ඉදිරිදර්ශන

ෆේස්බුක් සමාජවාදී වාමාංශයට එරෙහි ප්‍රහාරය උත්සන්න කරයි

මෙම ඉදිරිදර්යශනය ජනවාරි 25දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

වත්‍: මිචිගන් විශ්ව විද්‍යාලයේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි ) සංවිධානයේ නිල පිටුව ෆේස්බුක් විසින් මකා දැමීමට එරෙහිව පලවූ විරෝධය යටතේ, සමාගම පසු බැස ඇත. මිචිගන් විශ්ව විද්‍යාලයේ සසජාතශි ෆේස්බුක් ගිනුම සහ එහි පරිපාලකයින් ලෙස කටයුතු කල සහෝදර වරුන්ගේ ගිනුම් යලි ස්තාපිත කර ඇත. මෙම පියවර ගැන ෆේස්බුක් විසින් කිසිදු පැහැදිලි කිරීමක් සිදු කර නැත. එබැවින් අවධානයෙන් සිටින්න. මේ අරගලය තවමත් අවසන් නැත. මේ පිලිබද වැඩිදුර විශ්ලේශන සහ තොරතුරු ලෝක සමාජවාදී වෙබ් අඩවිය මගින් පල කරනු ඇත. මේ ප්‍රකාශය බෙදා හැරීම තව දුරටත් කරගෙන යන ලෙස අප ඉල්ලා සිටිමු.

ෆේස්බුක් සමාජවාදී වාමාංශය ඉලක්ක කර ගනිමින් අන්තර්ජාල වාරනය පුලුල් කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටී. සම්පූර්න ෆේස්බුක් පිටු ඉවත් කෙරෙමින් තිබෙන අතර, තනි ගිනුම් ස්ථිරව ම අක්‍රීය කරනු ලබන්නේ කිසිදු පැහැදිලි කිරීමක් හෝ පැමිනිලි කිරීමකට හෝ ඉඩක් නො තබමිනි.

වාරනය කිරීමේ නවතම ක්‍රියාව වන්නේ මිචිගන් විශ්ව විද්‍යාලයේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි ) සංවිධානයේ නිල පිටුව ෆේස්බුක් විසින් මකා දැමීම යි. සසජාතශි යනු සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ශිෂ්‍ය සහ තරුන සංවිධානය යි. එය 2007 සිට මිචිගන් විශ්වවිද්‍යාලයේ නිල විශ්වවිද්‍යාල ශිෂ්‍ය කන්ඩායමක් වන අතර එහි ෆේස්බුක් ගිනුම 2013 සිට ක්‍රියාත්මක වී තිබේ.

කන්ඩායමේ සභාපති සහ පීඨ උපදේශක යන දෙදෙනාගේ ම ගිනුම් අක්‍රීය කර ඇත්තේ, එම පිටුවේ පරිපාලකයින් සිටින තවත් හය දෙනෙකුගේ ගිනුම් ද සමගිනි.

මෙම ඔක්තෝබර් 23, 2019, ඡායාරූපයේ දැක්වෙන්නේ ෆේස්බුක් ප්‍රධාන විධායක මාක් සකර්බර්ග් වොෂිංටනයේ කැපිටල් හිල් සභා ශාලාවේ දී කොංග්‍රස් මූල්‍ය සේවා කමිටු විමර්ශනයක් ඉදිරියේ සාක්ෂි දීම යි. (Mandel Ngan/Pool via AP)

ෆේස්බුක්හි මේ දේශපාලන ප්‍රහාරය එල්ල වී සිටින අය අතර මිචිගන් හි වෙසෙන සසප ප්‍රමුඛ නායකයෝ වෙති.ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාතික කර්තෘ කාර්යාලය සමග පක්ෂයේ මූලස්ථානය පිහිටා ඇත්තේ එහි ය. සසජාතශි සංවිධානයේ ජාතික ලේකම් ජෙනෙවියෙව් ලී සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ එක්සත් ජනපද කලමනාකාර කර්තෘ නයිල්ස් නීමුත් යන දෙදෙනාගේ ම ගිනුම් මකා දමා ඇත. දෙදෙනා ම සසපයේ ජාතික නායකත්වයේ සාමාජිකයෝ වෙති.

ෆේස්බුක් වාරනයට ඉලක්ක වූ වෙනත් කන්ඩායම් සම්බන්ධයෙන් වැඩි විස්තර එලියට පැමිනීමට පටන් ගෙන ඇත. ෆේස්බුක් විසින් ස්ට්‍රග්ල් ලා ලුචා (Struggle La Lucha) වෙබ් අඩවිය සහ ඇමරිකාවේ සෝෂලිස්ට් යුනිටි පාටි පක්ෂය සමග සම්බන්ධ පිටු සහ පුද්ගල ගිනුම් දුසිමකට වඩා ඉවත් කර ඇත. පසුගිය සතියේ අගභාගයේ දී, එය මෙහෙයවන අයගේ පුද්ගලික ගිනුම් සමග, එක්සත් රාජධානියේ සමාජවාදී කම්කරු පක්ෂයට සම්බන්ධ පිටු මකා දමන ලදී. ප්‍රධාන පිටුව ප්‍රතිෂ්ඨාපනය කෙරුන ද, ප්‍රාදේශීය ශාඛා සහ සාමාජික ගිනුම්වල පිටු බොහොමයක් තවමත් අක්‍රීය කෙරී ඇත.

ෆේස්බුක් හි මෙම ක්‍රියා සිදුවන්නේ නිශ්චිත දේශපාලන සන්දර්භයක් තුල ය. ආන්ඩුව තුල දැවැන්ත සහ අඛන්ඩ දේශපාලන අර්බුදයක්, එක්සත් ජනපදයේ 430,000 කට ආසන්න පිරිසක් මරනයට පත් කල දරුනු වසංගතයක්, අන්ත ආර්ථික අර්බුදයක් සහ ධනේශ්වර පාලක ප්‍රභූවේ සමස්ත ප්‍රතිපත්තියට එරෙහි ව කම්කරු පන්තිය තුල වැඩෙන කෝපයක් එහි පවතී. පහලින් එන සමාජ විරෝධයේ වර්ධනය ගැන පාලක පන්තිය භීතියට පත්ව සිටී.

සති තුනකටත් වඩා අඩු කාලයකට පෙර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මැතිවරන ප්‍රතිඵල කනපිට පෙරලීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කිරීම අරමුනු කර ගනිමින් වොෂිංටන් ඩී.සී. හි ෆැසිස්ට් කැරැල්ලක් ඇවිලුවේ ය. පසුගිය වසර පුරා ට්‍රම්ප්ගේ වඩ වඩාත් උමතු සහ ෆැසිස්ට් ප්‍රකාශවල කේන්ද්‍රීය ඉලක්ක වී ඇත්තේ “සමාජවාදය” සහ “මාක්ස්වාදය” යි.

ඔවුන්ගේ පාර්ශ්වයෙන් ගත් විට, බයිඩන් පරිපාලනය යටතේ ඩිමොක්‍රටිකයන් බලයට පැමින සිටින්නේ, රිපබ්ලිකන් පක්ෂය සමඟ “එක්සත්කම” ඉල්ලා සිටිමිනි. බයිඩන් “ශක්තිමත්” රිපබ්ලිකන් පක්ෂයක අවශ්‍යතාව අවධාරනය කර ඇති අතර, ෆැසිස්ට් කැරැල්ලට ඉහල මට්ටමේ මැදිහත්වීම සහ සහාය දැක්වීම පිලිබඳ ඕනෑ ම පරීක්ෂනයක් සහ හෙලිදරව් කිරීමකට විරුද්ධ වේ.

ඉරිදා වොෂිංටන් පෝස්ට් පුවත්පතේ “කැපිටල් ගොඩනැගිල්ලේ ප්‍රහාරය දේශීය අන්තවාදීන්ට එරෙහි ව පුලුල් මර්දන පියවර පන ගන්වනු ඇත” යන මාතෘකාව යටතේ ලිපියක් පල කලේ ය. දක්ෂිනාංශික ප්‍රචන්ඩත්වය “ජාතියේ ස්නායු පද්ධතිය ග්‍රහනයට ගෙන ඇති රෝගයක් ලෙස පෙනෙන්නක්” බව එය සඳහන් කල ද, ප්‍රධාන ඉලක්කය දක්ෂිනාංශය නො වන බවත්, ඕනෑ ම අවස්ථාවක තමන්ට ආන්ඩුවේ සහ පාලක පන්තියේ කන්ඩායම්වල සහයෝගය මත විශ්වාසය තැබිය හැකි බවත් ෆේස්බුක් ක්‍රියාවෙන් පැහැදිලි වේ. “ගෘහස්ථ අන්තවාදය” යන පලල් කාන්ඩය යටතේ ප්‍රහාරය එල්ල කෙරෙනු ඇත්තේ වාමාශයට එරෙහි ව යි.

මෙහි අරමුන වන්නේ අන්ත දක්ෂිනාංශයට එරෙහි සමාජවාදී විරුද්ධත්වයේ හිසා ගසා දැමීම යි. ඇත්ත වශයෙන්ම, ෆේස්බුක් ක්‍රියාමාර්ගයට පෙර සසජාතශි විසින් මිචිගන් විශ්වවිද්‍යාලයේ පල කල අවසන් පලකිරීම්වලට “ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය සහ ෆැසිස්ට්වාදයේ නැගීම: ඇමරිකාව කොයිබටද?”යන ඔන්ලයින් රැස්වීම පිලිබඳ සබැඳි සහ“ වසංගතය සහ ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන උත්සාහය”, “ රිපබ්ලිකානුවන් රුධිරය ඉල්ලා සිටිද්දී ඩිමොක්‍රටිකයෝ ද්විපාර්ශවීයත්වය ඉල්ලා සිටිති,” සහ “ට්‍රම්ප්ගේ ෆැසිස්ට් රැල ප්‍රා‍න ඇපකරුවන් ග්‍රහනයට ගෙන තිබුනි නම්, කුමක් සිදුවන්නට ඉඩ තිබුනි ද” යන සසප ප්‍රකාශන ඇතුලත් වුනි.

ෆේස්බුක් සහ වෙනත් සමාජ මාධ්‍ය සමාගම් ක්‍රියා කරමින් සිටින්නේ තනිව ම නො වේ. ආන්ඩුව සමඟ මෙන් ම, විශේෂයෙන් පහලින් එන සමාජ විරෝධයේ සියලු ප්‍රකාශයන්ට අතිශයින් සංවේදී මෙන් ම විරුද්ධ ඩිමොක්‍රටික් පක්ෂය සමඟ ඔවුහු කිට්ටුවෙන් වැඩ කරති.

2017 සිට ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාම සහ සමාජවාදී අදහස් වාරනයට සහ අසාදු ලේඛනගත කිරීමට එරෙහි විරෝධය හෙලි කොට බලමුලු ගන්වා තිබේ. මෙය ආරම්භ වූයේ ගූගල් විසින් “විශ්වසනීය තොරතුරු” ප්‍රවර්ධනය කිරීම සහ “විකල්ප අදහස්” පහල දැමීම සඳහා සෙවුම් ඇල්ගොරිතම වෙනස් කිරීමට ගත් පියවරයන් සමගිනි. ගූගල් මව් සමාගම වන ඇල්ෆබට් හි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි ලෝක සමාජවාදී වෙබ් අඩවිය විශේෂයෙන් ඉලක්ක කෙරුනු බව පිලිගෙන ඇත.

ගූගල් ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ෆේස්බුක්, ට්විටර්, යූ ටියුබ්, රෙඩිට් සහ වෙනත් සමාජ මාධ්‍ය වේදිකා සමාජවාදී අදහස් වෙත ප්‍රවේශ වීම අවහිර කරමින් සහ වාරනය කරමින් පියවර මාලාවක් ම ගෙන ඇත.

දැන්, පෙර නො වූ විරූ අර්බුදයක තතු යටතේ පාලක පන්තිය සිය වාරන උද්ඝෝෂනය තීව්‍ර කරමින් සිටී. ෆේස්බුක් විසින් මුලින් ඉලක්ක කරන ලද සසජාතශි පිටුව සහ සසප නායකයින් මිචිගන් හි වීම විශේෂත්වයකි. එහි කම්කරු පන්තිය තුල සසප සහ ලෝසවෙඅට සැලකිය යුතු බලපෑමක් ඇත. පසුගිය මාර්තු මාසයේ දී, වසංගතය එක්සත් ජනපදය තුල විශාල වශයෙන් ව්‍යාප්ත වීමට පටන් ගනිද්දී, මිචිගන් හි මෝටර් රථ කම්කරුවෝ අනාරක්ෂිත තත්වයන් යටතේ දිගට ම වැඩ කිරීමට බල කෙරී සිටීමට එරෙහි ව හදිසි වැඩවර්ජනයක් දියත් කලහ.

වැඩවර්ජනයක් ඉල්ලා සිටිමින් ලෝසවෙඅ විසින් ප්‍රසිද්ධ කරක ලද ලිපි සහ ප්‍රකාශ දස දහස් ගනනක් කම්කරුවන් විසින් කියවන ලද්දේ, මූලික වශයෙන් ෆේස්බුක් ඔස්සේ ය.

වාරනය සඳහා වන තල්ලුව ආපසු හැරවිය හැක්කේ කම්කරුවන්, තරුනයින් සහ ප්‍රගතිශීලී බුද්ධිමතුන් සහ මාධ්‍යවේදීන් අතර පුලුල් ලෙස විරුද්ධත්වය බලමුලු ගැන්වීමෙන් පමනි!

මෙම ප්‍රකාශය කියවන සෑම කෙනෙකුගෙන් ම පහත ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී:

1. ෆේස්බුක් හි ක්‍රියාමාර්ග වහාම ආපසු හරවන ලෙස ඉල්ලන ප්‍රකාශයන් info@support.facebook.com සහ zuckerberg@fb.com වෙත යවන්න. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කිරීම සඳහා ඔබේ ලිපිවල පිටපත් comment@wsws.org වෙත එවන්න.

2. මෙම ප්‍රකාශය ඔබේ මිතුරන් සහ සගයින් සමඟ සහ ෆේස්බුක්, ට්විටර් සහ වෙනත් වේදිකා ඇතුලු සමාජ මාධ්‍යවල හැකිතාක් පුලුල් ලෙස බෙදා ගන්න. #StopCensoringSocialism යන හැෂ් ටැගය ඇතුලත් කරන්න.

3. වාමාංශික පුද්ගලයින් වාරනය කිරීම සහ ෆේස්බුක් හෝ වෙනත් සමාජ මාධ්‍ය සමාගම් විසින් කරන ලද ප්‍රකාශන වාරනය කිරීම පිලිබඳ ව ඔබ සතු ව ඇති ඕනෑ ම තොරතුරක් ලෝසවෙඅ වෙත එවන්න, එවිට අපට මෙම ප්‍රහාර ප්‍රසිද්ධියට පත් කර විරුද්ධ විය හැකි ය.

Loading