ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි ලිපි සරනිය

කලාත්මක සත්‍යය

සිව්වැනි ලිපිය (iii කොටස)

ඉස්කුස්ත්වෝවිදෙත්මිර් (ලෝකය දැකීමේ කලාව) නමැති රුසියානු ග්‍රන්ථයෙහි මුල් වරට (1928) පල වූ “කලාත්මක සත්‍යය ගැන” නමැති ලිපියෙනි මෙම ලිපිය කොටස් හතරකින් පල කෙරෙන අතර අවසන් කොටස 2023 ජනවාරි 12දා පලකරමු. තාක්ෂනික කාරනයක් හේතුවෙන් මෙහි තෙවැනි කොටස කලින් දන්වා තිබූ ජනවාරි 2දා පලකිරීමට නොහැකිවීම ගැන අපගේ පාඨකයන්ට අපගේ කනගාටුව පල කරමු .

හැඳින්වීම | 1 ලිපිය | 2 ලිපිය - i | 2 ලිපිය - ii | 3 ලිපිය - i | 3 ලිපිය - ii | 4 ලිපිය - i | 4 ලිපිය - ii | 4 ලිපිය - iii |


***

තොල්ස්තෝයි මෙන් ම දොස්තයෙව්ස්කි ද පුද්ගලයාගේ අවිඥානක කල්ක්‍රියාව චිත්‍රනයෙහිලා වෙසරදෙක් විය. එහෙත්, තොල්ස්තෝයිට ප්‍රතිකූලව, ඔහු සතු වූ අවිඥානක බලවේග කිසිසේත් හිතකර නොවී ය. ඒවා සැම විට ම පාහේ දුශ්ට, ද්‍රෝහී සහ මිනිසාට වින කටින බලවේගයෝ වූහ.

ක්‍රස්නයානොව් (රතු නැවුම් පස) සඟරාවේ පස්වැනි සංවත්සරය සමරන අවස්ථාව (1926 ජූනි); වමේසිට දකුනට වාඩි වී සිටින සිව්වැන්නා බොරීස් පිල්නියැක්, පස්වැන්නා වොරොන්ස්කි, සත්වැන්නා කාල්රඩෙක්; වමේසිට දකුනට සිට ගෙන සිටින පස්වැන්නා මිහායි ්ගෙරාසිමොව්, සත්වැන්නා ඉසාක් බාබෙල්

අපේ දෘශ්ටිකෝනයට අනුව, අවිඥානය කෙරෙහි තොල්ස්තෝයි හා දොස්තයෙව්ස්කි දැරූ ආකල්ප ද්විත්වය ම ඉතා වැදගත් නවීකරනයන්ට බඳුන් විය යුතු ය. තොල්ස්තෝයිට අනුව, නිර්මානාත්මක බලවේගය හුදු අවිඥානය යි. තර්ක බුද්ධිය කෙරෙහි ඔහු විශ්වාසය නොතැබී ය. තොල්ස්තෝයිගේ කෘති තුල සහේතුකය (rational) සැම විට ම පවතිනුයේ නිසරු හා අජීවී දෙයක් වසයෙනි. එය, නොවිසඳුනු ප්‍රතිවිරෝධයන්ගේ වංකගිරිය වෙත මිනිසා කැටුව යන අතර ජීවන සුඛාස්වාදයන් කෙරෙන් ඔහු ඈත් කොට තබයි. මීට පටහැනිව, දොස්තයෙව්ස්කිට අනුව අවිඥානය යනු පවිටු, විනාශකාරී සහ මාරක ධාතුවකි. මෙකී සදාතනිකව කැරලිකාරී, මුරන්ඩු බලවේගය අපි ආශ්චර්යයේ, ආධිපත්‍යයේ හා අද්භූතභාවයේ සන්නාහයෙන් සන්නද්ධ කොට එය වැඩෙහි යෙදවිය යුතු වෙමු; මිනිසා මත ජීවිතාරක්ශක විලංගු හෙලා ඔහු තුල රජයන්නා වූ “ස්විද්‍රිගයිලෝවාදය, කරමසෝවාදය හා ස්මෙර්දියාකෝවාදය”[15] බැඳ දැමිය යුතු වෙමු; ධර්මාධිකරන විවිසුවාගේ (Inquisitor)බලසම්පන්න හා බුද්ධිමත් අභිප්‍රායයන් මගින් සහස්‍ර සංඛ්‍යාත කලහකාරී ජනසන්නිපාතය අස්වැසිය යුතු වෙමු. සමාජ ජීවිතය හා එහි සිදුවීම් නිරූපනයෙහි වේවා තනි පුද්ගලයෙකුගේ මානසිකත්වය කලාත්මකව විශ්ලේශනය කිරීමෙහි වේවා අභිනවයෙන් නැඟී ආ [කම්කරු] පන්තියෙහි ලෝක දෘශ්ටියට හා ඉදිරිදර්ශනයට අනුරූපීව, මනෝවිද්‍යාව විශයයෙහි නවතම සොයාගැනුම්වලට අනුරූපීව, සවිඥානය හා අවිඥානය අතර සබැඳියාව පිලිබඳ ප්‍රශ්නය තමන්ට ම ආවේනික ලෙස වගවිභාග කර ගැනුමට අපේ කලාකරුවෝ බැඳී සිටිත්.

තොල්ස්තෝයි, දොස්තයෙව්ස්කි හා සාහිත්‍ය කලාවේ සෙසු දැවැන්තයන්ගේ කලාමය සොයාගැනුම් දැඩිව ස්වීකරනය වීමෙන් අනතුරුව, සවිඥානය හා අවිඥානය අතර පවතින පරස්පරයන්හි සාපේක්ශ හා කොන්දේසිමය ස්වභාවය තම කෘති මගින් විදහා පෑමට ඔවුහු සමර්ථ විය යුත්තාහ. දොස්තයෙව්ස්කිගේ සර්වාශුභවාදය සීමා කරනුව ඔවුන් තොල්ස්තෝයි තම සහායට කැඳවිය යුතු අතර තොල්ස්තෝයිගේ සර්වශුභවාදය නිවැරදි කරනුව ඔවුහු දොස්තයෙව්ස්කිගේ පිහිට පැතිය යුත්තාහ. පැරනි සම්භාව්‍ය කෘති ‘අභිභවා’ පෙරට යෑමට අපට හැකි වනුයේ එමගින් පමනි...වත්මන් ලේඛකයන් අතර ජීවිතයේ අවිඥානක මූලාශ්‍රයන්ට බෙහෙවින් සංව්දී තැනැත්තන් වනුයේ බාබෙල්, [බොරීස්] පිල්නියැක් සහ සිවලොඩ් ඉවානොව් ය. එසේවතුදු මොවුන් තර්ක ඥානය පිලිගන්නේවත් විශ්වාස කරන්නේවත් නැත. කිවිසුරන් අතර යෙසෙනින්, පැස්ටර්නැක් සහ නිකොලායි ටිඛොනොව් මිනිසා සතු ධාතුජ බලය හඟිති. වඩාත් හේතුවාදී කවීන් වනුයේ [යූරි] ලිබෙඩින්ස්කි, [ජෝර්ජි] නිකිෆොරොව්, [ඇලෙක්සැන්ඩර්] බෙසිමෙන්ස්කි සහ [ඇලෙක්සැන්ඩර්] ශාරොව් ය. බොහෝ ලේඛකයන් හට සවිඥානය හා අවිඥානය අතර ඥාතිත්වය යනු උදක් තව ම නොපවතින යමකි: මෙහිලා ඔවුන්ගේ නොසැලකිල්ල කොතරම් තුමුල ද යත් එහි වැට මායිම බොලඳකම ය. කලාකරු තම මුලු වැර යොදා නිබඳව ම ප්‍රයත්න දරනුයේ තාර්කිකව පහදාලිය නොහැකි කටයුතු හා ක්‍රියා සඳහා සවිස්තර අභිප්‍රේරනයක් සැපයීමට ය: වීරයාගේ ආත්මය තුල එකදු අඳුරු හෝ නිර්ගවේශිත කලාපයක් ඉතිරි නොකරමු. එහෙත්, මෙය ඉඳුරා ම සිදු නොවනවා මතු නොව සිදු විය හැකි ද නොවේ. සජීවී මිනිස්සු “මුලුමනින්” පාරදෘශ්‍ය නොවෙති. මානව අධ්‍යාත්මය තුල පෘථුල වූ ද, අභිරහස්‍ය වූ ද මෙතෙක් යන්තම් ගවේශනය කෙරුනු ප්‍රදේශ පවතී; මුහුදු ආගාධ සදිසි මේවා තුල දැකීමට හසු නොවන බලගතු ස්වයං පරිපූර්න ජීවිතයක් සැඟවී ඇත. එහෙත්, මෙකී ජීවිතය ගැඹුර විනිවිද මානව සවිඥානය මතුපිට තෙමේ ම ප්‍රාදුර්භූත වනුයේ මිනිසෙකු පෙර කිසි දවසක නොකල දෑ සිදු කරයි. ඔහුගේ සිතිවිලිවල හා හැඟීම්වල සුපුරුදු සංවිහිතිය (disposition) මෙන් ම ඔහුගේ ගති ස්වභාවය ද, අවට පරිසරය කෙරෙහි සිය ආකල්පය ද අනපේක්ශිතව වෙනස් වෙයි. තරුන විප්ලවීය පන්තීහු සැම විට ම අන්ධ සහජාශයන්ට හා අවිශද මනෝභාවයන්ට ප්‍රතිකූලව අත්‍යධික හේතුවාදයට හා තර්ක ඥානයේ නිර්මානාත්මක බලය කෙරෙහි අතිශයෝක්තිගත විශ්වාසයක් වෙත නැඹුරු වූහ යි ජනයා කියා සිටී. මානව තර්ක ඥානයේ අති මහත් විපරිනාමීය වැදගත්කම අවම කරනුව මම කිසිසේත් නැඹුරු නොවෙමි. එහෙත්, මාක්ස්වාදය කිසි කලෙක අධ්‍යාශය ලොව පාලනය කරයි යන දෘශ්ටිය දරා සිටියේ නැත. මාක්ස්ගේ අනුගාමිකයෝ සැම විට ම සමාජ සන්තතීන්හි ධාතුජ ස්වභාවය වටහාගෙන සිටියහ; එය සැලකිල්ලට ගත්හ. මාක්ස්ගේ ම ප්‍රකාශයක් භාවිත කරතොත්: “ඓතිහාසීය අරගලයෙහි දී, අප විවිධ පුද්ගලයන්ගේ වාක්‍යාංශ හා පරිකල්පනයෙහි නිපැයුම් අතර ද, ඔවුන්ගේ සැබෑ ඓන්ද්‍රියකය (organism) හා අව්‍යාජ අභිරුචි අතර ද පවතින වෙනස හඳුනා ගත යුතු ය; ඔවුන්ගේ අධ්‍යාශ ඒවායෙහි සැබෑ අන්තර්ගතයෙන් වෙන් කර ගත යුතු ය.” යමෙකුගේ පෞද්ගලික නැතහොත් ස්වකීය ජීවිතය අරබයා ද මෙය අදාල වෙයි. මාක්ස්වාදය යනු විද්‍යාවකි. නිර්ධන පන්තියට “ලෝකය පිලිබඳ මායාව” අවැසි නැත. සෝවියට් දේශය ප්‍රතිශ්ඨාපනය කිරීමෙහි දී හා එය වැර ගැන්වීමෙහි දී, නිර්ධන පන්තිය [ඉතිහාසයේ] පලමු වරට අවැසියාවේ රාජධානියේ සිට නිදහසේ රාජධානිය වෙත ද, ධාතුජ පාලන ධාරාවේ සිට සමාජ සංවර්ධනයේ සහේතුක මෙහෙයවීමෙහි ධාරාව කරා ද ප්‍රායෝගික පිම්මක නිරතව සිටී. එහෙත්, නිශ්චිතව ම මෙකී හේතුව කරනකොටගෙන, එහි නායකයන්, න්‍යායාචාර්යවරුන් හා කලාකරුවන් අතීතයේ ද, වර්තමානයේ ද, අභිනවයෙන් දිගහැරෙන අනාගතයේ ද සාමාජීය හා පුද්ගල ජීවිතය තුල සවිඥානයේ හා අවිඥානයේ සාපේක්ශ ආනුභාව දූරදර්ශීව, විශදව හා මධ්‍යස්ථව නිර්නය කිරීමට සමර්ථ විය යුතු ය...

අපට කලාත්මක සත්‍යයන්හි අපරිමේය හිඟයක් පවතී. එහෙයින්, අපි නැවත වරක් ලියෝ නිකොලායෙවිච් තොල්ස්තෝයි සිහියට නඟා ගනිමු. තොල්ස්තෝයි මහා ප්‍රාඥයෙකි. තොල්ස්තෝයි ඉසිවරයෙකි. තොල්ස්තෝයිලා පහල වනුයේ අඩ සහස්‍රයකට නැතහොත් සහස්‍රයකට වරකි. නමුත්, ඔහුගේ කලාකෘති තුල අඩංගු අපූර්ව හා විස්මයාවහ චිත්තාකර්ශන බලය රැඳී තිබෙනුයේ කොහි ද? මෙකී මනබැඳ ගැනුමේ ශක්‍යතාවට පිවිසෙන යතුර කොහි ද? අප මේ යතුර අන් සියල්ලට ම පෙර සෙවිය යුත්තේ තොල්ස්තෝයි ලියමින් සිටි දැයෙහි සරලතාව හා පොදු, අනිවාර්ය දැනුම තුල ය. තොල්ස්තෝයි නිරූපනය කලේ, දෙන ලද ඒ ඒ තත්ත්වය යටතේ සරලතම හා අනිවාර්යතම අධ්‍යාත්මික මානව ශක්ති ස්වභාවයන් පමනි. වෙන් කර ගැනුමට ඔහු සමත් වූයේ ඉතා ම ප්‍රත්‍යක්ශ, අපරිහාර්ය හා ඒකාන්ත දේ පමනි. ඔහුගේ කුදු මහත් කලාත්මක ප්‍රබලතාව නොතකා, අල්පමාත්‍රයක අනුමානයක් හා ව්‍යාකූලත්වයක් සහිත සියල්ල ඔහු තම හෘදයසාක්ශියට එකඟව පලවා හැරී ය. බොහෝ සංකීර්න, සත්‍යාපනයෙන් තොර සාවද්‍යතාවක්, දුමාරයෙන් ගහන හෝ අවිශද හෝ වාචික සූත්‍රායනයක් බවට පෙරලිය නොහෙන හෝ සියල්ල වෙතින් හේ දුරස්ථව සිටියේ ය. ඔහු කිසිවක් ගොතා හෝ සිතා ලීවේ නැත. තමා නොදැන සිටි දෑ ලිවීමෙන් ඔහු වැලකී සිටියේ ය. එසේ ම, සිදු විය හැක්ක මෙන් ම සිදු නොවිය හැක්ක[16] පිලිබඳව ද ඔහු කිසි විටෙක නොලීවේ ය. වෙනස් නොවන දෙයින් වැඩ ඇරඹූ තොල්ස්තෝයි සතුව උසස් මට්ටමක සිහි බුද්ධියක් හා අඛන්ඩ සංයමයක් තිබින. එබැවින්, අසාමාන්‍ය හෝ ත්‍රාසජනක දෑ තුල පාඨකයා ගිල්වා තැබීමෙහි අවශ්‍යතාවක් ඔහුට නොවී ය. තියුනු හා කර්කශ තත්ත්වයන් ගැන ද මනමෝහනීය, වික්ශිප්ත හා සංකීර්න වස්තු බීජ ගැන ද සිතීමට ඔහුට සිදු නොවී ය. සාටෝපය ප්‍රදර්ශනය කරනුව, නැතිනම්, භාවාතිශය අතුරු කථාවලින් පාඨකයා මවිත කරනුව වාක්ඡල බසකින් ලිවීමට ඔහුට සිදු නොවී ය. කොටින් ම, බොහෝ ලේඛකයන් විසින් අඛන්ඩව සිදු කෙරුනු, දැනුදු සිදු කෙරෙන මොනයම් දෙයක් වුව තොල්ස්තෝයි අතින් සිදු නොවී ය. ස්වකීය යුගයෙහි ඉහල පෙලේ කුලදෙටු ජීවිතය, ඉඩම් හිමියන්ගේ ජීවන රටාව හා ගොවි ජනයාගේ දිවි පෙවෙත මැනවින් දැන සිටි තොල්ස්තෝයි ඒවා නිරූපනය කලේ ය. ඒ අතර ම, නිර්ප්‍රභූ බුද්ධිජීවී ස්ථරයෙහි, සුලු ධනේශ්වරයෙහි, වෙලෙඳ ප්‍රජාවෙහි සහ නිලධාරි තන්ත්‍රයෙහි ජීවිතය පිලිබඳව නොදැන සිටි ඔහුට ඔවුන් කෙරෙහි උනන්දුවක් නොතිබුනා මතු නොව ඔහුගේ කෘති මුලුමනින් ම පාහේ මොවුන්ගෙන් විනිර්මුක්ත ද විය. මෙකී හේතුව නිසා ම, කම්කරුවන් ද නාගරික හා ග්‍රාමීය දුගීන් ද හේ නිරූපනය නොකලේ ය. එහෙත්, මූලික කාරනාව වනුයේ සරල, අත්‍යවශ්‍ය හා අනිවාර්ය දෑ ඔහු අතින් නිරූපනය වීම යි. කලාකරුවෙකු හැටියට, හෙතෙම සිය නිර්මානකරනයෙහි උත්තරීතර මූලධර්මය ලෙස ඔසොවා තබනු ලැබුවේ සරලතාව යි. පියෙරි මෙලෙස සිතීම අහඹුවක් නොවේ: “සරලතාව යනු දෙවියන් වහන්සේට අවනත වීම යි.”

ලියෝ තොල්ස්තෝයි [Photo: Ivan Kramskoi, Public domain, via Wikimedia Commons]

සිය වීරයන්ගේ අභ්‍යන්තරික ගතිගුන විස්තර කිරීමෙහිලා තොල්ස්තෝයි විසින් උපයෝග කර ගැනුනේ කවර ඡේකප්‍රයෝග ද?

ඇන්ඩ්‍රි බොල්කොන්ස්කි තුවාල ලැබ රනබිමෙහි වැතිර සිටී. බැලූබැල්මට, කලාකරුවෙකු හට කොතරම් ශුභදායී තේමාවක් ද? පරිකල්පනය උදෙසා කොතරම් ඔබින වපසරියක් ද? ඉතා ශෝකාකූල පිටු කොතෙක් නම් ලිවිය හැකි ද? වර්තමානයෙහි, මෙබඳු ජවනිකා විස්තර කිරීමෙහි දී කොපමන කරුනුකාරනා ප්‍රමානයක් කඳුගැසේ ද? එහෙත්, තොල්ස්තෝයි මේ එකදු විධියක් අනුගමනය නොකලේ ය:

...ඇන්ඩ්‍රි දෑස් විවර කර අවට බැලුවේ කාලතුවක්කු භටයන් සහ ප්‍රංශ සෙබලුන් අතර සටන කෙසේ නිමාවට පත් වී දැයි දැක ගනු රිසියෙනි. රතු කෙසැති වෙඩික්කරු මැරී වැටුනා ද නැද්ද? තුවක්කු බතරොයිය උදුරා ගැනුනි ද නැතිනම් බේරා ගැනුනි ද? යන වග දැන ගැනුමට ඔහුට වුවමනා විය. එහෙත්, ඔහු දුටු දෙයක් නැත. දැන් ඔහුගේ හිස ඉහලින් පැවතුනේ ආකාශය– තුඟු අහස් කුස, තව මත් නොපැහැදිලි වුව අපරිමිත උසට පැතිරෙන, අලුවන් මේඝ වලා සෙමෙන් පා වී යන අනන්ත ආකාශය පමනි. “කොතරම් නිසල ද, සාමකාමී ද, සන්සුන් ද? කිසිසේත්, මා දිව්වා වගේ නොවෙයි” ඇන්ඩ්‍රි කුමරු සිතී ය: “අප තැන තැන දුවමින්, කෑකෝ ගසමින්, යුද වැදී සිටින විට වගේ නොවෙයි. කිසිසේත්, වෙඩික්කරු හා ප්‍රංසකාරයා තැති ගත්, ප්‍රකුපිත මුහුනුවලින් යුතුව කාලතුවක්කු මුස්නයට පොරබැදුවා වගේ නොවෙයි: මේ අනන්ත, අපරිමිත ආකාශය හරහා වලාකුලු පා වෙන හැටි කොතරම් වෙනස් ද! මේ ඉමක් කොනක් නැති අහස් ගැබ මින් පෙර මගේ ඇස නොගැටුනේ ඇයි? අන්තිමේ දී, එය දැක ගන්ට ලැබීම මොන තරම් සතුටක් ද! ඔව්, මේ අනන්ත ආකාශය විනා කිසිවක් නැත. අන් සියල්ල පුහු මායාවකි, ව්‍යාජයකි. නිශ්ශබ්දතාවත් සමාදානයත් මිස අහස පවා පවතින දෙයක් නොවෙයි. දෙවියන්ට ස්තුති වේවා!

මෙහි සබලතාව පවතිනුයේ නෙත් ඇර බලන ඇන්ඩ්‍රි කුමරු අනන්ත ආකාශය දැක ගැනුම තුල බැව් කියන්ටත් පුදුම ය. වඩා සංකීර්න චරිත නිරූපන කෙරෙහි ඇබ්බැහි වූ පාඨකයෙකු මෙසේ අසනු ඇත: එපමන ද? එසේ ය! එපමනි. නමුත්, තොල්ස්තෝයිගේ සකල සුධීමත්වය පවතිනුයේමෙකී ‘ඒකමාත්‍රයෙහි’ (only)ය. අපරිමේය අහස් කුස දෙස බලා සිටීම, මඳකට පෙර පැවති සටනේ ඝෝශාව සමඟ එය සැසඳීම, ආකාශය හැර සියල්ල මායාවකැයි හැඟී යෑම – මේ හැම දෙය ම ඉතා සරල ය. තොල්ස්තෝයිගේ ප්‍රයෝගය අත්‍යන්තයෙන් ප්‍රාථමික බැව් පෙනේ. එය පාදකව තිබෙනුයේ ප්‍රතිවිරෝධය මත ය. නුබ ගැබ, වලාකුලු, නිහඬතාව හා අනන්තය සංග්‍රාමයෙහි රනගොසට ප්‍රත්‍යාසන්නව (juxtapose) පිහිටුවනු ලැබ ඇත. එහෙත්, ඇන්ඩ්‍රි කුමරු වැතිර සිටි තැනට පැමින තිබෙන, පැමිනෙන හෝ පැමිනීමට ඉඩ ඇති සියල්ලන් හට ම මෙය දර්ශනය වනු ඇත. එය සරල ය, අනිවාර්ය ය. එවිට, අපි දෙදෙනා ම මෙසේ හඟිමු: ඔව්, එය පැවතුනේ ඒ අයුරිනි, එය වෙනත් ආකාරයකට පැවතිය හැකිව නොතිබිනි. මෙය කලාත්මක සත්‍යයකි. අහස පිලිබඳ මෙකී සිතිවිලි සමඟ වෙනත් සිතිවිලි ද බොහෝ විට ඇන්ඩ්‍රිගේ මනසට නැඟෙන්ට ඇත. යුද පිටියෙහි වැතිර සිටියදී වෙනත් සංකීර්න හා අන්‍යතර සංවේදනාවන් ඔහු අත්විඳි නමුත් ඒවා තොල්ස්තෝයිට වැදගත් නොවී ය. හැමට ම සුපැහැදිලි, හැමට ම අනිවාර්ය හැඟීම් හා මනෝගතීන් අහුරකට ඔහු සීමා වීගත් අතර ඒවා සැබෑ ජීවිත ගුනාංගයෝ ද ජීවන සත්‍යයෝ ද වෙත්. නිශ්චිතව ම, ඇන්ඩ්‍රි කුමරුට ආකාශය ගැන කල්පනා කිරීමට සිදු විය; ඔහු දුටු හා සිතූ සෙසු සියල්ල විය හැකිව මෙන් ම නොවිය හැකිව ද තිබුනු බැවින් ඇන්ඩ්‍රි බොල්කොන්ස්කි අත්විඳි අන්‍ය මානසික තත්ත්වයන් තොල්ස්තෝයි ප්‍රතිනිර්මානය නොකලේ ය.

බොරෝදිනෝ සටනෙහි දී, ඇන්ඩ්‍රි බොල්කොන්ස්කි යලිත් වරක් තුවාල ලැබී ය:

බමරයක් මෙන් කැරකී ආ අත් බෝම්බය රනබිමත් තනබිමත් මායිම් වන ඉවුරෙහි, වෝම්වුඩ් පඳුරක් අසල වැතිර සිටි අජුතන් සහ ඇන්ඩ්‍රි අතරමැද දුම් දමමින් පතිත විය. “මෙය මරනය විය හැකි ද?” යි ඇන්ඩ්‍රි කුමරු කල්පනා කලේ තෘන පඳුරු හා වෝම්වුඩ් ගස් දෙසත් තව මත් කරකැවෙන කලු ගුලියෙන් සුස් සුස් හඬින් නික්මෙන දුමාරය දෙසත් මුලුමනින්ම අමුතු, කුඩුකේඩු බැල්මක් හෙලමිනි. “මට බෑ, මට මැරෙන්න අවශ්‍ය නෑ, මම ජීවිතයට ආදරෙයි, මේ ගහකොලවලට, මේ පොලොවට, මේ වා ගැබට මම ආදරෙයි...” මෙසේ කල්පනා කරන අතර ජනයා තමා දෙස බලා සිටින බව ඔහුට පසක් විය...[අවධාරනය ඒ. වී.]

ඉතා ම වැදගත් හා අනිවාර්ය මානසික තතු නිරූපනයක් මෙහි අපට හමු වෙයි. අනුමානයක්, අහම්බයක්, නැතහොත් “විය හැකිව හෝ නොවිය හැකිව” තිබුනු කිසිවක් මෙහි අඩංගු නැත. තොල්ස්තෝයි සැම විට ම එලෙස ය. කලාත්මක නිරූපනයෙහිලා බොහෝ විට අපොහොසත් අසාමන්‍ය හා සංකීර්න මනෝභාව විස්තර කරන කල්හි පවා ඔහු සැම විට ම සරල වූත් අත්‍යවශ්‍ය වූත් පරිකල්පනරූප සොයා ගනී. ඇන්ඩ්‍රි බොල්කොන්ස්කිගේ අධ්‍යාත්මික මරනය පිලිඹිඹු කෙරෙන දුස්ඃස්වප්නය පිලිබඳ චිත්‍රය එබඳු එක් නිදසුනකි.

තමා සැබවින් මවැතිර සිටි කාමරයෙහි ම වැතිරී සිටින අයුරු ඔහුට සිහිනෙන් පෙනුනි. වෙනසකට තිබුනේ, ඔහු මනා සුවයෙන් පසු වීම යි; තුවාල නොලැබ සිටීම යි. නොයෙක් තාරාතිරමේ මිනිස්සු ඔහු පිරිවරාගෙන සිටිත්. වැදගැම්මක් නැති හා කමකට නැති අය ද ඒ අතර වෙත්. ඔවුන් සමඟ කතාබහට වැටුනු හෙතෙම නිසරු වාදයක පැටලුනි. ඔවුහු කොහේ දෝ යෑමට සැරසෙත්. මේ සියල්ල නොවටිනා බවත් කොතෙකුත් වැදගත් දේ තමා හමුවෙහි තිබෙන බවත් ඔහුට අනියමින් සිහිපත් විය. එහෙත්, නොකඩවා දොඩමලු වූ හෙතෙම ඔවුන් මවිත කරවනසුලු හාස්‍යොත්පාදක ප්‍රලාප ඇදබෑවේ ය. ඉක්බිති මේ පිරිස ටිකෙන් ටික නොදැනීම අතුරුදහන් වීමට පටන් ගත් අතර එක ම එක පැනයක් විසින් අන් හැම දෙය ම විස්ථාපනය කෙරින: කාමරයෙහි දොරගුලු වැටී නොතිබීම ය. වහා නැඟී සිටි ඔහු දොර දෙසට පියවර තැබුවේ අගුලු හිස සීරුමාරු කරනු පිනිස ය. සියල්ල රැඳී තිබෙනුයේ අගුල තද කිරීමට ඔහුට හැකි වේ ද නොවේ ද යන්න මත ය. ඔහු කඩිනමින් ඇවිදීමට තැත් කල නමුදු දෙපා සෙලවිය නොහැක. දොරගුලු ලෑමට තමා අපොහොසත් වන බවක් ඔහුට දැනී ගිය ද, ඔහු වේදනාකාරීව සිය සකල කාය බලය යොදවා වෑයම් කලේ ය. වටින් ගොඩින් ආ භීතියක සේයාවක් ඔහුගේ සියලඟ වෙලා ගති. මේ භීතිය වනාහි මර බිය යි: දොර පිටුපස යම් කිසිවෙක් සිටී. අසරන ඇන්ඩ්‍රි ඉතා අසීරුවෙන් දොර දෙසට ගාටන අතර පිටත සිටින මේ භයංකර අමුත්තා දොර තල්ලු කරගෙන බලෙන් ඇතුලු වීමට මාන බලයි. කිසියම් අමනුස්සයෙකු දොර විවෘත කිරීමට සැරසෙන අතර කෙසේ හෝ එය වැලැක්විය යුතුව ඇත. අගුලු ලෑමට පමා වූවා වැඩි ය. එහෙයින්, දෑතින් ම දොර බදා ගත් හෙතෙම හුදෙක් එය අල්ලාගෙන සිටීමට සිය මුලු ශක්තිය ම යෙදවී ය. එහෙත්, සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් ඒ භයංකර අමුත්තා දොර වැරෙන් තල්ලු කරන අතර එය මොහොතකට ඇරී යලි වැසුනි. අනතුරුව, නැවත වරක් එලෙස තල්ලු කරනු ලැබී ය. කෙලවර, ඔහුගේ අතීන්ද්‍රිය ප්‍රයත්නයන් ද නිශ්ඵල වූ කල්හි, දොර පලු දෙක ම නිහඬව විවර කරගෙන අමුත්තා ඇතුලු විය. ඒ වූ කලි මාරයා යි. ඇන්ඩ්‍රි කුමරු මරුට බිලි විය. නමුත්, එකෙනෙහි ම, තමා නින්දේ පසු වූ බව සිහි වී ඔහු මහත් ආයාසයෙන් අවදි විය: “හැබෑට ම, ඒ මරනය තමයි! මම මැරී ඉපදුනෙමි. ඔව්, මරනය යනු අවදි වීමකි” යන සිතිවිල්ල එසැනින් ඔහුගේ ආත්මය පුරා පැතිර ගිය අතර මෙතෙක් ඔහුගේ අධ්‍යාත්මික දෘශ්ටිපථය මුවා කරගෙන සිටි, අඥානය සඟවාගෙන සිටි කඩතුරාව ඉවත් විය. තමා තුල මෙතෙක් සිරගතව තිබුනු කිසියම් බලවේගයකින් නිදහස් වූ සෙයක් ඔහුට හැඟී ගිය අතර එම අද්භූත සහනය ඔහු අත් නොහැර දිගට ම පැවතින. [අවධාරනය ඒ. වී.]

ඇන්ඩ්‍රි බොල්කොන්ස්කි කුමාරයා අත්විඳි දෑ අයත් වනුයේ සාමාන්‍ය හා ප්‍රකෘති තතු යටතේ තේරුම් ගැනුම දුශ්කර මනෝ ප්‍රපංච ධාරාවකට ය; ඔහුගේ හැඟීම් හා සිතිවිලි නිරූපනය කිරීම ඊටත් වඩා අසීරු ය. එසේවතුදු, තොල්ස්තෝයි ඒ සඳහා සරලතම හා අනිවාර්යතම කලාත්මක උපක්‍රම සොයා ගති. ඔහු ඇන්ඩ්‍රි කුමාරයාගේ ජීවිත වියෝගය නිරූපනය කලේ බොහෝ දෙනෙකු විසින් හඟිනු ලැබ හා අත්විඳිනු ලැබ තිබෙන, හැම දෙනාට ම සමීප හා වැටහෙනසුලු පොදු ස්වප්නයක ආධාරයෙනි. ඇන්ඩ්‍රි බොල්කොන්ස්කි දුටු දෑ – නොවැටහෙන, බියජනක හා නාඳුනන යම් කිසිවෙකු දොර තල්ලු කරගෙන ඇතුලු වීමට වෑයම් කිරීම, ඒ කවරෙකු වුව අප වහා දොරගුලු ලෑ යුතු ය යන සංවේදනාව, තීරනාත්මක මොහොත දැනට මත් ගිලිහී ගිය සෙයක් හැඟී යෑම, දොරගුලු ලෑමට දැරුනු දුශ්කර ප්‍රයත්න මතු නොව දොර මඳක් ඇරී වැසෙන ඒ භයංකර අවස්ථාව සහ අන්තිමට දොර පියන් දෙක නිහඬවම විවර වීම යනාදිය අප අතරින් බහුතරය වරකට වඩා අත්විඳ නැද්ද? මෙකී සරල හා ප්‍රත්‍යක්ශ ‘ප්‍රයෝගය’ ඇසුරින් ඇන්ඩ්‍රි කුමරු මුහුන පෑ අර්බුදය වෙත අප සමීපස්ථ කරවන තොල්ස්තෝයි එය වැටහෙනසුලු දෙයක් බවට හරවයි. මේ වනාහි, අනිවාර්යය ඇසුරින් සාක්ශාත් වූ දෑ විශයයෙහි ලද විජයග්‍රහනයක් වන අතර ඇන්ඩ්‍රි බොල්කොන්ස්කිගේ මරනය වෙනුවෙන් තොල්ස්තෝයි කැප කල පිටු කීපයට වඩා දීප්තිමත් වූත් සරල වූත් වෙනත් පිටු ලෝක සාහිත්‍යය තුල තිබේ දැයි මම නොදනිමි.

යථොක්ත මූලික ප්‍රයෝගය තොල්ස්තෝයි කිසි විටෙක පාවා නොදුනි. පොක්ලෝනි කඳු ගැටය මත නැඟි නැපෝලියන් හාපුරා කියා මොස්කව් පුරවරය දකී. තේජෝ බලැති යුදකාමියාගේ සිහියට නැඟුනේ මොනවා ද? ඔහු නැඟී ගත් කඳු පියස වෙත පැමිනෙන ඕනෑ ම හුදී ජනයෙකුගේ සිතට නැඟෙන දෑ ය. ඔහුට දැනුනු මූලික හැඟීම, සැබවින් ම, ධාතුජ, අල්පේච්ඡමෙන් ම ලදබොලඳ ය: “අන්න පේනවා! යාන්තම් ඇති, ඒ කීර්තිමත් ආසියාතික නගරය!... සත්තකින් ම, මම මොස්කව් වෙත සේන්දු වෙලා!... ඒත්, මට හැබෑවට ම මොස්කව් නුවරට පා තබන්ට හැකි වේවි ද?”

තොල්ස්තෝයි කුතුශොව් හට ආදරය පෑවේ ඔහු සැම විට ම ඉතා පොදු දෑ තෙපලූ, ඥානය හා බුද්ධිය මෙන් ම සංකීර්න හා විදග්ධ ගති ස්වභාව ද සුලු කොට තැකූ, ප්‍රාථමික ජනයාගේ සත්‍යයන් කෙරෙහි පමනක් විශ්වාසය තැබූ සරල පුද්ගලයෙකු වූ බැවිනි. කරාතියෙව්, ඉරොශ්කා, අකිම්, ඩෙනිසොව් සහ රොස්තොව් පවුල සරල ය, ප්‍රාග්තන ය. ප්‍රංශ හමුදාව විසින් තමා අල්ලා ගැනුනු කල්හි පියෙරි අත්විඳි අධ්‍යාත්මික විපරිනාමයෙහි අරුත කිම? තොල්ස්තෝයි එය මෙසේ පවසයි:

අනුභවයට රුචි වූ කල්හි හැඟෙන භුංජනයෙහි සුඛය ද පානයට රුචි වූ කල්හි හැඟෙන බීමෙහි සුඛය ද, නින්දට රුචි වූ කල්හි හැඟෙන සැතපීමෙහි සුඛය ද මිනිස් කටහඬක් ඇමතීමට හා ඊට සවන් දීමට රුචි වූ කල්හි හැඟෙන ප්‍රානවත්භාවයෙහි සුඛය ද යනාදිය පියෙරි මුල් වරට පූර්න ලෙස අගය කලේ සිර මඩුවෙහි ගත කල කෙටි කාලය තුල දී ය.

...ඉමහත් කලබැගෑනි සහිත ඛේදනීය 1812 වසර[17] පිලිබඳව තොල්ස්තෝයි මෙලෙස ලිවී ය:

එකී කාලාවධිය පිලිබඳව පැවසෙන කථාන්තර සහ ග්‍රන්ථාරූඪ තොරතුරුවලින් රුසියානුන්ගේ ආත්ම පරිත්‍යාගය, දේශානුරාගය හා වීරෝදාරත්වය ද, ඔවුන්ගේ ඉච්ඡාභංග හා දෝමනස්ස ද විනා අන් කිසිවක් විස්තර නොකෙරේ. එහෙත්, සැබෑ තතු සහමුලින් වෙනස් ය... එකල විසූ ජනයාගෙන් බහුතරය සිද්ධීන්හි පොදු ප්‍රවාහය කෙරෙහි අවධානය යොමු නොකල අතර ඔවුන් මෙහෙයවන ලද්දේ අවස්ථානුකූල පුද්ගලික ලාභප්‍රයෝජන විසිනි. යුගයේ වඩාත් වැඩදායී හවුල්කරුවෝ මොවුහු ය.

ස්වභාව ධර්මය විශයයෙහි ද, විවාදාපන්න, පිටස්තර හෝ ව්‍යාකූල සියල්ල පසෙක ලූ හේ අප සැවොම දැකබලා ගත යුතු (එහෙත්, සැම විට ම නොදකින) දෑ පමනක් විදහා දැක්වී ය:

කොලදිං සමයෙහි මේ අසාමාන්‍ය දේශගුනය සැම විට ම මිනිසුන් මවිත කරනසුලු ය. පහලින් සරන හිරුගෙන් නික්මුනු රශ්මිය, වසන්තයෙහි දී මෙන් නොව, වඩාත් සැඩ විය. හැම දෙයක් ම විරල හා පවිත්‍ර වාතාශ්‍රය තුලින් දිලිසුනේ නෙත් කකියවමිනි. මේ සුගන්ධවත් ශරතීය වාතය ආශ්වාසයෙන් කෙනෙකුගේ ලය ප්‍රානවත් හා ප්‍රබෝධමත් විය. විටින් විට, ඉතා ම උශ්නාධික රාත්‍රි කාල උදා වූ අතර මෙකී අන්ධකාර, උනුසුම් රාත්‍රීන් පුරා රන්වන් තරු කැට නිරන්තරයෙන් බැබලුනේ ප්‍රීතිය මෙන් ම භීතිය ද උපදවමිනි.

මතු සම්බන්ධයි

පරිවර්තනය : දර්ශන මේදිස්

(අක්ශර වින්‍යාසය පරිවර්තකයාගේ අභිමතය පරිදි ය)


[15]

ෆියෝතර් දොස්තයෙව්ස්කිගේ නවකථා තුල හමු වන චරිත කීපයක් (ස්විද්‍රිගයිලොව්, කරමසොව් හා ස්මෙර්දියාකොව්) ඇසුරින් තැනුනු, යම්යම් චෛතසික තත්ත්ව හඟවන සංකල්පත්‍රයකි– ද. මේ.

[16]

ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍ර කෘතියෙහි එන චිර පතල ප්‍රකාශයකි: “කවියාගේ කාර්යය සැබෑ ලෙස ම සිදු වූ දෑ විස්තර කිරීම නොව සිදු විය හැකි දෑ –එනම්, දෙන ලද තතු යටතේ, සිදු වීමට ඉඩ ඇති හෙයින් හෝ සිදු වුව මනා බැවින් හෝ සිදු වෙති යි හැඟෙන දෑ ඉදිරිපත් කිරීම ය. ඉතිහාසකරු කවියාගෙන් වෙනස් වනුයේ එකෙකු ගැදියෙන් ද, අනෙකා පැදියෙන් ද ලිවීම මත නොවේ. ඔබ හෙරඩෝටස්ගේ කෘතියක් පද්‍යයට නැඟුවත් එය හුදු ඉතිහාස ග්‍රන්ථයකි. වෙනස පවතිනුයේ මෙහි ය: ඉතිහාසකරු සිදු වූ දෑ පවසන අතර කවියා සිදු විය හැකි දෑ පවසයි. එනයින්, කාව්‍යය ඉතිහාසයට වඩා දාර්ශනික ය, බැරෑරුම් ය. පරිසිද්ධීන් ගෙනහැරපාන ඉතිහාසයෙහි ප්‍රකාශ ඒකීය වන අතර කාව්‍යයෙහි ප්‍රකාශ සාර්වික (universal)ය. සාර්වික ප්‍රකාශයක් යනු කිසියම් පුද්ගලයෙකු විසින් පැවසීමට හෝ ක්‍රියා කරනු ලැබීමට ඉඩ ඇති නැතිනම් අවශ්‍යයෙන් ම කියනු, කරනු ඇති දෑ ය... (Poetics,උ.ගැ. Introduction to Aristotle, ed. Richard Mekeon, New York, 1947, පි. 635-6, අවධාරනය ඈඳිනි)– ද. මේ.

[17]

නැපෝලියන් බොනපාට්ගේ ප්‍රංශ හමුදාව මොස්කව් නුවර ආක්‍රමනය කල වර්ශය – ද. මේ.

Loading