දහසකට ආසන්න මිනිස් ජීවිත අහිමි කරමින් සහ මිලියන දෙකකට ආසන්න ජනතාවකට බලපෑම් එල්ල කරමින් ශ්‍රී ලංකාව හරහා හමාගිය ඩිට්වා සුලි කුනාටුව හේතුවෙන් රටේ නිවාස, ගොඩනැගිලි, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම්වලට සිදු වූ දැවැන්ත හානිය ඇමරිකානු ඩොලර් බිලියන 16 ක් ඉක්මවා ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය (අයිඑල්ඕ) මෑතක දී නිකුත් කල වාර්තාවකින් පෙන්වා දී තිබේ.
පේරාදෙනිය විශ්වවිද්‍යාලය එලෙස හානියට පත් වූ රටේ පොදු සේවා ස්ථාන අතර ප්‍රධාන එකකි. අධික වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම්වලින් එම විශ්වවිද්‍යාලයේ උපකරන හා දේපොලවලට සිදු ව ඇති අලාභය රුපියල් බිලියන 5ක් පමන වන බව උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.
ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ, පසුගිය 27 වන දින පස්වරුවේ සිට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ජලය එකතු වුනු බව සහ කොත්මලේ වේල්ල වාන් දොරටු විවෘත කිරීමත් සමග එදින රාත්‍රි 11 පමන වන විට මහවැලි ගඟ හරහා විශාල ජල කඳක් පැමින පශු වෛද්‍ය පීඨය සහ කලමනාකරන පීඨය යට ව ගිය බවයි.
විශ්වවිද්‍යාලයේ සිදු ව ඇති ආපදාවන් පිලිබද කරුනු විමසා බැලීමට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට දක්නට ලැබුනු විනාශයේ පරිමාව සලකන කල එය යථා තත්ත්වයට පත් කිරීමට දීර්ඝ කාලයක් ගත වනු ඇත. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලයේ කෘෂි, කලමනාකරන වැනි පීඨවල ශිෂ්‍යන්ගේ අධ්‍යාපනයට බරපතල බාධාවක් සිදු වනු ඇති බවයි.
කුනාටුවේ විනාශයෙන් පසු, ඩොලර් මිලියන 200ක අතිරේක නයක් ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) වෙත ගිය ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ)/ ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව එහි කොන්දේසි අකුරක් නෑර ක්‍රියාවට දැමීම සඳහා 2026 වසර සඳහා ඉදිරිපත් කිරීමට යන අතිරේක අයවැයක් මගින් නව බදු පැනවීම් හා වියදම් කප්පාදුව තවදුරටත් තීව්‍ර කිරීමට නියමිතයි.
විදුලිය ගාස්තු සියයට 11 කින් ඉහල දමන බව දැනටමත් නිවේදනය කර තිබේ. උද්ධමනය අඛන්ඩ ව ඉහල යන තත්වය තුල කම්කරු පන්තියේ, ගම්බද දුගීන්ගේ සහ තරුන ජනයාගේ සටන් අවුලුවාලනු ඇති බව ශිෂ්‍යයන් සමග කල සාකච්ඡා වලදී ලෝසවෙඅ වාර්තාකරුවෝ පැහැදිලි කලහ.
ලෝසවෙඅට අදහස් දැක් වූ පශු වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක් මෙසේ කියා සිටියා ය. “ලාජ් ඇනිමල් ෆාම් හොස්පිටල් (විශාල සත්ව ගොවිපල රෝහලේ) උපකරනවලට හානි උනා, ඒ නිසා ප්‍රායෝගික අධ්‍යනය කටයුතු ඇන හිටලා තියෙන්නේ. ඒක අප සියලු දෙනා ම මුහුන දී ඇති විශාල ගැටලුවක්. වීඩියෝවලින් තමා ශල්‍යකර්ම අභ්‍යාස කරන්න වෙන්නෙ. ඒක සාර්ථක නෑ. මේකට විසඳුමක් ආන්ඩුව ඉක්මනින් කරයි කියලා හිතාගන්න අමාරුයි. කල් ඇතු ව අනතුරු ඇඟවීමක්වත් කලේ නෑ. එහෙම වුනා නම් මෙහෙ විතරක් නොව හැම තැන ම සිදු වූ විනාශය අවම කරගන්න තිබුනා.”
එම පීඨයේ තෙවන වසර සිසුවෙක් සිදු වූ විනාශයේ බරපතලකම වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. “... කුනාටුවෙන් පශු වෛද්‍ය හා සත්වවිද්‍යා පීඨයට සිදු වූ විනාශය අතිවිශාලයි. ලංකාවේ ඇති එක ම පරිපූර්න පශු වෛද්‍ය පීඨය වන්නේ ද මෙයයි. ඒ නිසා ම මෙය විශ්වවිද්‍යාල සීමාව ඉක්මවා සත්ව සෞඛ්‍ය සේවා සහ රෝග පාලනයට බරපතල බලපෑමක් කරයි කියල හිතෙනවා. අධ්‍යාපන ගොඩනැගිලි, සතුන් වසන ස්ථාන, පුස්තකාල, අධ්‍යාපන රෝහල් වගේ ම වෙනත් අත්‍යවශ්‍ය උපකරන විනාශයට පත් වෙලා. කාලයක් ගබඩා කර තිබූ පර්යේෂන දත්ත සේරම විනාශ වෙලා. පර්යේෂන කටයුතු නැවතිලා, සායන පුහුනුවීම් ඇනහිටිලා මේක කියන්න බැරි විනාශයක්. … මේකෙන් ගොඩ ඒම ලේසි කාර්යයක් නොවේ. ආන්ඩුව ගැන විශ්වාසයක් තියන්න අමාරුයි. පරිත්‍යාග ගැන අපේක්ෂාවක් තියෙනවා.”
කෘෂි පීඨයේ ශිෂ්‍යාවක් එම පීඨයට සිදු වූ හානිය විස්තර කලා ය. “කෘෂි පීඨයේ විනාශය රුපියල් බිලියන භාගයක් පමන වන බවයි කියන්නේ. පාංශු සම්බන්ධ විද්‍යාගාරය, සත්වවිද්‍යා විද්‍යාගාරය, මස් සකසන විද්‍යාගාරය සහ ඒවායේ උපකරන ද විනාශ වෙලා. අපේ අධ්‍යයන කටයුතු නිසි ලෙස කර ගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ. ආන්ඩුව ප්‍රශ්නවලට මුහුන දෙන විදිහ දැක්කම මේවට විසඳුමක් වහාම බලාපොරොත්තු වෙන්න බෑ” යයි ඇය කියා සිටියා ය.
තාක්ෂනික නිලධාරීවරයෙක් අදහස් දක්වමින් කලමනාකරන පීඨයට සිදු වූ විනාශය විස්තර කලේ ය: “තට්ටු දෙකේ ගොඩනැගිල්ලක කලමනාකරන පීඨය තියෙන්නෙ. උඩුමහලෙත් අඩි 3ක් විතර වතුර පිරුනා. යට තට්ටුවේ තිබුන කොම්පියුටර් ලැබ් දෙක ම දියබත් උනා. ඒවායේ තිබුනු යන්ත්‍ර 240ක් විතර විනාශ වෙලා. ඒ වගේම වැදගත් ලිපි ලේඛන, පර්යේෂන පත්‍රිකා, ඇගයීම් ලේඛන සියල්ල ම විනාශ වෙලා. සම්පූර්න අලාභය රුපියල් මිලියන 270ක් වන බවයි දැනගන්න ලැබිල තියෙන්නෙ. ...”යයි ඔහු කරුනු දැක්වී ය.
මෙවැනි තත්ත්වයක් තුල “පීඨය මෙම ගංවතුරු පරිශ්‍රයෙන් වෙනත් තැනකට ගෙන යාම අවශ්‍යයි. ඒත් බරපතල ප්‍රතිසංස්කරනයකින් තොරව පීඨය ජනවාරි 12වන දා ඇරඹීමට බලධරයන් සූදානම් වෙනව” යැයි ඔහු කියා සිටියේ ය.
සුලි කුනාටුව මගින් තව දුරටත් ගැඹුරු වන ආර්ථික අර්බූදයේ බර කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත ජන කොටස් මත පැටවීමේ ආන්ඩුවේ ප්‍රයත්නය පරාජය කරන්නේ කෙසේදැයි ලෝසවෙඅ වාර්තාකරුවෝ ශිෂ්‍යයන් සමග සාකච්ඡා කලහ. ඒ සඳහා, බැංකු, සුවිසල් කම්හල් සහ මහා පරිමාන වතු, කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ආ යුතු බවත්, එවන් ආන්ඩුවක් මගින් මහ ධනවතුන්ගේ බිලියන සංඛ්‍යාත ධනය අත්පත් කර ගනිමින් සහ විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරමින්, එම මුදල් කම්කරු-පීඩිත මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් යොදා ගත හැකි බවත්, වාර්තාකරුවෝ පෙන්වා දුන්හ.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සටන් වදින ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය ගැඹුරින් අධ්‍යනය කිරීමේ වැදගත්කම වාර්තාකරුවෝ පැහැදිලි කලහ.
ඩිට්වා සුලි කුනාටුව හුදු ස්වභාවික විපතක් නොවන බවත් ලංකාවට පමනක් සීමා වූවක් නොවන බවත් වාර්තාකරුවෝ ලෝසවෙඅ පල කල “ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ දැවැන්ත ගංවතුර හේතුවෙන් ඇති වූ මානව ව්‍යසනය: එය සිදු වූයේ කෙසේ ද?” ලිපිය ශිෂ්‍යයන් අතර බෙදා දෙමින් සාකච්ඡා කලහ.
කුනාටුව හේතුවෙන් ඇද හැලුනු දැවැන්ත වර්ෂාපතනය, ගෝලීය උෂ්නත්වය ඉහල යෑමේ ප්‍රතිඵලයක් වන බවත්, එයට ලාභය අරමුනු කරගත් ධනේශ්වර ක්‍රමය වගකිව යුතු බවත්, බලයට පත් ආන්ඩු විසින් ආපදා කලමනාකරනය සම්බන්ධ යටිතල පහසුකම් කප්පාදු කිරීම ජීවිත හා දේපලවලට සිදු වූ විනාශය ඉහල දැමීමට හේතු වී ඇති බවත් මෙහි දී සාකච්ඡා කෙරුනි.
ඒ සම්බන්ධ ව කෘෂි පීඨයේ ශිෂ්‍යාවක් මෙසේ ප්‍රකාශ කලා ය. “මේ ව්‍යසනයට ගෝලීය උනුසුමේ තියෙන සම්බන්ධය අපි දැන සිටියේ නෑ. අප හිතන් උන්නෙ මෙය ස්වාභාවික ව සිදු වූ විනාශයක් කියලා. ඇත්තටම මහ ධනපති පන්තිය මේ පාරිසරික විනාශයට පිටුපසින් සිටින බව අපි දන්නවා. වෙනත් මාධ්‍ය විසින් මේ පැති සාකච්ඡා කරන්නේ නෑ. මම ලෝසවෙඅ කියවන්න කැමතියි.”
ගෝලීය උනුසුමේ බලපෑම පිලිබඳව දැනුවත් ව සිටි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙකු වන නිපුන මෙසේ පැවසී ය: “අතීතයේ දී, ලංකාව වැනි සමකය ආසන්න රටවල සුලි කුනාටු ඇතිවූයේ කලාතුරකින්. නමුත් ගෝලීය උනුසුමේ බලපෑම හේතුවෙන් ඒවා ඇති වීමේ සීග්‍රතාවය වැඩි වෙලා තිබෙනවා.”
“ඩිට්වා ඇති වෙන්න සති දෙකකට පමන කලින් වියට්නාමය ඉන්දුනීසියාව පැත්තට තවත් දරුනු කුනාටු දෙකක් බලපෑවා. මෙවැනි තත්වයන් ඉදිරියට තවත් ඇති වෙන්න පුලුවන්. දේශගුනික රටාවන් විශාල විදිහට වෙනස් වෙලා. පොසිල ඉන්දන දහනය වෙනුවට ජල විදුලිය, සුලං බලය, හයිඩ්‍රජන් වායුව වැනි දෑ දැනටත් භාවිතයට ගන්නවා. නමුත් ලාභ උපරිම කර ගැනීමේ එල්ලයෙන් ඒවට ආයෝජනය කරලා එම බලශක්ති ප්‍රවර්ධනය කරන්නේ නෑ.”
ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන් ෆොසිල ඉන්ධන භාවිතය නතර කිරීමට පියවර ගන්නවා වෙනුවට පසුගිය දශක කිහිපයේ සිට මේ දක්වා සිදු කර තිබෙන්නේ එවැනි ඛනිජ තෙල් සම්පත් බහුල කලාප, රටවල් ආක්‍රමනය කිරීමයි. ඒ සඳහා දැවැන්ත පරිමාන ව මනුෂ්‍ය ජීවිත, මුදල් හා පරිසරය විනාශභාග කර තිබේ. මේ වන විට ට්‍රම්ප් පරිපාලනය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් වෙනිසියුලාව අක්‍රමනය කර තිබේ.
එක්සත් ජනපදයේ වැඩකටයුතු, චීනය, රුසියාව වැනි රටවල් සමග තුන්වන ලෝක යුද්ධයක් අවුලුවාලීමේ අන්තරාය නැවත නැවතත් මතු කරමින් පවතී. රුසියාවට එරෙහි ව යුක්‍රේන තුල ගෙන යන ඇමරිකාවේ හා නේටෝ බලයන්ගේ යුද්ධය, ඊස්‍රායලය විසින් නිරායුද පලස්තීන ජනයාට එරෙහි ව ගෙන යන ජන සංහාරක යුද්ධය ජීවිත දහස් ගනනක් පසුගිය වසරවල විනාශ කර තිබේ. ලොව පුරා මෙවැනි යුද්ධ හා යුද අභ්‍යාස මගින් සියයට 5.5 ක ප්‍රතිශතයකින් වායුගෝලයට කාබන් විමෝචනය කරයි.
මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් මහ ධනපතියන්ගේ ලාභ තැබූ සමාජ ක්‍රමයක් යටතේ පරිසරය රැකගත නොහැක. මනුෂ්‍ය අවශ්‍යතාය මත පදනම් ව ගෝලීය නිෂ්පාදනය ප්‍රතිසංවිධානය කිරීම කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් සමාජවාදී ව්‍යාපාරයකට පමනි. කම්කරු පන්තිය තුල මෙම පක්ෂය ගොඩනැගීමට සසප හා සසජාතශි හා ඒකාබද්ධවීමට ලෝසවෙඅ වාර්තාකරුවෝ කල කැඳවුමට ශිෂ්‍යන්ගෙන් උනන්දු සහගත ප්‍රතිචාරයක් හිමිවිය.
වැඩිදුර කියවන්න
- ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ දැවැන්ත ගංවතුර හේතුවෙන් ඇති වූ මානව ව්‍යසනය: එය සිදු වූයේ කෙසේ ද?
- වීඩියෝව: ශ්‍රී ලංකාවේ දිට්වා සුලි කුනාටු ව්‍යසනය සහ ආන්ඩුවේ නොතැකීම ගැන කම්කරුවෝ කතා කරති
- ඩිත්වා කුනාටු ව්‍යසනය මධ්‍යයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ “මානුෂික මෙහෙයුම”
- ශ්‍රී ලංකාව: සුලි කුනාටුවෙන් පීඩාවට පත් වතු කම්කරුවෝ ආරක්ෂිත ස්ථානවල, යහපත් නිවාස ඉල්ලති
- “අපි හිරවෙලා හිටියෙ මර උගුලක”: සුලි කුනාටුවෙන් පීඩාවට පත් වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රදේශයේ ජනතාව කතා කරති
- මොරටුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, ඩිට්වා සුලු කුනාටුවෙන් ඇති වූයේ “ස්වභාවික ව්‍යසනයක්” බව ප්‍රතික්ෂේප කරති
