ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි ලිපි සරනිය

ලෝකය දැකීමේ කලාව හෙවත් නව යථාර්ථවාදය

පස්වන ලිපිය (i කොටස)

මෙම ලිපිය කොටස් තුනකින් පල කෙරෙන අතර මේ එහි පලමු කොටස යි.

ලිපි මාලාවේ සෙසු ලිපිවලට මෙම සබැඳි හරහා පිවිසිය හැකියි:

හැඳින්වීම | 1 ලිපිය | 2 ලිපිය - i | 2 ලිපිය - ii | 3 ලිපිය - i | 3 ලිපිය - ii | 4 ලිපිය - i | 4 ලිපිය - ii | 4 ලිපිය - iii | 4 ලිපිය - iv | 5 ලිපිය - i | 5 ලිපිය - ii |

***

[ඉස්කුස්ත්වෝ විදෙත් මිර් (ලෝකය දැකීමේ කලාව) නමැති රුසියානු ග්‍රන්ථයෙහි (1928) මුල් වරට පල වූ මේ ලිපිය කලාව පිලිබඳ වොරොන්ස්කිගේ අවසන් නිබන්ධය මෙන් ම ඔහුගේ වැදගත් ම න්‍යායික සම්ප්‍රදානය ද වෙයි. මේ ලිපියෙන් අනතුරුව ඔහුගේ කලා විචාර වෘත්තියට වැට බැඳුනි. නා පොස්තු සඟරාවේ වියරු ප්‍රකෝපය පුරෝකථනය කෙරිනි: මෙහි අන්තර්ගත විචාරශීලී අදහස් “ව්‍යාජ වෛශයිකවාදයක්” “බර්ග්සන්වාදය”[1], “ලෝකය වෙනස් කිරීමේ කලාව වෙනුවට ලෝකය දැකීමේ කලාව” ආදී වසයෙන් හංවඩු ගැසිනි. වඩාත් උත්ප්‍රාසමය කරුන නම්, සමාජවාදී යථාර්ථවාදයේ ශික්ශා පද පිටකගත කෙරුනු සෝවියට් සංගමයේ සමස්ත ලේඛක සම්මේලනයේ මංගල රැස්වීම සඳහා ලද ඇරැයුම පවා නිර්භීතව ප්‍රතික්ශේප කල වොරොන්ස්කි එම බංකොලොත් කලා න්‍යායයෙහි ආදිකතුවරයා ලෙස පින්තාරු කිරීමේ ප්‍රවනතාවක් ද 1980 ගනන්වල දී රුසියාව තුල ඉස්මතු වීම යි. ආන්ද්‍රෙයි ශැඩනොව් ප්‍රමුඛ තවත් අය විසින් 1930 ගනන්වල දී ප්‍රස්තවනිත ස්ටැලින්වාදී අදහස් සමඟ මෙහිලා වොරොන්ස්කි විසින් අර්පනය කෙරෙන “නව යථාර්ථවාදයට” මොනයම් හෝ ගනුදෙනුවක් පවතීි දැයි තීන්දු කිරීම පාඨකයාට බාර කටයුත්තකි –එෆ්. සී.]
***

සෙමෙන් පාවෙන අලුවන් වලාකුලින් ගහන අඳුරුබර සාමාන්‍ය අහස් කුස දැක ගනු පිනිස ඇන්ඩි්‍ර බොල්කොන්ස්කි [යුද්ධය හා සාමය] හට සටන් වැදී තුවාල ලැබ මුඩු බිමක තනි පංගලමේ වැතිර සිටීමට සිදු විය. ඇත්ත වසයෙන් ම, ඊට පෙර ඔහු අහස දැක තිබුන ද, ඔහු සැබවින් ම එය හාපුරා කියා දුටුවේ මෙකී සුවිශේශ තතු යටතේ පමනි. ඉවාන් ඉලීච් [ඉවාන් ඉලීච්ගේ මරනය] හට සිය ජීවිතයෙහි අනගිතම ධාරනාපහල වූයේ හෙතෙම මරනාසන්නව සිටියදී ය. ඒවා ඔහුගේ ලදරු විය හා ලමා විය අලලා ගති. පෙඟී වැකරැලිව ගිය ප්‍රංස ප්ලම් ගෙඩියක අමුතු රසයෙන් තම මුඛය තෙත් වූ සැටිත් තවත් ලමුන් කීපදෙනෙකු සමඟ එක්ව තම පියාගේ සූට්කේසය ඉරා දැමූ අයුරුත් වරදට දඩුවම් විඳීමෙන් පසුව මව තමාට පස්තෑල ගෙනැවිත් දුන් අයුරුත් ඔහු මෙනෙහි කලේ ය. ඉවාන් ඉලීච්ගේ ජීවිතයෙහි සෙසු සියල්ල අරුත්සුන් හා සැක කටයුතු දෑ හැටියට පෙනී යන ලදි. හිතමිතුරුකම්, උජාරුකම්, ගජබින්න, මුදල් උදෙසා ඇති වූ සිත් තැවුල්, සිය නවාතැන සහ අප්‍රසන්න වැඩ රාජකාරි– මේ සියල්ලෙන් පෙනී ගියේ ඔහුට දකින්ට හෝ පෙනෙන්ට පුලුවන්කම තිබුනු හොඳ ම දෑ යටපත්ව පැවති බවත් ඔහුට පෙනුනේත් හැඟුනේත් සැබවින් ම බාල වියෙහි දී කල කී දෑ පමනක් බවත් ය. “පැවැත්මෙහි සකලධාරනා” නැවුම්වූ අවධිය වෙනුවෙන් පුශ්කින් ශෝක විය. “ජීවන පුශ්පය වධබන්ධනයෙන් මැලවී යන” බැවින් ද, “පැවැත්මෙහි රමනීයත්වය” අතුරුදන් වන බැවින් ද එකී “ප්‍රාරම්භක හා ප්‍රාක්තන අවධියෙහි දෘශ්ටි” පුනස්ථාපනයට ඔහු ලොල් වැඩුවා විය හැකි ය. එහෙත්, අහිමි වූ දෑ යලි රැගෙන ඒමට සිය වීනාව උපකාරී වනු ඇති දැයි ඔහුට අනුමානයක්වත් නැත.

නුඹ, මගේ වීනාව දයාබර,

නුඹ ම යි, සොබාවේ ගායක බැතිබර,

විවාසේ, වියෝවේ, ග්ලානියේ ගඳඹ,

ලැබේවි ද? යලි නුඹට අහිමි වී ගිය ස්වර

අර! ගොලු කනතු උඩින් මරද සරසර

දකීවි ද? නුඹ අඳුරු වන විනිවිද නැවත වර

නැමි ගිරිදඹ, අසිරිමත් ගන නීල සාගර,

නඳන මෙන් සුපැහැදිලි අඹරෝර

ඉස්කුස්ත්වෝවිදෙත්මිර් (ලෝකය දැකීමේ කලාව) නමැති රුසියානු ග්‍රන්ථයෙහි (1928) කම්බය

ගොගොල්ගේ මලගිය ආත්ම නවකථාවේ ප්‍රථම අධ්‍යායෙහි සවැනි පරිච්ඡේදය ආරම්භ වනුයේ, “දරුවෙකුගේ විපරම්කාරී බැල්ම විසින්... කුතුහලය දනවන බොහෝ දෑ සොයා ගැනුනි... හැම දෙය ම මා නතර කල අතර මා දුටු දෑ නිබඳව මගේ සිතට කාවැදුනි... මගේ නැවුම් සංවේදී අවධානයෙන් මිදුනු කිසිවක් නැත... මෙදා මම උකටලීව නුහුරු ගම්මානයකට පිවිස එහි සුලබ බාහිර රූපය නරඹමි.” වටාපිටාවේ ඇති දෑ “දැන් ලිස්සා යන අතර මගේ නිසල දෙතොල උදාසීන මුනිවත රකී” යනාදී වසයෙන් පැවසෙන කතුවරයාගේ බාල විය පිලිබඳ ගීතමය පාපොච්චාරනයෙනි. නිර්මානාත්මක ආවේශයේ නිමේශයන්හි දී කවියා ප්‍රතිජීවමාන කරන්නා වූ “බාල වියෙහි ධාරනා” දිගු කල් මනසේ රැඳිය හැකි වුව ද, එහි “ආශ්චර්යමත් ආවේගය” යමෙකුගේ හෘදයෙන් විගස මැකී යන අතර “යමෙකුගේ රතුවන් දෙකොපුල” සුදුමැලි වන බැව් ලර්මන්තොව් සටහන් කරයි. ලෝකයේ නෛසර්ගික “දඩබ්බර හා ආශ්චර්යමත්” බව නොතකා ඔහුගේ භූතයා හට එය “නිහඬ හා ගොලු” ය. හේ මෙලෙස පසුතැවිලි වෙයි: “සොබාදහමේ ලාලස්‍ය (passionate) ආලිංගන මට සදහට ම ශීතල ය.” බ්ලෝක් මෙසේ ලියයි: “කඳුලු නිම්නය සමඟ මගේ බැඳීම් මට අහිමි වී ඇත.” විඥානය එලිපත්තේ රඳන, බාල වියෙහි දී ඉතා නැවුම් වූ ප්‍රාරම්භක ධාරනා පිලිබඳ අතීත අබිරහස අපට අහිමිව හා අමතකව ඇතැයි බෙලි ඔහුගේ කොතික් ලෙටීව් නමැති [ස්වයං-චරිතාපදාන] නවකථාව තුල වැලපෙයි. මෙහි එන මහාචාර්ය සැඩොපියාටොව් සිය ජීවිතයේ සැට විය සපිරුනු කල්හි හා ඛෙදවාචකයක් අත්විඳීමෙන් පසුව පමනක් ලදරු පාසලට දිව යන්ට සැරසෙන “කුඩා මන බඳන බෝනික්කෙකු” තමා තුලින් සොයා ගනී. මේ සොයා ගැනුමට පින් සිදු වන්ට හේ සිය බිරින්දෑ ද, සමස්ත ලෝකය ද ප්‍රථම වරට නව්‍ය ආකාරයකින් දකී. යෙසෙනින්ගේ සකල කවිත්වය ම අහිමි වූ නැවුම් බව, නොහික්මුනු දෑස් හා පිටාර ගලන වේදිත උදෙසා ලෝලයකි. වක ගැසුනු මොස්කව් වීදි, ගම් දනව්වල නභෝනීලය (azure), නිල්වන් තුසර බිඳු සහිත උද්‍යාන, අප්‍රේල් සැඳෑ, දල ලොමින් ගැවසි සුනඛ පෝතකයන්, බර්ච් හා පොප්ලර් ගස් යනාදිය දුමෙන් පිරි ගුබ්බෑයම් හා නිවාස හිඟය විසින් සඟවනු ලැබ තිබීම ගැන හේ විලාප නඟයි. ෆ්ලොබෙයාගේ Sentimental Education (භාවාතිශය අධ්‍යාපනය) නවකථාවෙහි එන මිතුරන් දෙපල, ගනිකා මඩමක කෙල්ලන් වෙත රහසින් මල් රැගෙන ගිය සමය හෙවත් ලජ්ජාව හා බයාදුකම සපිරි තුරුනු විය සිය ජීවිතයේ හොඳ ම හා අනර්ඝතම අවධිය බව සොයා ගනුයේ උදක් වියපත් වූ කල්හි ය. හෙන්රික් ඉබ්සන් “ජීවන වෘක්ශය අභිභවනය කල කුරුසියේ වෘක්ශය” ගැන ලිවී ය. අවසන් වසයෙන්, මාක්ස් විසින් වරෙක මෙසේ පවසන්ට යෙදුනි:

“ග්‍රීක කලාකෘති අපට අඛන්ඩව සෞන්දර්යමය තෘප්තියක් සැපයීමෙහිලා සමර්ථ වනුයේ සංවර්ධනය නමැති ක්‍රියාවලිය මෙලොව ඉතා ම රමනීය දෙය හැටියට පැවතුනු අවධියක මානව සමාජයේ බාල විය සිහියට නඟන බැවිනි; එබඳු නිර්ව්‍යාජ සත්‍යතාවෙන්, එබඳු සනාතනික රමනීයත්වයෙන් හා එබඳු ලදබොලඳ බවින් යුතුව මානව සමාජය තුල යලි කිසි කලෙක පුනර්කරනය නොවනු ඇති ලමා අවධියක් ඒවායින් අපට සිහි ගැන්වෙන බැවිනි”[2]

පූර්වයෙන් සඳහන් කෙරුනු වර්ගයේ තවත් නිදසුන් සෙසු සම්භාව්‍ය ලේඛකයන්ගේ හා කීර්තිධර කලාකරුවන්ගේ කෘති ඇසුරින්ද පෙලගැස්විය හැක. අප මොවුන් තෝරාගනුයේ මුලුමනින් පාහේ අහඹු ලෙස වුව මෙකී අහම්බය තුල නිශ්චිත වාසියක් ඇත: තොල්ස්තෝයි, පුශ්කින්, ගොගොල්, ලර්මන්තොව්, ෆ්ලොබෙයා, ඉබ්සන්, බ්ලෝක්, ආන්ද්‍රෙයි බෙලි හා යෙසෙනින් යනු වෙනස් මනඃප්‍රකෘති (temperaments) සහිත, වෙනස් යුගයන්ට අයත්, වෙනස් පසුබිම් සහිත පුද්ගලයෝ වෙත්. එසේතුදු වුව, සිය වීරයන්ගේ පාපොච්චාරන සහ ස්වකීය ඇවිසි (admissions) අතර කිසියම් පොදු බවක් ඇත. නෛසර්ගිකව රමනීයත්වයෙන් හෙබි ලෝකය,“ස්වභාව ධර්මයේ ලාලස්‍ය ආලිංගන” මෙන් යමෙකුට හැඟී යන සේ දැකීම ඉතා ම දුශ්කර ය. ලෝකය එහි සියලු නැවුම් හා අනන්තරතාවෙන් (immediacy) යුතුව දැකීම – බොල්කොන්ස්කි වරෙක දුටු අන්දමින් අහස නැරඹීම පහසු දෙයක් නොවේ. ලදරු හා ලමා වියෙහි දී ද, අපේ ජීවිතයෙහි අසාමාන්‍ය හා දුර්ලභ අවස්ථාවන්හි දී ද, මේ අන්දමින් දැක ගැනුමට අපි බොහෝ සෙයින් සමීපස්ථ වෙමු. එය පෙනී යනුයේ, හරියට, අප වෙතින් ලෝකය සඟවා තබන්නා වූ වල්කය අප ඉරා දමන්නාක් මෙනි; යමෙකු අනපේක්ශිතව, නව ආලෝක ප්‍රභවයක් තුලින් නැතහොත් වෙනස් මානයක් ඔස්සේනොයෙක් දෑ–වස්තු, ප්‍රපංච, සිද්ධි හා පුද්ගලයන් දකී. යමෙකු වඩාත් පොදු දෑ හෝ ව්‍යවහාරය බවට පත්ව තිබෙන දෑ තුල පෙර නොදුටුවිරූ ගුනාංග සහ චරිත ලක්ශන හදිසියේ ම හඳුනා ගනී. අවට ලෝකය ඊට ම ආවේනික වූ සුවිශේශී දිවි පැවැත්මකට මුලපුරන අතර කලාකරු එම ලෝකය අමුතුවෙන් සොයා ගනී. මෙකී සොයා ගැනුම්වලින් ඔහු විස්මයටත් සතුටටත් පත්වෙයි. කෙසේවෙතත්, මෙබඳු සොයා ගැනුම් යමෙකුට නිතරම හිමි නොවේ. සංජානනාවන්හි නැවුම් බව හා සිය මුද්‍රාව තබා යෑමෙහි ශක්‍යතාව රඳා පවතිනුයේ ඒවායෙහි ප්‍රාබල්‍යය, නිර්මලත්වය හා අනන්තරතාව මත ය. තව ද, සියල්ලට ම වඩා මෙය විසංසන්දන රීතියෙහි ආධිපත්‍යයට නතු වෙයි. එහෙත්, මිනිසුන් අති බහුතරයගේ දෛනික ජීවිතය මොනයම් අයුරින්වත් සැම විට ම මෙකී ප්‍රතිවිරෝධතාවලින් ගහන නොවේ. ජීවිතයේ සාමාන්‍ය හා ප්‍රකෘතිමත් ගලා යෑම ඇනහිටි කල්හි පවා ලෝකය පිලිබඳ නව සොයා ගැනුම් මිනිසාට පහසුවෙන් ලැබෙන්නේනැත. චාරිත්‍රවාරිත්‍ර, අගති, නීචඋත්සුක, අවනති, හරසුන් සන්තුශ්ටි, විඩාබර ශ්‍රමය, රූඪිය (conventionality), රෝගාබාධ, ප්‍රවේනිය, සමාජ පීඩනය, සමීපතමයන්ගේ වියෝව, මුස්පේන්තු වටාපිටාව, මහජන මතය හා විනිශ්චයන්, විකෘත ස්වප්න, ඡායාභාස (phantasms) හා ධර්මෝන්මාදය යනාදිය අපේ නෙත් තුල පටල බැඳීම අරඹනුයේ බාල වියෙහි සිට ම ය. එමගින් සංජානනයෙහි හා සාවධානයෙහි නැවුම් හා තියුනු බව අඩාල කෙරේ. ඒවා එලිපතු පැන ඉතා බලසම්පන්න හා ප්‍රබෝධජනක ධාරනා හටගන්නා සවිඥානකත්වයෙහි පතුලට කිඳා බසී; ජීවිතයෙහිත් විශ්වයෙහිත් වඩා ලෙන්ගතු හා ඉතා රමනීය දෑ අසංජානනීය කරයි. සහජාශ, ඇබ්බැහිකම් හා අභිරුචි පිරිවරා ගත් මෙකී පීඩාකාරී සංකීර්නය අවට ලෝකය වෙත අප රැගෙන යනුයේ දුඃක්ඛිතභාවයෙහි හා නීචභාවයෙහි අවලක්ශන අඳුරු වර්නයෙන් එය පැහැගන්වමිනි. නිර්මල සංජානනය යනු නිර්මල වියුක්තනය බව නිසැක නමුත් අස්වාභාවික සාමාජීය හා පුද්ගල කොන්දේසි කරනකොටගෙන යථාර්ථය අප අබියස දූශිත, පිලුනු, ආවෘත හා අන්ධකාර දෙයක් හැටියට නැඟී සිටින අවස්ථා කෙතරම් සුලබ ද? මහා විශ්වයෙහි දිව ඔසු අපට ගෙනැවිත් දීමෙහි සමත්, අප මනනුවන් මෝහනය කරවීමෙහි සමත් මිනිසුන් මෙන් ම නෛසර්ගිකව රමනීය වස්තු ද අපේ අවධානයෙන් ගිලිහී යන අවස්ථා කෙතරම් බහුල ද? ඇඹරී ගිය සමාජ සත්ත්වයෙකු හට ලෝකය පිලිබඳව තිබිය හැක්කේ ඇඹරී ගිය සංජානන, පරිකල්පනරූප හා සංකල්පනා ය. යථාර්ථය අප තුලින් පරාවර්තනය වනුයේ, අසමාකාර පෘශ්ඨයක් සහිත කැඩපතකින් මෙන් විකෘත රූපයන්ගෙනි. අපි, ප්‍රකෘති මිනිසුන්ට වඩා රෝගීන්ට සාදෘශ්‍ය වෙමු. අතීතය, අධිපති ධනේශ්වර පරිවේශය හා එහි අවශිශ්ට විසින් කෝටි සංඛ්‍යාත ජනයා ලෙඩ කෙරේ; නැතහොත් විපරීතභාවයට පත් කෙරේ. නූතන සමාජය තුල මිනිසා සහ ඔහුගේ වටාපිටාව අතර පවතින සමතුලිතතාව–ඉතා ම කොන්දේසිසහගත සමතුලිතතාව පවා අති දුලබ හා කුල්මත් ව්‍යතිරේකයකි.

එසේතුදු වුව, තම සංකල්පනා මගින් විකෘත කෙරුනා වූ මෙකී ලෝකය තුල වෙසෙන මිනිසා ලෝකය පිලිබඳ නොයිඳුල්, නිර්ව්‍යාජ පරිකල්පනරූප – සමහර විට, හුදෙක් දුරස්ථ හා ව්‍යාකූල ස්වප්නයක් හැටියට–සිය මතකයෙහි රඳවා ගනී. සියලු බාධක මැඩගෙන ඒවා යමෙකු තුලින් එලියට පනී. සිය ලදරු වියට හා ලමා වියට පින් සිදු වන්ට ඔහු ඒවා අතැඹුලක් සේ දනී. සමාජ ජීවිතයේ විශේශ හා අනන්‍ය අවස්ථාවන්හි දීත් වකවානුවල දීත් ඔහුට ඒවා අනාවරනය වෙයි. මිනිසා මෙකී නිර්මල හා චාම් පරිකල්පනරූපවලට මහත් සේ ප්‍රිය කරයි. ඔහු ඒ ආශ්‍රිතව වීරාඛ්‍යාන හා පුරාවෘත්ත ගොඩනඟයි, ගී ගයයි, නවකතා, පැටි නවකතා හා කෙටිකතා ලියයි. සැබවින් ම, අව්‍යාජ කලාව, විටෙක සවිඥානකව, එද, බොහෝ විට අවිඥානකව, ලෝකය පිලිබඳ මෙකී පරිකල්පනරූප සොයාගැනුමටත් යලි නිමැවීමටත් සැම විට ම යත්න දරයි. කලාවේ මුඛ්‍යාර්ථය හා ප්‍රධාන කාර්යය පවතිනුයේ මෙහි ය. මෙකී අභිලාශය විසින් විටෙක සුවිශද වූත් විටෙක සැඟවුනු හා අවිශද වූත් මූලික මනෝභාවමය පුනරාවර්තී මාතිකාවක් (leitmotif) පෝශනය කෙරෙන අතර මෙය ඕනෑ ම කලාකෘතියක ප්‍රධාන උත්තේජනය හා නිර්මානාත්මක තේමාව ද වෙයි. සිය කෘතියෙහිලා කලාකරු, මුල සිට ම, වෙනත්, පෙනී යන හැටියට ප්‍රතිවිරුද්ධ හැඟීම්වලින් මෙහෙයවෙන කල්හි පවා අධිපති මනෝගති හා සිතිවිලි මෙකී තේමාව හා වර්නය බවට සිඳීඇති වග වඩා සැලකිලිමත්, සාවධාන විශ්ලේශනයක් මගින් අපට සැම විට ම පාහේ ඒත්තු යනු ඇත. හුදෙක් විවිධ හේතු හා සලකාබැලීම් කරනකොටගෙන කතුවරයා විසින් යටපත් කෙරී ඇතත් ඒවා කලාකෘතියෙහි පිටිතලයට යටින් පවතින බැව් විද්‍යමාන වෙයි. දොස්තයෙව්ස්කි සිහිපත් කරමු. ලෝකය නොපිලිගැනීමේ සිය ව්‍රතය, සිය කැරැල්ල, ධර්මාධිකරන විවිසුවාගේ පුරාවෘත්තය, සිය කරමසෝවාදය, ස්මෙර්දියාකෝවාදය, ස්විද්‍රිගයිලෝවාදය – මේ සියල්ල සැලකූ විට, ඇලෙනසුලු වසන්ත පත්‍රයන්ට ගැයූ ගීතිකා තුලින් තුමූ ම අනාවරනය වෙයි. ඉවාන් කරමසොව් පවසන පරිදි:

අලූශා, මෙතැන වාඩි වී මා මට ම මිමිනුවේ මොනවා දැයි නුඹ දන්නවා ද?: මා ජීවිතය කෙරෙහි විශ්වාස නොතැබුවත් මට ලෙන්ගතුවසිටින ස්ත්‍රිය කෙරෙහි විශ්වාසය බිඳී ගියත්වස්තූන්ගේ දිව්‍යමය පර්යායක් ගැන මා විශ්වාස නොකෙරුවත්, ඊට පටහැනිව, සියල්ල ව්‍යාකූල, කාලකන්නි හා යක්ශ ජංජාලයකැයි මට ඒත්තු ගියත් මානව මායාභංගයේ සකල සන්ත්‍රාස මා තුල කඳුගැසුනත් ඒවා නොතකා මට ජීවත් වෙන්ට අවශ්‍ය වෙනවා ඇති. මා මේ ජීවන කුසලානය තුලට එබීගෙන සිටින තාක් එය මුලුමනින් සිඳුවා මිස මා මගේ මුව ඉවතටගන්නේ නෑ... කාසයෙන් පෙලෙන වැදි බන දෙසන්නෝ හා සුචරිතවාදියෝ, විශේශයෙන්ම කවිකාරයෝ ජීවිතය උදෙසා පවතින මේ පිපාසාව අධම යයි පවසනවා. මේ ජීවන පිපාසාව එක්තරා දුරකට කරමසොව්වරුන්ගේ ජන්ම ගතියක්. එය නිශ්චිතව ම ඔබ තුලත් පවතිනවා. එසේ නම්, එය අධම වන්නේ මන්ද? අපේ ග්‍රහලෝකය මත මීටත් වඩා භයානක කේන්ද්‍රාභිසාරී බලවේග තිබෙනවා. අලූශා, මගේ කොල්ලෝ! මට ජීවත් වෙන්ට වුවමනා යි. ඒක තර්ක න්‍යායයට පටහැනි වුනත් මම ජීවිතය අත්හරින්නේ නෑ. වස්තූන්ගේ දිව්‍යමය පර්යායක් ගැන මා විශ්වාස නොකරනවා විය හැකි යි. ඒත්, වසන්තයේ දලු ලා වැඩෙන ඇලෙනසුලු පත්‍රවලටත් නිල් ගුවන් ගැබටත් සමහර මිනිසුන්ටත් මා එක වගේ ආදරෙයි. එවැනි දෙයට කෙනෙකු ඇලුම් කරන්නේ ඒ මක් නිසා ද කියා නොදැන යි. ඒ ඇලෙනසුලු වසත් දල්ලටත් නිල්වන් අහසටත් මා පෙම් බඳිනවා. එච්චර යි! ඔබ ඒවා සමඟ පෙමින් බැඳෙන්නේ බුද්ධියටවත් තර්කයටවත් අනුකූලව නොවෙයි, ඇතුලාන්තයෙන් –ඔබේ බොක්කෙන්!” [ෆියෝතර් දොස්තයෙව්ස්කි, කරමසොව් බෑයෝ].[3]

දොස්තයෙවුස්කිගේ කරමසොව් බෑයෝ නවකතාවේ පලමු සංස්කරනයේ පලමු පිටුව

දොස්තයෙව්ස්කිගේ කෘති තුල හමුවන නිර්වාචනීය මොහොතක් වනුයේ “අමන හා නොහොබිනා ජීවිතය කෙරෙහි ලෝලය”, “කේන්ද්‍රාභිසාරී (centripetal)බලය” සහ ඇලෙනසුලු කුඩා පත්‍රවලටත් නිල් අහසටත් පෙම් බැඳීම මෙන් ම මෙකී වේදිත අතර ද, මිනිසා තුලත් ජීවිතය තුලත් පවතින සකල සියලු අධම, මුග්ධ හා නින්දිත දෑ අතර ද සංඝට්ටනය යි. කලාව, සිය නිශේධයන්හි දී පවා නෛකශ්‍රීන් විරාජමාන වනුයේ මෙකී මනෝභාවික ආධිපත්‍යයෙහි බලමහිමයෙනි. හැම දෙයක් ම නොතකා–සහේතුකය හා බුද්ධිය නොතකා, දුශ්ට හා අධර්මිශ්ඨ සියල්ල නොතකා, ජීවිතය තුලින් සොයා ගැනෙනුයේ මෙකී බලමහිමය යි. හෝමර් ද, පුශ්කින් ද, තොල්ස්තෝයි ද, දොස්තයෙව්ස්කි ද, ගොගොල් ද, ලර්මන්තොව් ද, ෆ්ලොබෙයා ද විසින් එය සොයා ගැනින. පැවැත්මෙහි මෙකී ප්‍රීතිමත් හා අල්පේච්ඡ ගති ස්වභාවයන් හට ඇලුම් කල ඔවුන්ට, ෆාවුස්ට් මෙන් මෙලෙස නාහෙන් ඇඬීමට වුවමනා විය: “මොහොත, ඩිංගක් හිටින්න! ඔබ ඉතා මනරම් ය!”[4]

හරය වසයෙන් ගත් කල, ආගම අනුබැඳ යනුයේ ද එකී අභිමතාර්ථය ම ය. එහෙත්, කලාවට ප්‍රතිකූලව ආගම, ජීවිතයෙහි අනෙක් පස දී අපට අහිමිව ගිය මේ නෛසර්ගිකව රමනීය ලෝකය අතීන්ද්‍රිය (supra-sensual), අලෞකික ඛගෝලය තුල පිහිටුවයි. එය, පෘථිවිය මත මෙකී ලෝකය උදෙසා ගෙනයන අරගලය බැහැර කරයි. සංයුක්ත වන හැම දෙයක් ම එය විසින් වියුක්ත කෙරෙන අතර ලෝකයේ ඉතා ප්‍රකටව පෙනෙන රාගනිඃශ්‍රිත රමනීයත්වය ඉවතට ඇද දමයි. මේ අතර, කලාව, සජීවි යථාර්ථයෙහි මෙකී ‘පාරාදීසය’ හඹා යයි, සොයා ගනී, නිර්මානය කරයි. එහෙයින්, කලාව ස්වභාවයෙන් ම භෞතිකවාදී ය, අදේවවාදී ය, ආගම් විරෝධී ය. එයකිසි කලෙක ආගම සමඟ සුසංගමයෙන් යුතුව ජීවත් වී නැති අතර ආගමෙහි බලපෑමට නතු වූ කල්හි එය කලාවක් බවට පත් වීමෙන් ඉඳුරා ම වැලකී සානුකම්පික පරාධීනත්වයක් අත්පත් කර ගනී.[5] එහෙත්, මෙකී පරිමානයෙන් වේවා ආගම සෑම කල්හි ම කලාව දෙස බලන ලද්දේ විචිකිච්ඡාවෙනි. එල්. එන්. තොල්ස්තෝයි ස්වකීය සන්‍යාසි අවධියෙහි දී කලාව හෙලා දැකීම අහඹුවක් නොවේ. තමන්ගේ පිලිවෙතට අනුවහේ නිවැරදි විය. ආගම් භක්තියෙන් උමතු වූ ගොගොල් තමා තුල සිටි කලාකරු ඝාතනය කිරීම හුදු අහම්බයක් නොවේ. ආගමට වඩාත් දරුනු ප්‍රහාර එල්ල කෙරෙනුයේ විද්‍යාව මගින් පමනක් ම නොවේ; කලාවෙන් පවා එය ඉටු කෙරේ.

දෛනික ජීවිතයෙහි දී අප නිරතුරුව ම අත් විඳින්නා වූ සුලබ, තෘප්තිකර හා අතෘප්තිකර හැඟීම්, ලෝකය පිලිබඳ සුඛදායී සොයා ගැනීම් සමඟ පටලවා ගැනුම සාවද්‍ය වනු ඇත. බොල්කොන්ස්කි හට ඒවා හැඟී ගියේ වෙනත් ඕනෑ ම අයෙකුට හැඟෙන පරිදි වුව ඔහු අනන්ත ආකාශය දුටුවේත් එය ඔහුගේ සිතට කාවැදුනේත් එක් වරක් පමනි. ඉවාන් ඉලීච් ද, සිය වැඩකටයුතුවල දී – නිලයෙන් උසස් වීම ලද මොහොතෙහි ද, ගෘහ අලංකරනයෙහි නැතිනම් සූදු කෙලියෙහි යෙදී සිටි අවස්ථාවන්හි දී ද දුක සැප දෙක ම අත්විඳි නමුත් ප්ලම් ගෙඩිවල ප්‍රනීත බව ඔහුට හැඟුනේ බාල වියෙහි දී ය. වල තුලට බැස ඔහු තලුමැරූ සැටි ඔබට මතක ද? ඔහු මේ අත්දැකීම විඳ ගත්තේ සුවිශේශී සහ ඉඳුරා වෙනස් අයුරකිනි. බොල්කොන්ස්කිට අනුව, ලෝකය සොයා ගැනුම යමෙකුගේ ජීවිතයෙන් අතුගා දැමිය නොහැකි සලකුනක් ඉතිරි කොට තබයි; ප්‍රගාඪ වූත් අමතක නොවන සුලුවූත් ගවේශන යමෙකු තුල මහානුභාවයක් පතුරුවයි. යමෙකුට ‘දිබ්බචක්ඛු’ පහල වනුයේ නිශ්චිතව ම මෙබඳු අවස්ථාවන් හි දී ය:

ඇසුනි මට සැගිපුරේ කම්පන

සුරඹුන් තටු සලා පියඹන සර

ඇදෙන හඬ සිඳු කුසේ රුදු සත

නිම්නයේ මධු පැහෙන රාව ද[6]

සකල සංවේදනා බලවත් වූ කල්හි සහ ප්‍රබල පූර්වඥාන ශක්තියක් විසින් යම් කිසිවෙකු ග්‍රහනයට ගැනුනු කල්හි, මෙකී නිර්මානශීලී ඕඝය, මෙකී පරමෝත්කෘශ්ට අධ්‍යාත්මික මනෝව්‍රතය හා ආවේශදායී වේදිතය අභිමුඛ වනුයේ, හරියට, පැවැත්මෙහි ම ආගාධ හා ප්‍රභවයන් යලි හමු වන්නාක් මෙනැයි සියලු විශිශ්ට කලාකරුවෝ සපථ කරත්. යමෙකු විශ්වය තුල සුසංයෝගය දකී ද ඔහුගේ ධාරනා තෙජෝ බලැති ද විජයග්‍රාහී ද වෙයි.

මතු සම්බන්ධයි

පරිවර්තනය : දර්ශන මේදිස්

(අක්ශර වින්‍යාසය පරිවර්තකයාගේ අභිමතය පරිදි ය)


[1]

ප්‍රංශ විඥානවාදී දාර්ශනිකයෙකු හා නොබෙල් ත්‍යාගලාභියෙකු වූ හෙන්රි බර්ග්සන් (1859-1941) විසින් හඳුන්වා දෙන ලද ප්‍රතිභානය පිලිබඳ අනුභූතිවාදී සංකල්පය– ද. මේ.

[2]

කාල් මාක්ස්, A Contribution to the Critique of Political Economy (1859), Reprint, Moscow, 1970, පි. 215-16 – ද. මේ.

[3]

වොරොන්ස්කි උපුටනුයේ රුසියානු මුල් කෘතියෙනි; මෙය සිංහලට නඟනුව ෆ්‍රෙඩ්රික් චෝට්ගේ පරිවර්තනයට අමතරව වෙනත් ඉංග්‍රීසි ප්‍රවාචද්වයක් (The Brothers Karamazov, tr. Constance Garnett, Modern Library, NY, 1929; The Brothers Karamazov, tr. Richard Pevear & Larissa Volokhonsky, FSG, NY, 2002) ද, සිරිල් සී. පෙරේරාගේ සිංහල අනුවාදය (ඩොස්ටොයෙස්කි, කරමසෝ සහෝදරයෝ, ඇම්. ඩී. ගුනසේන, කොලඹ, 1969) ද ඇසුරු කෙරින–ද. මේ.

[4]

වුල්ෆ්ගෑං ගර්තේ, Faust (1790), ජවනිකාව 07 – ද. මේ.

[5]

ලියෝතොල්ස්තෝයිගේ Resurrection (පුනරුත්ථානය) නමැති අවසන් මහා නවකතාව මෙයට කදිම නිදසුනකි– ද. මේ.

[6]

ඇලෙක්සැන්ඩර් පුශ්කින්ගේ “ඉසිවරයා” (“The Prophet”, 1826) නමැති පද්‍යයෙනි – එෆ්. සී.

Loading