පොලීසිය සහ මිලිටරි මැදිහත් වී යාපනය විශ්ව විද්‍යාලයේ "මුල්ලිවයික්කාල් සැමරුම්" තහනම් කරයි

මැයි 18 වැනි දා යාපනය විශ්ව විද්‍යාලය තුල පැවැත්වීමට නියමිතව තිබූ 'මුල්ලිවයික්කාල් සැමරුම' තහනම් කිරීමට, විශ්ව විද්‍යාල පරිපාලනය, මිලිටරිය සහ පොලිසිය එක්ව කටයුතු කලේය.

සිවිල් යුද්ධයේදී මරනයට පත්වූවන් සැමරීමට එරෙහිව පනවන ලද මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර, එම සැමරුම්වලට එරෙහි ව කොලඹ ආන්ඩුව ගෙන ගිය පුලුල් වර්ගවාදී වාරනයේ කොටසකි. තරුනයන්ගේ රැඩිකලීකරනය තලා දැමීම ඉලක්ක කර ගෙන රාජපක්ෂ ආන්ඩුව විශ්ව විද්‍යාලතුල වර්ධනය කරමින් සිටින මර්දනකාරී වැඩකටයුතු සමග ද මෙම වාරනය බැඳී පවතී.

2009 වසරේ දී මහින්ද රාජපක්ෂ ආන්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සහ ඉන්දියාවේ සහාය ඇති ව, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය මිලිටරිමය අවසානයකට ගෙන ආවේ ය. යුද්ධයේ අවසන් සතියේ දී මුලතිවු හි මුල්ලිවයික්කාල් හි දී රුදුරු ජන ඝාතනයක් සිදු කරමින් 40,000කට ආසන්න ජනතාවක් ජීවිතක්ෂයට පත් කෙරුනි. සෑම වසරක ම මැයි 18 වැනි දින යුද්ධයෙන් මියෑදුනු එම ජනතාව අනුස්මරනය කෙරෙයි.

මැයි 17 දින සිට යාපනය විශ්ව විද්‍යාලය අවට මාර්ගවල පොලිස් සහ මිලිටරි මුර කන්ඩායම් යොදවා තිබුනි. මැයි 18 වැනි දින තවත් පොලිස් කන්ඩායම් එම ස්ථානයට කැඳවමින් මුරකාවල් වඩාත් තර කෙරුනි. පොලීසිය, සැමරුම සඳහා විශ්ව විද්‍යාල පරිශ්‍රය තුලට ශිෂ්‍යයන් ඇතුල්වීම වැලැක්වීමේ අරමුනෙන් යන එන අය නතර කරමින් ප්‍රශ්න කර තිබේ.

දෙමල මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙහි දී තොරතුරු රැස් කිරීමට පැමිනි මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද පොලිස් අඩන්තේට්ටම් කිරීම්වලට ලක් ව ඇත. ඔවුන් නතර කර ඔවුන්ගේ යතුරුපැදිවල යතුරු අත් අඩංගුවට ගෙන ලබාගත් ඡායාරූප සහ වීඩියෝ මකා දමන ලෙසට බල කර ඇත.

කෙසේ නමුත් ශිෂ්‍යයන් රහසිගත ව විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පිහිටා ඇති මුල්ලිවයික්කාල් ස්මාරකය ඉදිරිපිට බැනරයක් එලා පහනක් දැල්වීමට සමත් වී ඇත. එම බැනරයේ “මැයි 18 දෙමල ජනසංහාරක දිනය” යනුවෙන් සටහන් වී තිබුනි. කෙසේ නමුත්, ටැමිල් ගාර්ඩියන් සඳහන් කරන ආකාරයට ස්වල්ප වේලාවකට පසු ආරක්ෂක අංශ නිලධාරියෙකු එම පහන නිවා දමා බැනරය එම ස්ථානයෙන් ඉවත් කර දමා තිබේ. පසු ව මෙම පහන් දැල්වීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයේ දෙ දෙනෙකු කෝපායි පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ අලුතින් ඉදිකල මුල්ලිවයික්කාල් ස්මාරකය ඉදිරිපිට සිදු කෙරුනු සැමරුම

පොලිසිය සහ මිලිටරිය මෙම කඩා පැනීම ඉස්මත්තට ගත්තේ යාපනය තුල මුල්ලිවයික්කාල් සැමරුම් තහනම් කිරීමේ පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් තීන්දුවක් දී තිබූ පසුබිමකයි.

රාජපක්ෂ ආන්ඩුව දියත්කොට ඇති වර්ගවාදී ප්‍රකෝපකරන මාලාවේ කොටසක් ලෙස, මෙම වසරේ ජනවාරියේ රාත්‍රියක විශ්ව විද්‍යාල පරිශ්‍රයට කඩා වැදුනු මිලිටරිය 2019 දී එහි ඉදි කරන ලද මුල්ලිවයික්කාල් ස්මාරකය බිඳ දැමීමට කටයුතු කලහ.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට විරෝධය පල කරමින් සිසුහු උපවාසයක් ආරම්භ කල අතර වාර්ගික රේඛා ඉක්ම යමින් මෙම ක්‍රියාවට එරෙහි ව විරෝධය ගොනු වත් ම දෙමල ධනපති දේශපාලකයන් ගේ මැදිහත් වීම මත විශ්ව විද්‍යාලයේ උපකුලපති සත්ගුනරාජා එය නැවත ඉදිකිරීමට එකඟ විය. නැවත ඉදිකල ස්මාරකය පසුගිය අප්‍රේල් 23 වැනි දා විවෘත කෙරුනි. මෙය ආන්ඩුවේ ගනන් බැලීම් මත සිදු කෙරුනු බව ඉතා පැහැදිලිය.

යාපනය විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයන්ට දශක ගනනාවක් තිස්සේ බලගතු මිලිටරි අධීක්ෂනයක් යටතේ තම ජීවිතය පවත්වා ගෙන යාමට සිදු ව ඇත. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් ඉක්බිති, “ආරක්ෂාව තහවුරු කිරීමේ” සෝදිසි මුවාවෙන් විශ්ව විද්යාලය තුල දෙමල ජාතිකවාදී දේශපාලනයට එරෙහි දරුනු කඩා පැනීමක් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව දියත් කලේ ය. එවක උපකුලපති රත්නම් විග්නේෂ්වරන් ඔහු දැරූ දේශපාලන අදහස් හේතුවෙන් තනතුරෙන් පහ කෙරුනි. එය සිදු කෙරුනේ මිලිටරියේ ඝෘජු මැදිහත් වීමෙනි.

මෙම ප්‍රහාරය ඉදිරියට ගෙන යමින්, පසුගිය වසරේ දී, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන විශ්ව විද්‍යාලයේ නීති පීඨාධිපති කුමාරවඩිවේල් ගුරුපරන්ට සේවයේ යෙදී සිටියදී අධිකරන කටයුතුවලට පෙනී සිටීම තහනම් කෙරුනි. හමුදා අත් අඩංගුවේ දී අතුරුදහන් කෙරුනු දෙමල තරුනයන් වෙනුවෙන් ගොනු කෙරුනු නඩුවක පෙනී සිටීම ගුරුපරන්ට එරෙහි දඩයම පිටුපසින් පැවති හේතුව යි. මිලිටරියේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වූ මෙම දඩයම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් සම්බන්ධීකරනය කෙරුනි. අවසානයේ ගුරුපරන් විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා අස් විය.

සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය තුල වර්ධනය කෙරෙන රුදුරු මර්දන යාන්ත්‍රනයට මෙම ප්‍රහාරයන් සම්බන්ධිතය. කොවිඩ්-19 වසංගතය හමුවේ රාජපක්ෂ ආන්ඩුව අනුයන, ධනපති ලාභය වෙනුවෙන් මනුෂ්‍ය ජීවිත බිලිදීමේ ප්‍රතිපත්තිය මහජන කෝපය අවුුලුවා ඇත. දශක ගනනක සිවිල් යුද්ධය ඇතුලු සමාජ ප්‍රතිවිප්ලවයෙන් ගොඩ ගැසී ඇති සමාජ ආතතීන් පුපුරා යාමක දී තරුනයන් ඉටු කරනු ඇති භූමිකාව සම්බන්ධයෙන් පාලක පන්තිය තුල පවත්නා භීතිය මෙම ප්‍රහාරයන් පසුපස පවතින උත්සුකයයි.

පසුගිය මාර්තු මාසයේ දී කොලඹ විශ්ව විද්‍යාල පරිපාලනය ශිෂ්‍යයන්ට සමාජ මාධ්‍ය තුල වාරනයක් පැනවීය. ශිෂ්‍යයන් අතර දේශපාලනිකව අදහස් හුවමාරු කර ගැනීම හා සංවිධානයවීම වැලැක්වීම මෙහි අරමුනයි. අනෙකුත් විශ්ව විද්‍යාල පරිපාලනයන් ද මෙය අනුයනු ඇත. තරුනයන්ට අනිවාර්ය හමුදා පුහුනුව ලබා දෙන බවට මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර යෝජනා කල අතර දැනටමත් හමුදාවට බඳවා ගැනීම් පුලුල් වශයෙන් සිදු කෙරී ගෙන යයි. එම බඳවා ගැනීම්වල දී දෙමල තරුනයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත.

ආන්ඩුවේ මෙම ප්‍රහාරයන් පරාජය කල හැක්කේ ද සිවිල් යුද්ධයේ නොවිසඳුනු ගැටලුවලට විසඳුම් සෙවිය හැක්කේ ද ජාත්‍යන්තර සමාජවාදී පදනමක සිංහල දෙමල කම්කරුවන් ඒකාබද්ධ ව ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවකට සටන් කිරීමෙනි. සමාජවාදී සමානතා පක්ෂයේ තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ හා එක් වෙමින් මෙම අරගලය අතට ගන්නැයි අපි සිසුන්ගෙන් සහ තරුන කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading