[මෙය “We were in a death trap”: Cyclone victims in central Sri Lanka speak out යන මැයෙන් 2025 දෙසැම්බර් 15 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
දෙසැම්බර් 10 වන දින, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ, මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල නගරය ආසන්නයේ, උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සොගමා ජනපදයට ගොස්, දිට්වා සුලි කුනාටුවෙන් ඇති වූ ව්‍යසනයෙන් දිවි ගලවා ගත් අය සමඟ කතා බහ කලහ.
දෙසැම්බර් 15 වන දින වන විට, රටේ වඩාත්ම බලපෑමට ලක් වූ කලාපය වන මහනුවර දිස්ත්‍රික්කයේ, තහවුරු වූ මරන 237 ක් සහ අතුරුදහන් වූවන් 73 ක් වූහ. පවුල් 51,168 ක පුද්ගලයින් 173,686 ක් පීඩාවට පත් ව ඇති එම දිස්ත්‍රික්කය, සමස්ත බලපෑම අනුව, කොලඹ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පසුව තුන්වන ස්ථානයේ පවතී.
සොගමා සිට කිලෝමීටර් 16 ක් දුරින් පිහිටි ගම්පොල, අධික වර්ෂාපතනයකට සහ දරුනු ගංවතුරකට මුහුන දුන්නේ ය; එමඟින් අවට අසල්වැසි ප්‍රදේශවල නිවාස සහ මාර්ග ජලයෙන් යට ව ගිය අතර ප්‍රධාන ප්‍රවේශ මාර්ග භාවිතා කල නොහැකි විය. සොගමා ජනපදය ඉහලගම, හුනුකොටුගම, උඩගම, මිල්ලගස්පිටිය, අමුහේන සහ පල්ලේගම ඇතුලු ගම්මාන අටකින් සමන්විත වන අතර එහි පවුල් 500 ක් පමන ජීවත් වේ; මුලු ජනගහනය ආසන්න වශයෙන් 2,000 ක් පමන වේ.
අස්ථායී පාංශු හා විසිරුනු පාෂාන සැකැස්මක් සහිත කඳුකර ප්‍රදේශයක පිහිටා ඇති සොගමා ජනාවාසය මිනිස් වාසයට කිසිසේත්ම නුසුදුසුය. ඉහලගම ගම්වැසියන් විසින් තහවුරු කරන ලද ආකාරයට ම, ජීවිත හා ජීවනෝපායන් විනාශ වී ගිය පදිංචිකරුවන් ජීවත්වී ඇත්තේ නිත්‍ය අනතුරක බව ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවෝ නිරීක්ෂනය කලහ.
මෙම පදිංචිකරුවන්ට අනුව, ඉහලගම සහ අවට ගම්මාන දෙකක පවුල් 97 ක අවතැන් වූ පුද්ගලයින් 500 කට ආසන්න සංඛ්‍යාවක් දැන් ගම්පොල අටබාගේ උඩගම මහා විද්‍යාලයේ (පාසලේ) නවාතැන් ගෙන සිටිති.
එදිනෙදා කුලී වැඩ කරන කම්කරුවෙකු වන 63 හැවිරිදි ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල මෙසේ පැවසීය: “අපේ ගෙදර පවුල් තුනක් හිටියා—මගේ පවුල, මගේ දුවගේ සහ මගේ පුතාගේ පවුල්. අපි ඔක්කොම නව දෙනෙක්. [28 වෙනි දා] මධ්‍යම රාත්‍රියෙන් පස්සෙ ගමට ගංවතුර ආවා. අපි කොහොම හරි අපේ ජීවිත බේරා ගත්තා, නමුත්, අපි සතුව තිබිච්ච සියලු දේ සහ ගෙදර දොරේ බඩුමුට්ටු සියල්ල විනාශ වුනා. දැන් මම මෙතන හිරවෙලා. බඩගින්න නිවාගන්න මොනව හරි කෑවත්, මගේ බඩ පිච්චෙනවා. මට හැම දෙයක්ම නැති වෙලා. මම දැන් ජීවත් වෙන්නෙ, අහල පහල අයගෙ උපකාරයෙන්.”
“අපට සිද්ධ වෙච්ච දේ බලන්න ආන්ඩුවේ කවුරුත් ආවෙ නෑ. ඔවුන් අපේ ජීවිත ගැන තකන්නේ මෙහෙමද?” ආන්ඩුවේ උදාසීනත්වය හෙලා දකිමින් ඔහු තවදුරටත් පැවසී ය.
දෙදරු පියෙකු වන 38 හැවිරිදි ජේ.වී. සුධීර අනුර බන්ඩාර මෙසේ පැවසී ය: “අපේ ගෙදර විනාශ වුනා. මගේ දරුවන් සහ බිරිඳ බේරා ගැනීමට මම සියල්ල අතහැරියා. අපි මර උගුලක හිර වෙලා ඉන්න බව දැන ගෙන හිටපු නිසා, වැස්ස වැටෙන විට පවා මම බය වුනා. නමුත් අපට විකල්ප තිබුනේ නැහැ. අපි වගේ දුප්පත් මිනිස්සුන්ට කවදාවත් සහනයක් ලැබෙන්නේ නැහැ.”
ඔහු ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ද විවේචනය කලේ ය: “මේක අපි වගේ දුප්පත් මිනිස්සුන්ගේ ආන්ඩුවක් කියලා ඔවුන් කිව්වා, නමුත් ඒක එහෙම නෙවෙයි. ඔවුන් [රජයේ නිලධාරීන්] කියනවා අපිට සල්ලි දෙනවා කියලා, නමුත් අපිට කවදාවත් කිසිම දෙයක් ලැබිලා නැහැ. උදව්වක් ලැබුනා නම් ලැබුනේ, අපි වගේම දුක් විඳින අපේ අසල්වැසියන්ගෙන්. කිසි ම ආන්ඩුවක් අපිව නියෝජනය කරන්නේ නැහැ. ඔවුන් මැතිවරන කාලයේ දී ඇවිත් පොරොන්දු දෙනවා. අපි හැම විට ම රැවටෙනවා—එච්චර තමයි.”
සුධීරගේ බිරිඳ වන ජීවනී කුමුදු කුමාරි (39), වයස අවුරුදු 16 සහ 3 හි පසුවන තම දරුවන්ට ආහාර පිලියෙල කරමින් සිටිය දී, රාත්‍රී 8 ට පමන ව්‍යසනය සිදු වූ එම රාත්‍රිය සිහිපත් කලා ය. “හිටි ගමන්, ජනේලයෙන් ලොකු ජල කඳක් ආවා. මගේ මහත්තය මට දරුවන් අල්ලා ගෙන ඉක්මනට එලියට එන්න කියල කෑ ගැහුවා. එයා අපිව බේර ගන්න දුවගෙන ආවා, අපි ලඟම ගෙදරකට ගියා; රෑ නැවතිලා හිටියෙ එහෙ.”
විනාශය විස්තර කරමින් ඇය මෙසේ පැවසුවා ය: “මම පහුවදා උදේ අපේ ගෙදරට ආපසු ගිහින් බලනකොට අපේ ගෙදර උඩට ගස් කඩා වැටිල තිබුන. හැම බිත්තියක්ම කැඩිලා; වහලයත් ගිහින්. ගෙදර වතුරෙන් පිරිලා; හැම දෙයක්ම මඩෙන් තෙත් වෙලා. අවුරුදු ගනනක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරමින්, ලොකු සටනක් කරලා හරි හම්බ කර ගත්ත හැමදේම විනාශ වුනා.”
“අපිට ජීවත් වෙන්න තැනක් විතරයි ඕනේ,” ඇය තවදුරටත් පැවසුවාය. “අපි ඉල්ලන්නේ එච්චරයි.”
සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) වැඩපිලිවල පැහැදිලි කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් අවධාරනය කලේ, එවැනි ව්‍යසන හුදෙක් ස්වාභාවික සිදුවීම් නොව, ධනවාදය විසින් ඇති කරනු ලබන පාරිසරික විනාශයේ සහ ගෝලීය උනුසුමේ ප්‍රතිඵලයක් බවයි.
වාර්තාකරුවන්ට ස්තූති කල සුධීර, ජනාවාසයේ අනෙකුත් ප්‍රදේශවලට ඔවුන් සමඟ ගියේ ය.
සොගමා ජනතාව ජීවත් වන භයානක තත්වය වාර්තාකරුවන්ට දැක ගැනීමට හැකි විය. මෙම ප්‍රදේශය මධ්‍යම කඳුකරයේ බෑවුම්වල පිහිටා ඇති අතර, අධික වර්ෂාපතනය මාරාන්තික නායයෑම් ඇති කල හැකි ය. මෙහි බොහෝ පදිංචිකරුවෝ, කිරි ගව පාලනය, එලවලු වගාව සහ එදිනෙදා කුලී වැඩ මත විශ්වාසය තබා සිටින්නෝ ය. කිසිදු ආන්ඩුවක් කිසිදාක තමන්ට සහාය දී නොමැති බව ඔවුහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ. සියල්ල එසේ තිබිය දී, වසර ගනනාවක් වෙහෙස මහන්සි වී ගොඩනඟා ගත් දේ අතහැර දානවාට වඩා මිය යාම හොඳ බව බොහෝ දෙනෙකුගේ අදහස විය.
තම ආලින්දයේ සිට කතා කරමින් සිටි 54 හැවිරිදි ධර්මප්‍රිය නන්දසිරි, මීටරයකට ආසන්නව ගිලා බැස ඇති තම ගව ගාල පෙන්වමින් මෙසේ පැවසී ය: “කවුරුවත් අපි ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අපි උදව් බලාපොරොත්තු වුනෙත් නැහැ. අපි ජීවත් වෙන්නේ මේ සතුන්ගෙන් ලැබෙන කිරිවලින්.”
නායයෑම් තර්ජනය විස්තර කරමින් ඔහු මෙසේ පැවසීය: “මේ මුලු කන්දම කඩා වැටෙනවා කියලා ඔවුන් කියනවා. නමුත් ඔවුන් මොන තරම් අනතුරු ඇඟවීම් නිකුත් කලත්, අපි කොහොමද යන්නෙ?” තමන්ට තම බඩු බාහිරාදිය හෝ හරකා බාන අතහැර දැමිය නොහැකි බව ඔහු පැහැදිලි කලේය.
“මගේ දුව රුහුනු විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. අපි ජීවත් වෙන්නේ මේ සතුන්ගෙන්; උන් අපට ආදායමක් ගෙනෙනවා, අපේ අනිත් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විය හියදම් හොයාගන්නෙත් ඒවයින්.”
“ආන්ඩුවේ වගකිව යුතු කිසිවෙක් මේ ප්‍රදේශයට ඇවිත් නැහැ. ඔවුන් කියනවා මේක දුප්පතුන්ගේ ආන්ඩුවක් කියලා - ඒක අමූලික බොරුවක්. ග්‍රාම නිලධාරි, පශු වෛද්‍ය නිලධාරි සහ ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ [NBRO] නිලධාරීන් පමනක් මෙහි පැමින තිබෙනවා. ආධාර ගැන කතා කරන, අපට අනුකම්පා කරන බව කියන, දහස් ගනන්, මිලියන ගනන් පොරොන්දු වන අයගෙන් කවුරුවත් අප සිටින තත්වය දැක ගැනීමට ඇවිල්ලා නැහැ.”
“අපි කන්නේ බොන්නේ අපේම අයගේ උදව්වෙන් විතරයි. තවත් දෙයක් කියනව නම්, ඔබ අපේ තත්වය දකින්න පැමිනීම ගැන මම ගොඩක් සතුටු වෙනවා,” මාධ්‍යවේදීන්ට ස්තූති කරමින් සහ ආන්ඩුව කෝපයෙන් හෙලා දකිමින් නන්දසිරි පැවසී ය.
සාකච්ඡාවට, 10 ත් 15 ත් අතර පිරිසක්, සාවධාන ව සවන් දෙමින්, උනන්දුවෙන් සහභාගී වූහ. වාර්තාකරුවන්, ව්‍යසනයේ විද්‍යාත්මක හේතු සහ එවැනි ව්‍යසනයන් අවසන් කිරීමට ඇති එක ම මාර්ගය ලෙස සමාජවාදී වැඩපිලිවෙලක අවශ්‍යතාවය පැහැදිලි කලහ. සහභාගිවූවෝ තම එකඟතාවය ප්‍රකාශ කල අතර වැඩිදුර සාකච්ඡා සඳහා දුරකතන අංක ලබා දුන්හ.
“ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය දිස්ත්‍රික්ක 10 ක් සඳහා නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි” යන මැයෙන් වූ නිව්ස්වයර් ලිපියකට අනුව, ඔක්තෝබර් 20 වන දින රාත්‍රී 8:30 සිට ඔක්තෝබර් 21 වන දින රාත්‍රී 8:30 දක්වා බලපැවැත්වෙන පරිදි, උඩපලාත (ගම්පොල සහ සොගමා ඇතුලත්), මධ්‍යම ප්‍රමාන නායයෑම් අවදානම සඳහා 2 වන මට්ටමේ (ඇම්බර්) අනතුරු ඇඟවීමක් යටතේ පවතී. මෙය දිගු කලක් තිස්සේ ප්‍රදේශය පවතින්නේ කෙතරම් අනතුරුදායක ද යන්න අවධාරනය කරයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල කොට්ඨාශ 85 ක් ඇතුලත් කරගත් නවතම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයේ, අවදානම් කලාප අතර උඩපලාත ද ලැයිස්තුගත කර ඇත.
වැඩිදුර කියවන්න
- ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ දැවැන්ත ගංවතුර හේතුවෙන් ඇති වූ මානව ව්‍යසනය: එය සිදු වූයේ කෙසේ ද?
- වීඩියෝව: ශ්‍රී ලංකාවේ දිට්වා සුලි කුනාටු ව්‍යසනය සහ ආන්ඩුවේ නොතැකීම ගැන කම්කරුවෝ කතා කරති
- යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ දිට්වා සුලි කුනාටුවෙන් දිවි ගලවා ගත් ජනයා ආන්ඩුවේ නොතැකීම ගැන චෝදනා නගති
- ශ්‍රී ලංකාව: සුලි කුනාටුවෙන් පීඩාවට පත් වතු කම්කරුවෝ ආරක්ෂිත ස්ථානවල, යහපත් නිවාස ඉල්ලති
- ලෝක බැංකු, අයිඑල්ඕ වාර්තා ඩිට්වා සුලි කුනාටුවෙන් ශ්‍රී ලංකාව තුල සිදු වූ ව්‍යසනයේ ගැඹුර පෙන්නුම් කරයි
