරු පංතියට ඉදිරියට යා නොහැකි බවයි. මේ සඳහා වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂවලින් ද, ව්‍යාජ-වාම පක්ෂවලින්ද ස්වාධීනව, සෑම වැඩබිමකම, වතුකරයේ සහ කම්කරු නිවාසබද ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ.

සංක්‍රමන ක්‍රියා මාර්ගය තුල ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, “හැකි සෑම අවස්ථාවක දී ම ධනේශ්වර සමාජයට එරෙහි ජනතා අරගලයේ කර්තව්‍යයන්ට වඩාත් සමීප ව අනුරූප වන ස්වාධීන සටන්කාමී සංවිධාන නිර්මානය කිරීමට, ...අවශ්‍ය වුව හොත්, වෘත්තීය සමිතිවල ගතානුගතික යාන්ත්‍රනයෙන් කෙලින් ම බිඳීමට පවා නිර්භීත විය යුතුය.”

ටෙලිකොම් ඇතුලු සියලු කම්කරුවන් නිර්භීතව මෙම තීන්දුව ගනිමින් ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට පෙරට පැමිනීම අත්‍යවශ්‍ය ය.

එම ක්‍රියාකාරී කමිටු මගින් තෝරා පත්කර ගත් නියෝජිතයින් මත පදනම්ව කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩ නැගීම අවශ්‍යය. මෙය, සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගය ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ සටනට මග පාදනු ඇත.

Loading