ආන්ඩුව "ත‍්‍රස්තවාදීන්ට” මුදල් සැපයීම වැලැක්වීමේ නමින් නව විසකුරු නීති ගෙනෙයි

By W.A. Sunil, 22 February 2013

මහින්ද රාජපක්ෂ ආන්ඩුව ත‍්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ (සංශෝධිත) පනත නමින් කම්කරු පන්තියට හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව යොදා ගත හැකි දුෂ්ඨ නීති පාර්ලිමේන්තුවේ දී පෙබරවාරි 8 දා ඒකමතිකව සම්මත කර ගත්තේය. විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය (එජාප), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), දෙමල ජාතික සන්ධානය (දෙජාස) සහ පෙරටුගාමී පක්ෂයේ මන්තී‍්‍රන් ඡුන්දයක් නො පවත්වා ම නීති සම්මත කර ගැනීමට ආන්ඩුවට මුක්කුව දුන්හ.

2005 අංක 25 දරන ත‍්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ පනත මුලින් ම සම්මත කෙරුනේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග බලයේ සිටිය දී, එල්ටීටීඊ ය සමග 2002 දී ඇති කර ගත් සාම ගිවිසුම බිඳ දැමීමේ ප‍්‍රකෝපකාරී කි‍්‍රයාවන් ආන්ඩුව විසින් උත්සන්න කරන තත්වයක් තුලය. ශී‍්‍ර ලංකාවේ මෙම පනත සකස් කෙරුනේ එක්සත් ජාතීන්ගේ මන්ඩලය තුල 1999 දෙසැම්බර් මාසයේ ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාත්‍යන්තර සම්මුතියට අනුකූලව ය. ශ‍්‍රී ලංකාව 2000දී මෙම සම්මුතියට ඇතුලත් විය.

2001 සැප්තැම්බර් මාසයේ 11 දා ඇමරිකාවට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව ඊනියා ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ කුප‍්‍රකට ධජය යටතේ ආක‍්‍රමනකාරී හා නව යටත්විජිතවාදී කොල්ලකාරී විදේශ පිලිවෙතට සෙසු රටවල් ඈඳා ගැනීමේ එක්සත් ජනපද උත්සුකයත් සමග දෙමල ජන විරෝධී වාර්ගික යුද්ධයේ දී අධිරාජවාදී බලයන්ගේ සහාය ගොනුකර ගැනීම සඳහා ශී‍්‍ර ලංකාවේ පාලක පන්තිය ද පෙල ගැසුනි.

ජනාධිපති රාජපක්ෂ විසින් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය 2006 යලි ආරම්භ කිරීමෙන් පසුව විදේශයන්හි එල්ටීටීඊයේ මුදල් මුලාශ‍්‍රයන් හා කි‍්‍රයාකාරීත්වයන් ඇවිරීමට ආන්ඩුව මෙම සම්මුතිය යොදා ගත්තේය. මෙම සංශෝධිත නව පනත, 2009 එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුව දැන් උතුරේත් දකුනේත් කම්කරු පන්තියට විරුද්ධව ත‍්‍රස්ත විරෝධී නීති යොදා ගැනීමට ආන්ඩුව පියවර ගනිමින් සිටීමේ ප‍්‍රතිපලයකි.

නව නීති අනුව, "(අ) රජයට බලපෑම් කිරීමට හෝ මහ ජනතාවගෙන් කොටසක් බිය වැද්දීමට සැලසුම් කරන ලද තර්ජනාත්මක කි‍්‍රයාවන් භාවිතා කිරීම.

"(ඇ) යම් දේශපාලන, ආගමික හෝ මතවාදමය අරමුනක් ප‍්‍රවර්ධනය කිරීමේ පරමාර්ථය ඇතිව සිදුකරනු ලබන යම් තර්ජනාත්මක කි‍්‍රයාවක් භාවිතා කිරීම” ත‍්‍රස්ත කි‍්‍රයාවන් ලෙස සැලකේ. පුද්ගලයෙකුට එරෙහි බරපතල ප‍්‍රචන්ඩත්වයක් යෙදීම, දේපොලවලට බරපතල හානි කිරීම, තවත් පුද්ගලයෙකුගේ ජීවිතය අනතුරේ හෙලීම විද්‍යුත් පද්ධතියක් බරපතල ලෙස අවහිර කිරීම මහජනයාගේ හෝ කොටසකගේ සෞඛ්‍යයට හානිකර කි‍්‍රයාවල යෙදීම අනෙක් දඬුවම් ලැබිය හැකි වරදවල් වෙයි.

පනතෙන් දක්වා ඇති චෝදනාවන්ට වරදකරුවෙකු වුවහොත් දේපල රාජසන්තක කිරීම, වසර 15 දක්වා වූ සිර දඬුවමකට හා උසාවිය තීන්දු කරන දඩයක් ඇතුලු දඬුවම්වලට චුදිතයා හෝ චුදිත සංවිධානය යටත් කල හැකිය.

මූලික අරමුනු දෙකක් ඉලක්ක කර ගෙන ආන්ඩුව මෙම නීති ගෙනවුත් ඇත. ඉන් එකක් නම්, ඊනියා ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයට එරෙහි වීමේ නමින් එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් සමග පෑහී කටයුතු කිරීමට සූදානම් බවට පනිඩුඩයක් නිකුත් කිරීම යි. බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ දී මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳව චෝදනා එල්ල කර එක්සත් ජනපදය ඇතුලු ප‍්‍රධාන බලයන් බලපෑම් එල්ල කර ඇති තතු තුල තමන්ගේ අධිරාජ්‍ය ගැතිකම ප‍්‍රදර්ශනය කර විවේචන තුනී කර ගැනීමට ආන්ඩුව තැත් කරයි. යුරෝපා සංගමය ද ඇමරිකාවේ යෝජනාවට සහයෝගය දෙන බව ප‍්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ යෝජනාව සම්මත වුවහොත් ලිබියාවට, ඉරානයට හා සිරියාවට මෙන් ආර්ථිකව හා රජ්‍යතාන්ති‍්‍රකව එයින් ඇතිවිය හැකි අනිටු ප‍්‍රතිවිපාක කෙරෙහි රාජපක්ෂ ආන්ඩුවත් සමස්තයක් ලෙස පාලක පන්තියත් බියට පත්ව සිටිති.

යුද්ධයට සහයෝගය දුන් ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී රටවල් මෙම බලපෑම් එල්ල කරන්නේ දෙමල ජනයාගේ හෝ අවශේෂ ජන කොටසකගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ගැන කැක්කුමකින් නොවේ. තමන්ගේ සතුරෙකු ලෙස නම් කරගෙන ඇති චීනය සමග වැඩි දියුනු කෙරෙන සම්බන්ධතා නවතා දමන ලෙස ඇමරිකාව රාජපක්ෂ ආන්ඩුවට අනතුරු අඟවා සිටී.

ආන්ඩුවේ අනෙක් එල්ලය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුව කි‍්‍රයාවට දමන ආර්ථික කප්පාදු වැඩපිලිවෙලට හා ජීවන තත්වයන් මිරිකා දැමීමට එරෙහිව වැඩ කරන ජනයාගේ වර්ධනය වන විරුද්ධත්වය මැඩලීමට ද මොන ම දේශපාලන විරුද්ධත්වයක් හෝ පැන නැගීම වලක්වා ගැනීමට ද මර්දන නීති තද කර ගැනීමය.

පුලුල්ව අර්ථකථනය කල හැකි මෙම නීති කම්කරුවන්ගේ, පීඩිතයන්ගේ හා තරුනයන් ඇතුලු අනෙකුත් ජන කොටස්වල අරගල ද ආන්ඩුවට එරෙහි දේශපාලන සංවිධානවල විරෝධතා ඇතුලු කි‍්‍රයාකාරකම් ද මැඩීමට යොදා ගත හැකි ය.

විසකුරු ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි ඇතුලත් හදිසි නීති ඇතුලු මර්දන නීති ගබඩාවට මෙම නව රෙගුලාසි ද එක් කර ගෙන තිබේ. රාජපක්ෂ බල කූට්ටුවක් ගොඩනගා ගෙන ආර්ථික හා දේශපාලන බලය සංකේන්ද්‍රනය කර ගත් පොලිස් රාජ්‍ය පාලනයක් සීඝ‍්‍රයෙන් පෙරට ගනිමින් සිටියි.

එල්ටීටීඊයට එරෙහි යුද්ධය අරඹා එය මැඩලීම දක්වා ද ඉන් පසුව ද කම්කරුවන්ගේ, ගොවි ජනයාගේ, සිසුන්ගේ, සාධාරන අරගල හා දේශපාලන විරුද්ධවාදීන්ගේ විවේචන හෝ කි‍්‍රයාකාරකම් ද රාජපක්ෂ ආන්ඩුව විසින් නරුම ලෙස හංවඩු ගැසුවේ "ත‍්‍රස්ත කි‍්‍රයා”, "ත‍්‍රස්තවාදයට සහයෝගය දීම”, "ආන්ඩු විරෝධී කුමන්ත‍්‍රන” ආදී වශයෙනි. ආන්ඩුවට එරෙහි විරෝධතාවලට පහර ගැසීම සඳහා ඒවා විදේශගතව සිටින එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ගේ හා කුමන්ත‍්‍රනකරුවන්ගේ අරමුදලින් උසිගැන්වෙන බවට ව්‍යාජ චෝදනා ද පාලක සභාගයේ නායකයෝ එල්ල කරති. පනතේ නීතිවල රුදුරු අරමුනු මේ මර්දනකාරී ප‍්‍රචාර සමග බැඳී ඇත.

ව්‍යවස්ථාව හා අධිකරනය නොතකා, ගෙතූ චෝදනා මත හිටපු අගවිනිසුරු ශි‍්‍රයානි බන්ඩාරනායක නෙරපා රාජපක්ෂගේ දේශපාලන විශ්වාසවන්තයෙක් අගවිනිසුරු තනතුරට පත්කිරීමෙන් අධිකරනය තමන්ට අවනත තැනක් බවට පත්කර ගත්තේ ජනවාරි මාසයේ දී ය. ඉන් දින කීපයකට පසුව සැකකරුවෙකු උසාවියට ඉදිරිපත් නොකර පැය 48ක් පොලිසිය භාරයේ තබා ගැනීමට ඉඩ සලසන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පනතක් සම්මත කර ගැනුනි. මෙම පියවරවලින් මසක් වත් යාමට මත්තෙන් නව නීති සම්මත කර ගැනීමෙන් පෙන්නුම් කරන්නේ ආන්ඩුව මුහුන දී තිබෙන අර්බුදයේ ගැඹුරයි.

පාර්ලිමේන්තුව තුල ඉහත කී නීති ඉදිරිපත් වූ අවස්ථාවේ එජාපය හා ජවිපෙ "ත‍්‍රස්තවාදය” යන්න නිශ්චිත ලෙස අර්ථ දැක්වී නැතැයි බොරු විරෝධයක් පෑවේය. දෙජාස මන්තී‍්‍ර එම්.ඒ. සුමන්දිරන් ද "දැවැන්ත හදිසි භාවයකින්” නීති ගෙනැවිත් ඇත්තේ අඩුපාඩු සහිතව බව කියා සිටියේ ය. වාම මැත දොඩවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මන්තී‍්‍ර අජිත් කුමාර, ආන්ඩුවට එරෙහි ඕනෑම අයෙක් නව නීති අනුව ත‍්‍රස්වාදියකු ලෙස හංවඩු ගැසිය හැකි යයි හීන් කෙඳිරියක් නගා ඇත. එහෙත් මේ සියලු පක්ෂ ඡන්ද විමසීමකින් තොරව ම පනත සම්මත කර ගැනීමට ඉඩ සැලසුවේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ නමින් ධනේශ්වර රාජ්‍ය රැකීමට තමන් ද ඇප කැප වී සිටින බව පෙන්නුම් කරමිනි. ආන්ඩුව නව නීති සම්පාදනය කර ගැනීම මෙන්ම විරුද්ධ පක්ෂවල කි‍්‍රයා කලාපය ද කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැක ගැනීමට ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයට සම්බන්ධ මෙම පක්ෂවලින් කිසිදු සහායක් ලැබෙන්නේ නැත.

Share this article: